එජාපයේ ආශ්වාදය දාහත් වෙනිදාට ඉවරයි

එජාපයේ ආශ්වාදය දාහත් වෙනිදාට ඉවරයි

අතාවුද සෙනෙවිරත්න
ග්‍රාමීය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති

ග්‍රාමීය සංවර්ධනය සඳහා තම අමාත්‍යාංශයේ කාර්යභාරය ඒ සඳහා ඇති කර ඇති සැලැසුම්, ගෙවතු දසලක්ෂයක් දිවිනැගුම වැඩපිළිවෙළ මගින් ඉටුවන කාර්යභාරය පළාත් පාලන මැතිවරණය සහ තවත් කාලීන දේශපාලන කරුණු පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති අතාවුද සෙනෙවිරත්න මහතා සමඟ සිදුකළ සංවාදයකි මේ.

* ගම සංවර්ධනය සඳහා ආණ්ඩුව ගෙන ඇති වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමට ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය මොන විදිහේ වැඩපිළිවෙළක් ද සැලැසුම් කර තිබෙන්නේ?

රටක් දියුණු වීමට ඕනෑ නම් නගරය පමණක් සංවර්ධනය වීමෙන් ප්‍රතිඵලයක් ලබා ගැනීමට අපහසුයි. ඒ සඳහා විධිමත් විදිහටත් සැලැසුම් සහගතවත් සිදුකළ යුතුයි. එය එහෙම වුණොත් තමයි ගමත්, නගරයත් මුළු රටමත් දියුණු කිරීමට අපට අවස්ථාවක් ලැබෙන්නේ. ගම දියුණු කිරීම තුළින් තමයි අපට සාර්ථක ගමනක් යාමට පුලුවන්කම ලැබෙන්නේ. ඒත් මෙතෙක් කල් සිටි පාලකයන් මේ ගැන අවධානය යොමුකරමින් කටයුතු කළේ නැහැ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය තමයි ගම කේන්ද්‍ර කර ගත් සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කර කටයුතු කළේ. රටක් දියුණු වීමේ දී ඇස් ඉදිරිපිට දැකිය හැකි සංවර්ධන මුලාශ්‍ර තිබෙනවා. මේ වන විට ඒක පුද්ගල ආදායම ඉහළ ගිහින් තිබෙනවා.

ඒකපුද්ගල ආදායම ඉහළයාම තමයි සංවර්ධනයේ මූලික පිම්ම විදිහට සළකන්න පුළුවන්කම තිබෙන්නේ. උද්ධමනය වුණත් 2008 වන විට තිබුණේ 27% ආසන්න උද්ධමන වේගයක්. එය අදවන විට තනි ඉලක්කමේ අගයක් දක්වා පහළ ගිහින් තිබෙනවා. ඇතැම් අය රජය නිසි විදිහට හසුරුවන්නේ නැතැයි චෝදනා එල්ල කළාට මේ දත්තයන් අනුව වුණත් අපට සිතන්න පුළුවන් දේ තමයි අද වන විට ආර්ථිකයේ වගේ ම සංවර්ධනයේත් වර්ධනීය තත්ත්වයක් තිබෙන බව.

බලන්න අද සමාජයේ බහුතරයක් අතර සෙලියුලර් දුරකථන භාවිත වෙනවා ඒ වගේ ම ස්ථාවර දුරකථනත් ලක්ෂ ගණනක් භාවිතා වෙනවා. මෙම සියලුම දත්තයන්වලින් අපට මනා ලෙස තහවුරු කරන්න පුලුවන් මෙරට ග්‍රාමීය ආර්ථික රටාව තුළ විශාල වර්ධනයක් දක්නට තිබෙනවා කියලා. විදුලිය, ජලය වුණත් ගම් මට්ටම් දක්වා ඉතාමත් ප්‍රශස්ත ලෙස පැතිර වීමට මේ ආණ්ඩුකාලය තුළ පතුරුවන්නට පුළුවන් වෙලා තිබෙනවා. මේ හැම දෙයක් ම ආර්ථික හා සමාජීය වර්ධනයක් ගම තුළ සිදුවන බවට වූ සුබදායී සංකේතයක් විදිහට සලකන්න පුලුවන්කම තිබෙන්නේ.

* ඔබ ඔවැනි මතයක් පළකළාට විපක්ෂය කියන්නේ ග්‍රාමීය සංවර්ධනය මවාපෑමක් බව සහ රට විශාල ආර්ථික අර්බුදයකට ගමන් කරමින් තිබෙන බවයි. මේ ගැන ඔබේ අදහස මොන වගේ ද?

මවා පෑම් සිදුකරන්නේ ජනතාව රවටන්නේ කවුද කියලා මුළු රටම දන්නවා. විපක්ෂයට අද ඔවුන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමට තමයි මේ විදිහේ මතයක් තහවුරු කිරීමක් මඟින් තමන්ගේ බිඳවැටුණු ප්‍රතිරූපය හා ශක්තිය ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරන්නේ. ග්‍රාමීය වශයෙන් මේ තරම් සංවර්ධනය වූ යුගයක් නොමැති තරම් එවැනි තත්ත්වයක් තුළ විපක්ෂය මේ විදිහේ තර්ක ගොඩනඟනවා නම් මෙය විහිලු සහගතයි. මහ බැංකුව ඇතුළු පිළිගත් ආර්ථික ආයතන මෙරට ආර්ථිකයේ වර්ධනීය ලක්ෂණ ඇතැයි සඳහන් කරන අතර විපක්ෂය පමණක් රටතුළ ආර්ථික අර්බුදයක් ඇතැයි සඳහන් කරන්නේ මොන පදනමකින් ද යන්න අපැහැදිලි දෙයක්.

* ගෘහ ආර්ථික ඒකක දසලක්ෂ ඇති කිරීමේ ‘දිවිනැගුම’ වැඩපිළිවෙළ ළඟදීම ආරම්භ කිරීමට නියමිතව තිබෙන්නේ මේ වැඩපිළිවෙළ පිළිබඳව හා මෙය ක්‍රියාත්මක වීමෙන් රටට ලැබෙන ප්‍රතිලාභ ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?

ගෙවතු වගා ක්‍රමය ශක්තිමත් කිරීම ඉතාමත් හොඳ ප්‍රවේශයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ විදිහේ ගෙවතු වගා ශක්තිමත් කිරීම මඟින් ගමේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම වගේ ම ගමේ මිනිසාගේ පෝෂණය ඉහළ මට්ටමක රඳවා ගැනීමට පුළුවන්කම තිබෙනවා. මෙය හුදු ප්‍රචාරාත්මක වැඩපිළිවෙලක් නොවෙයි. ගෙවතු වගාව පිළිබඳව උනන්දුවක් ජනප්‍රියතාවයක් ඇති කරගත හැකි වැඩපිළිවෙළක්. ඒ වගේ ම මෙයට රජයේ නිලධාරින්ගේ මැදිහත්වීම ඉතාමත් ඉහළින් ලබා දීමටත් ජනතාවත් නිලධාරින් අතරත් සම්බන්ධතාවය ඉහළ නැංවීම මෙමගින් සිදු කරන්න පුළුවන්.

මෙය එළවලු ටිකක් වගා කර අතපිසදමා ගැනීමේ වැඩපිළිවෙළක් නොවෙයි. දිවිනැගුම වැඩපිළිවෙළ මගින් සුලු අපනයන බෝග, කුඩා කර්මාන්ත ඇතුළු විවිධ ඉසව් පිළිබඳව ස්පර්ශ කරනවා වගේ ම ජනමතයක් ද මේ පිළිබඳව ඇති කිරීමට පුළුවන්කම තිබෙනවා. තවත් විදිහකට බැලුවොත් අද සෞඛ්‍ය ගැටලු විශාල ලෙස මතුවෙලා තිබෙනවා. එය හේතුවෙලා තිබෙන්නේ වැරැදි ආහාර රටාවන් නිසා කියතොත් එය අතිශයෝක්තියක් නොවෙයි. අද බොහෝ අය පුරුදුවෙලා ඉන්නේ ගෙදර යන ගමන් කඩේට ගිහින් එළවලු ටික මිලට ගන්න. රෑට කඩේට ගිහින් ආප්පයක් කොත්තුවක් අරගෙන ගිහින් කන්න. මේ වැරැදි ආහාර පුරුදු නිසා එක දවසක් නැතිනම් සතියකින් ලෙඩ රෝග ඇති වෙන්නේ නැහැ.

ඒත් දිගු කාලීනව මේ රටාවට පුරුදු වීම නිසා තමයි ලෙඩරෝග ඇතිවන්නේ. දියවැඩියාව, කොලොස්ටරෝල්, හදවත් රෝග එයින් ප්‍රධානයි. ඒත් එදා එහෙම නෙවෙයි මේ විදිහේ ලෙඩ රෝග ඉතාමත් දුර්ලභ ලෙඩ රෝග විදිහටයි හඳුනාගෙන තිබුණේ. අපට එහෙම වුණේ මොකද කියලා අප හොඳින් කල්පනා කළොත් එයින් ම තේරෙනවා මෙයට හේතු වුණේ වැරදි ආහාර පුරුදු නිසා බව ගෙවතු දසලක්ෂය වැඩපිළිවෙළ නැතිනම් දිවිනැගුම තුළින් ගෙදරම තමන්ට අවශ්‍ය ආහාර ප්‍රමාණය යම් තරමකට හෝ පාලනය කර ගන්න පුළුවන්. ඒ නිසා රජය විසින් ආරම්භ කිරීමට නියමිත මේ වැඩපිළිවෙළ ඒ සඳහා වූ හොඳ ආරම්භයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්.

* පළාත් පාලන ඡන්දය මේ වන විට මුව විටටම ඇවිත් තිබෙනවා. ඒත් සන්ධානය පාර්ශවයෙන් සුපුුරුදු ප්‍රචාරක ව්‍යාපාරය දක්නට නැහැ ඇයි?

ජනාධිපතිවරණයේ ප්‍රචාරක ශෛලිය මහ මැතිවරණයට ගැලපෙන්නේ නැහැ. මහ මැතිවරණයට වඩා පළාත් සභා මැතිවරණ ප්‍රචාරක විධික්‍රමය වෙනස්. ප්‍රාදේශීය සභා මැතිවරණයකදි තිබෙන්නේ ඒ සියල්ලටම වෙනස් වූ ක්‍රියාදාමයකුයි. අද තිබෙන්නේ පළාත් පාලන මැතිවරණයක දී ගමට සීමා වූ ග්‍රාමීය ප්‍රචාරණ විධි, ගෙන්ගෙට යාම් සිදු කරන ක්‍රමයකුයි අනුගමනය කරන්නේ. බලන්න ගමට ගිහින් ප්‍රාදේශීය මට්ටමට ගිහින්. අපේ සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය තමයි වඩාත් සාර්ථක හා ආකර්ශනීය මැතිවරණ ප්‍රචාරක ව්‍යපාරය ලෙස ගෙන යාමට පුළුවන්කම ලැබී තිබෙන්නේ.

අනෙක අපට අලුතින් ගමට ගිහින් ස්ථාවරත්වයක් ඇති කර ගන්න දෙයක් නැහැ. මේ රජය පසුගිය අවුරුදු පහ තුළ ගම් මට්ටමට විශාල සේවයක් ඉටු කරලා තිබෙනවා. ඒ නිසා අපට විශාල විශ්වාසයක් තිබෙනවා ගමේ කළ ගුණ දත් ජනතාව නිදහස් සන්ධානය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරවනවා කියලා. ඒ නිසා ආණ්ඩුවට විශේෂ සැලැසුමක් හෝ උත්සාහයක් සිදුකළ යුතු නැහැ. පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට ලබන දාහත් වෙනිදාට මුළු රටේ අති බහුතරයක් වූ පළාත් පාලන ආයතන ප්‍රමාණයක් නිදහස් සන්ධානය නිසැකවම ජයග්‍රහණය කරනවා.

* ඒත් එජාපය තර්කයක් ගොඩනඟනවා ඔවුන් මේ මැතිවරණයෙන් ජයගන්නා බවට. ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළ පවා යම් පිබිදීමක් දක්නට තිබෙනවා. මේ කරුණු පදනම් කරගෙන තමයි එජාපය මේ තර්කය ගොඩනගන්නේ.

එජාපය මේ ආශ්වාදය ලබන්නේ තාවකාලිකවයි. ඔවුන් පසුගිය කාලය තුළම හිටියේ කරකියා ගත නොහැකි තරමේ දේශපාලන අසරණභාවයකිනුයි. එජාපය තුළ සිටි මහා දැවැන්ත දේශපාලන චරිත කිසිවක් අද එය තුළ නැහැ. අප දේශපාලන වශයෙන් අනුමත නොකළත් ඩී. එස්., ඩඩ්ලි, ජේ. ආර්., ප්‍රේමදාස වගේ මහා චරිත වටා තමයි එජාපය ගොඩනැගුනේ. ලලිත් ගාමිණි වුණත් එම පක්ෂය තුළ සිටි ආකර්ශනීය චරිත. ඔවුන් කිසිවකු අද ජීවතුන් අතර නැහැ. ඔවුන්ගෙන් පසු එජාපය තුළ ගොඩනැගුණ චරිත බහුතරයක් අද එජාපයය අතහැරලා අපත් සමඟ එකතු වෙලා කටයුතු කරන්නේ. මෙවැනි වාතාවරණයකදී තමයි එජාපය තමන් දිනන බවට මනෝවිකාරයක් ගොඩනඟාගෙන සිටින්නේ.

ඔවුන් අද කෘතිම විදිහට මැතිවරණයට එළැඹීමට උත්සාහ කරනවා. ඒ නිසා තමයි මෙවර කොළ කොඩි, පක්ෂකාර්යාල ඇතුළු ප්‍රදර්ශනාත්මක පැත්ත ගැන ඒ අය අවධානය යොමු කරන්නේ. සල්ලි වියදම් කර කොළ කොඩි ගැහුවා කියලා මහජන පදනමක් ගොඩනඟාගන්න බැහැ. මම උදාහරණයක් විදිහට අපේ දේශපාලන ක්‍ෂේත්‍රයෙන්ම උදාහරණයක් ගන්නම්. ජනතා විමුක්ති පෙරමුණ තමයි එක රැයකදි මුලු රටම වැහෙන විදිහට පෝස්ටර් ගහන්නේ, සරසන්නේ. ඔවුන් තුළ අති විශාල ප්‍රචාරාත්මක හා ප්‍රදර්ශනාත්මක දේශපාලන ක්‍රම සහ විධි තිබෙනවා.

ඒත් ඔවුන්ට මෙතෙක් කාලයකට ජයග්‍රහණයක් ලබනවා තියා 20% ඡන්ද ප්‍රතිශතයක්වත් ලබාගන්න බැරි වුණා. අපට මෙයින් ම තහවුරු කර ගන්න පුළුවන් ප්‍රදර්ශනාත්මක ප්‍රචාරක වැඩවලින් ජනමතය වෙනස් කරන්න බැරි බව. එජාපයට ගම් මට්ටම තුළ පදනමක් නැහැ. ඔවුන් සම ඟ සිටි බොහෝ අය අපත් සම ඟ එක්ව දේශපාලන කටයුතු කරනවා. තවත් පිරිසක් නිශ්ක්‍රියව ඉන්නවා. ඉතාමත් සුළු පිරිසක් තමයි එජාප දේශපාලනය කරන්නේ. ඉතින් මේ විදිහට ගම් මට්ටමින් සේදී ගිය මහජනතාවගෙන් වියෝ වූ දේශපාලන පක්ෂයකට මැතිවරණයක් දිනන්න පුළුවන්ය කියලා කියනවානම් ඔහු හෝ ඇය දේශපාලන උත්මත්කයෙක් විය යුතුයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා