ගම දිනවන පුංචි ඡන්දයෙන් දූෂිතයා අහකට

ගම දිනවන පුංචි ඡන්දයෙන් දූෂිතයා අහකට

වුරු කොහොම කීවත්, එළඹෙන ප්‍රාදේශීය සභා ඡන්දය ඉතාමත් වටිනා ඡන්දයකි. පොදු ජනතාව ළඟින්ම සිටින දේශපාලඥයා ප්‍රාදේශීය සභා නැතිනම් නගර සභා මන්ත්‍රීවරයා ය. ඔහු ගමේ සිටින ඔබ ගැන පුද්ගලිකවම දැන හැඳුනුම්කම් ඇත්තෙකි. එසේ ඡන්දදායක ඔබ ද ඔහු ගේ පැටිකිරියේ සිට වර්තමාන හැසිරීම් රටාව, වත් පොහොසත්කම, ඔහුගේ දේශපාලන දර්ශනය, ගමට ළැදියාව ගැන හොඳීන්ම දන්නේ ය.

ඒ නිසා තමන්ට වැඩක් ඇති ගමට වැඩක් ඇති හොඳ ඉදිරිදැක්මක් ඇති අවංක නියෝජිතයකු තෝරාපත්කර ගැනීමේ පරමාධිපත්‍ය බලය ඡන්දදායකයා සතුව තිබේ. මේ පරමාධිපත්‍ය බලය වසර කීපයකට ඔබ විසින්ම කිසියම් පුද්ගලයකු සිය කැමැත්තෙන්ම පවරා දෙන්නේ මේ ඡන්දයෙනි. ඡන්ද දායකයා සතු මෙම ප්‍රජාතන්ත්‍රවාදී පරමාධිපත්‍ය බලය අපතේ නොයවා පාවිච්චි කළ යුතුය. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට ලැබෙන්නේ රුපියල් පන්දහසක මාසික දීමනාවක් පමණ නම් දස ලක්‍ෂ ගණනින් මුදල් වැයකර ගහ මරාගෙන බලය ලබාගැනීමේ රහස ගැනද ඡන්දය පාවිච්චිකිරීමට පෙර දෙවරක් සිතා බැලිය යුතුය.

මෑත අතීතය

මෑත අතීතය ගැන සිතා බලනවිට අද ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවන් ලෙස ට ජනතාව ඉදිරියේ පෙනී සිටින ප්‍රධාන දේශපාලන පක්‍ෂ සංවිධාන එදා ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව ක්‍රියා කළ ආකාරය අපගේ මතකයේ තවමත් දෝංකාර දෙයි. තම අභිප්‍රාය ඉටුකර ගැනීමට ඔවුහු මහජන ඡන්දය නැමැති පරමාධිපත්‍යබලය ඉතාමත් වංචාකාරී ලෙස භාවිතා කළහ. සමහර ජාතිහිතෛෂීන් යයි කියාගත් ඒකාධිපති නායකයින් දසක කීපයක්ම තම පාලන ප්‍රදේශ වෙන්කර ගෙන ජනතාව තලා පෙළා බදු මුදල් අයකරමින් තම සුඛවිහරණයට මුල් තැන දෙමින් අත්තනෝමතික ඒකාධිපති පාලනයක් ගෙනගියේ ය.

ඇතැම් දේශපාලන පක්‍ෂ නායකයින් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානතම අවිය වූ සව¢ ජන ඡන්ද බලය මැතිවරණයකදී භාවිතා කරන්නට ඉඩ දුන්නේ නැත. ඡන්ද භාවිතා කළවුන් එදා දේශද්‍රෝහින් ලෙසට හංවඩු ගසා ඝාතනය කර දේහය දණිස්සෙන් උසට පවා එසවීමට තහනම් නියෝග දී ඡන්දය පාච්චල් කළේ ය. ඒ මතවාදයට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදය රජකරවීමට පෙළගැස්වූ නායකයින් ඝාතනය කළේ ය. ජනමාධ්‍යවේදීන් නිහඬ කිරීමට විවිධ වූ උපාය මාර්ග යෙදුවේය. හෘදය සාක්‍ෂියට එකඟව හඬක් නැඟීමට ක්‍රියා කළ ජනමාධ්‍ය සහෘදයින් , උගතුන් කී දෙනෙක් මරා දැම්මාද? සමහරුන් මරණයට බයින් එදා උපන් බිම අතහැර ගියේය. එහෙත් බල ලෝභය පරදා ජනතා ප්‍රජාතන්ත්‍රවාදය හිස එසවිය.

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම

ඒ නිකම්ම නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඉල්ලා මේ රටේ ජනතා අරගලවලට නායකත්ව දුන් ජන නායකයින් නිසාය. ජනතා අත්වැල ජන ඝෝෂා ආදී විවිධාකාර වූ ජනතා ක්‍රියාකාරකම් නිසා ලක්වැසි ජනතාවට නැවත ප්‍රජාත්‍රන්ත්‍රවාදය ලබාදුන්නේ ය. මානව හිමිකම් රැක ගැනීමට ජිනීවා ගියේය. ඒවාට නායකත්වය දුන් ජන නායකයින් අතර වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ගේ නාමය දේශපාලන ඉතිහාසයේ රන් අකුරින් ලියැවී තිබේ. එහි ප්‍රතිඵලය ලෙස අවුරුදු 17 කට පසුව 1994 වසරේ ඒකාධිපති වියරුව පරදා ජනතා ආණ්ඩුවක් බිහිවිය. 1994 පසුව නැවත වරක් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිබිදීමක් අපේ රටේ ඇති විය.

වාමාංශිකයින් එක කඳවුරකත් ධනවාදීන් තවත් කඳවුරකත් බෙදුම්වාදීන් වෙනම කඳවුරකත් සිය මති මතාන්තර නිදහසේ ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රකාශ කරමින් මේ රටේ ජීවත් වූහ. බෙදුම්වාදී ත්‍රස්තයන් පවා සුළු වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව හැසිරුණු අවස්ථා තිබේ. මේ රට දෙකඩකර වෙනමම පාලනයක් ගෙන යාමට උත්සාහ දැරූ දරුණු ත්‍රස්තවාදියා වූ ප්‍රභාකරන් පවා සාමගිවිසුම් තුළින් සාකච්ඡා මේසයක වාඩිවනවා දැකිය හැකිය. එසේම ජනතා විමුක්ති පෙරමුණ විප්ලවය හා ආයුධ බලය පසෙකලා බලය ලබා ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණයට ඉදිරිපත් වන්නේ ය. මේවා සුබදායක ක්‍රියාකාරීකම්ය.

මෙහි වැදගත් සන්ධිස්ථානයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ සන්ධාන ආණ්ඩුව සමඟ එක්වී ආණ්ඩුවේ මැති ඇමැතිකම් ලබා පාලනයට එකතුවනවා දැකිය හැකිය. පසු කාලයේදී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ - කඳුරට ජනතා පෙරමුණ හෙළ උරුමය, ජනතා විමුක්ති පෙරමුණේ යම් යම් කොටස්, එක්සත් ජාතික පක්‍ෂයේ ජනතා නියෝජිතයින් මුස්ලිම් කොන්ග්‍රසය ආදී දේශපාලන ක්‍ෂේත්‍රයේ යම් යම් බලවේග ආණ්ඩුව සමඟ එක්වනවා දැකිය හැකි වූ අතර මේ රට දෙකඩ කිරීමේ මතයේ එල්ඹ සිටි කොටි ත්‍රස්තවාදීන්ගෙන් බිදුණු යම් යම් නායකයින් ද ආණ්ඩුව සමඟ එක් විය. උතුරු නැඟෙනහිර ත්‍රස්තවාදය නැතිකර දැමීමට රජය ගෙනගිය මානුෂීය මෙහෙයුම සාර්ථකවීමට මේ එක්වීම වැදගත් සන්ධිස්ථානයක් විය.

රට ත්‍රස්තවාදයෙන් මුදා ගැනීමත් සමඟම අපේ රට ඒකීය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවට නැවත පත්විය. ඒ විශාල ධනස්කන්ධයක් හා මිනිස් ජීවිත අතිවිශාල සංඛ්‍යාවක් පූජා කිරීමෙන් පසුවය. මේ රට තුළ යුද්ධයක් පැවැතියත් ජනතා සහන හා රටේ සංවර්ධන ක්‍රියාවලියට බාධාවක් නොකිරීමට රජය වග බලා ගැනීම අතිශයින්ම වැදගත් කරුණකි. අද මේ රටේ ඕනෑම පුද්ගලයෙකුට යම් ප්‍රකාශයක් කිරීමේ අයිතිය ලබාදී ඇත.  අද රටේ හදිසි නීතිය ක්‍රියාත්මක වෙද්දී වුවද ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරකම්වලට කිසිම බාධාවක් නොවේ. අධිකරණය ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර තිබේ. රජයේ යම් යම් ක්‍රියාකාරීකම් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු මඟින් අත්හිටවනු දැකිය හැකිය.

ප්‍රාදේශීය සභා නගර සභා පාලනය සාර්ථක කර ගැනීම

ප්‍රජාතන්ත්‍රවාදයට අනුව නියමිත කාලවකවානු අනුව ඒ ඒ පාලන තන්ත්‍ර සඳහා සුදුස්සන් පත්කර ගැනීමට මැතිවරණ මඟින් ජනතා පරමාධිපත්‍ය බලය පාවිච්චි කිරීමට වර්තමාන ආණ්ඩුව ඇප කැප වී ක්‍රියා කරයි. එවැනි අවස්ථාවල ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව කිසියම් නිලධාරියෙක් හෝ ආයතනයක් කටයුතු කර ඇත්නම් ඊට විරුද්ධව අධිකරණ තෝරා ගැනීමට බාධාවක් නොවන බවද පැහැදිලිය. අධිකරණ ක්‍රියාවලියේදී එම තීන්දු ප්‍රකාශයට පත්කරන තුරු මැතිවරණයක් කල් දැමීමට ද ඇති බලය ක්‍රියාවට නංවා තිබෙන්නේ සැමටම එකසේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමටය.

මේ ඡන්දයෙන් අප වසර 04 කට අපේ ප්‍රාදේශීය සභාවට නැතිනම් නගර සභාවට පාලකයින් පත්කර ගැනීම සිදුකරයි. ප්‍රාදේශීය සභාවකින් නැතිනම් නගර සභාවකින් ඒ ඒ ප්‍රාදේශීය මට්ටමෙන් විශාල වැඩ කොටසක් ඉටුකළ යුතුව තිබේ. ගමේ දියුණුවත් ප්‍රදේශයේ දියුණුවත් ලබා දෙන ආයතනය ප්‍රාදේශීය සභාව නැතිනම් නගර සභාව වේ. මෙහි බලධරයා වන්නේ සභාපතිය. ඔහුට මේ ප්‍රදේශය තුළ විශාල පරිපාලන බලයක් ලැබේ. ඒ අය පත්කර ගන්නේ ඔබේ ඡන්දයෙන්ය. මෙම ඡන්දය රජයේ බලය වෙනස් කරන්නක් හෝ පළාත් සභා බලය වෙනස් කරන්නක් හෝ ජනාධිපති බලතල කප්පාදු කරන්නක් හෝ නොවේ. මෙයින් කරන්නේ ඔබ ජීවත්වන බලප්‍රදේශයේ පරිපාලන කටයුතු කිසියම් කණ්ඩායමකට ලබා දීමයි.

ඒ සඳහායි ඔබ ඡන්දය පාවිච්චි කරන්නේ. රජය කරගෙන යන සංවර්ධනය ගමට නැතිනම් ඔබ ජීවත්වන ප්‍රදේශයට ලබා දෙන්නේ මේ ආයතන මඟිනි. ප්‍රාදේශීය සභාවක් නැතිනම් නගර සභාවක් සංවර්ධන කටයුතු කරන්නේ ලැබෙන ආදායමෙනි. එම ආදායමෙන් විශාල කොටසක් සේවක සේවිකාවන්ගේ පඩි නඩි සඳහා වැය කරයි. (පුනරාවර්තන වියදම්) ඉතිරිය සංවර්ධනය සඳහා යොදවයි. ප්‍රාදේශීය සභා ආදායම ඒ සඳහා කොහෙත්ම ප්‍රමාණවත් නොවේ. පාර්ලිමේන්තුවේ විමධ්‍යගත අයවැයෙන් වෙන්කරන මුදල් ද පළාත් සභා ප්‍රතිපාදනය මේ සඳහා වෙන්කෙරේ. එහිදී රජයේ පක්‍ෂපාතීත්වය මත වැඩි වාසි ලබාගත හැකිය.

රජයේ ප්‍රතිපත්ති අනුව හැසිරෙන ප්‍රාදේශීය සභාවකට නැතිනම් නගර සභාවකට වැඩි ප්‍රතිලාභ ලබාගැනීමේ ඉඩකඩ තිබේ. ඔබේ ගම් ප්‍රදේශය දියුණු කර ගැනීමට එය හොඳ පිටිවහලක් විය හැකිය. මේ නිසා පාලන බලය ලබාදෙන කණ්ඩායම තෝරාගෙන ඒ සඳහා ඡන්දය පාවිච්චි කළ යුතුය. සමහර විට පාලන පක්‍ෂයේ වුවද කලින් සිටි කණ්ඩායම මහජනයාට සේවය නොකර තම පුද්ගලික වාසි සලකා ක්‍රියා කළා නම් ඔවුන් ඉවත් කර වෙනත් සුදුසු පුද්ගලයන් පත්කිරීමට ද ඔබට හැකියාව තිබේ. දූෂිතයා ඉවත් කිරීම මේ මැතිවරණයේදී ඔබ කළ යුතු වැදගත්ම කාර්යය වේ.

ඔබ පළමුවෙන්ම ඔබගේ මනාපය පක්‍ෂයට පාවිච්චි කළ යුතුය. අනතුරුව ඔබගේ මනාප අපේක්‍ෂකයාට මනාප තුනම හෝ එකක්, දෙකක් හෝ දිය හැකිය. උපරිම මනාප ගණන තුනකි. එය උපරිම වශයෙන් එක බැගින් තුන්දෙනෙකුට දිය හැකිය. දෙදෙනෙකුට හෝ එක් පුද්ගලයකුට හෝ දිය හැකිය. මෙම ඡන්දය ජනාධිපති පත්කිරීමට හෝ පාර්ලිමේන්තුවේ බලය තහවුරු කර ගැනීමට හෝ පළාත් සභාව දිනවීමට හෝ දෙන්නක් නොවේ.  ඒවායේ බලය ලැබී හමාරය. නැවත එවැනි මහා ඡන්දයක් එනතුරු බලා සිටිය යුතුය. මේ ඡන්දය ඔබේ ගම් පළාතට සේවයක් ලබාගත හැකි ගම දිනවන ඡන්දයයි. නැත්නම් සොරුන්, වංචාකරුවන් දේශපාලනයෙන් ඉවත් කර ජනතා හිතවාදීන් පත්කරන ඡන්දයයි. ඔබ නිවැරදිව ඡන්ද පාවිච්චි කර ජනතා පරමාධිපත්‍යය රජ කරවන්න.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා