මුද්‍රණය සඳහා

 
අනාගත පරපුරට ශේෂ කළ යුතු අපේ පුරා වස්තු

අනාගත පරපුරට ශේෂ කළ යුතු අපේ පුරා වස්තු

ත වර්ෂ සහ සහස්‍ර වර්ෂ ගණනාවක් මුළුල්ලේ අපගේ අතීත මුතුන් මිත්තන් විසින් ගොඩනඟන ලද දේවල් අද දවසේ පුරාවස්තු ලෙස අපි ආරක්ෂා කරමු. ඒ ඔවුන්ගේ සමාජ, ආර්ථික, සංස්කෘතික, කලාත්මක, දේශපාලනික, විද්‍යාත්මක, තාක්ෂණික ආදි තොරතුරු අනාගත පරපුර වෙනුවෙන් උරුම කර දිය යුතු නිසාය. පුරාවස්තු යනු අතීත මිනිසුන්ගේ ක්‍රියාකාරකම්වල වාර්තාමය තත්ත්වයකි. මෙහි දී පුරාවස්තුවක් යනු කුමක් ද යන්න නිවැරැදිව හඳුනාගැනීම අත්‍යවශ්‍යය.

1940 අංක 09 දරන පුරාවස්තු ආඥාපනත සහ 1998 අංක 24 දරන පුරාවස්තු (සංශෝධිත) පනතට අනුව පුරාවස්තුවක් යනු 1815 මාර්තු 02 දිනට වඩා පැරණි චංචල හෝ නිශ්චල දේපළකි. තවද වසර 100 කට වඩා පැරණි වංචල දේපලක් විෂයභාර අමාත්‍යවරයාගේ තීරණයකට අනුව පුරා වස්තුවක් ලෙස නම් කළ හැකිය. ශ්‍රී ලංකාවේ ඇති අතිමහත් පුරාවස්තු සම්භාරය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. එනම්,

* චංචල දේපළ

* නිශ්චල දේපළ

යනුවෙනි. මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නේ චංචල දේපළ පිළිබඳවය. චංචල පුරාවස්තු යනුවෙන් විස්තර වන්නේ 1815 ට පෙර යුගයකට කාල නිර්ණය කළ හැකි චංචල මනුෂ්‍ය නිර්මාණයෝ ය. එහා මෙහා ගෙන යා හැකි පමණින් එය චංචල පුරාවස්තුවක් නොවේ. යම්කිසි පුරාවස්තුවක් තිබූ තැනින් ඉවත් කළ විට එහි අර්ථයට, අදහසට බාධාවක් නොවිය යුතුය. චංචල පුරාවස්තුව රට අභ්‍යන්තරයේත් රටින් රටටත් ගෙන යා හැකිවීමත් නිසා ඒවාට හානි වීමට ඇති ඉඩකඩ බොහෝ ය. ශ්‍රී ලංකාව චංචල හා නිශ්චල දේපළ බහුල රටකි. එම නිසාම ඒවා විනාශයට ද පත්වේ. විශේෂයෙන් ම යටත් විජිත පාලන සමයේ අධිරාජ්‍යවාදීන් පුරාවස්තු තම රටවලට ගෙන යාමට උනන්දු විය. අදත් අප රටට අයත් පුරාවස්තු බොහොමයක් විදේශීය කෞතුකාගාරවල දැකිය හැකිය. අධිරාජ්‍යවාදී පාලන කාලය තුළ පුරාවස්තු මංකොල්ලයන් බහුලව සිදුවිය.

එවැනි දේ වැළැක්වීමේ අරමුණින් 1888 දී නිධන් වස්තු ආඥාපනත ඉදිරිපත් විය. ඒ වන විට පුරාවස්තු ආරක්ෂා කිරීමේ නෛතික ආයතනය වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භ කර නොතිබුණි. පනතින් පෙන්වා දෙන පරිදි සම්පූර්ණ දේපළවල අයිතිය ඇත්තේ, ශ්‍රී ලංකා රජයටයි. එනම් ඒ වන විට මෙරට පාලනය කළ අධිරාජ්‍යවාදී පාලකයන්ටයි. තවද පුරාවස්තු යන වචනය වෙනුවට මෙම පනතේ යොදා ඇත්තේ, නිධන් වස්තු යන වචනයයි. එහි දහවන වගන්තියට අනුව නිධන් වස්තු යනු මුදල්, නෝට්ටු, කාසි, රන්රිදී, පිඟන්, රන්රිදී පිඬු, මැණික් සහ වටිනා දෑ යනුවෙනි. මෙහි සඳහන් ව තිබූ නිධන් වස්තු යන වචනයම මිනිසුන් නිධන් හෑරීමට පොළඹවන සුළුය.

මේ අනුව 1888 නිධන් වස්තු ආඥාපනතේ සම්පූර්ණ අවධානයට යොමු කර තිබුණේ, වංචල පුරාවස්තු කෙරෙහිය. 1888 නිධන් වස්තු ආඥාපනතින් පසු 1900 දී පුරාවස්තු ආඥාපනත සම්මත කරගන්නා ලදී. ප්‍රථම වතාවට එහි නිධන් වස්තු යන වචනය වෙනුවට පුරාවස්තු යන වචනය යොදා තිබේ. මෙහි දී පුරාවස්තු යනු මොනවාදැයි මෙම පනතේ 1 වන වගන්තියෙන් (ඒ) හා (බී) කොටස් මඟින් පැහැදිලි කර ඇත. එනම් චලනය කළ හැකි (MOVEBLE) සහ චලනය කළ නොහැකි (IMMOVEBLE) වශයෙනි. මේ අනුව ප්‍රථම වතාවට චංචල පුරාවස්තු කෙරෙහි 1900 පනතින් අවධාරණය කර තිබේ. 1940 අංක 09 දරන පුරාවස්තු පනතේ පුරාවස්තුවක් යනු කුමක් ද යන්න නිර්වචනය කර තිබේ. එනම්,

යම් පැරණි ස්මාරකයක් හෝ

වර්ෂ 1815 මාර්තු මස 2 වන දිනට පුර්වයෙහි වූ කාලසීමාවක සිට පැවත එන්නා වූ නැතහොත්, එසේ පැවත එන්නේ යැයි යුක්ති සහගතව විශ්වාස කළ හැකි වූ ද, ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන හෝ පවතින හෝ සොයා ගනු ලබන හෝ පහත සඳහන් ද්‍රව්‍යය අතුරෙන් යමක් අදහස් වේ. තමා නෙළනු ලැබූ හෝ සකස් කරනු ලැබූ සියලු වර්ගවලට අයත් ගල් හෝ කිරිගරුඬ තහඩුවල මුද්‍රිත චිත්‍ර, කැටයම් කරනු ලැබූ රූප, ශිලාලේඛන, පින්තාරු කරන ලද චිත්‍ර ලියවිලි සහ යම් ද්‍රව්‍යයක් මත ඒවා දක්නට ලැබේ නම් එවැනි ද්‍රව්‍ය පිඟන් භාණ්ඩවල, තහඩුවල සහ රෙදිපිළිවල යෙදූ චිත්‍ර, කාසි, මැණික්, මුද්‍රා, ස්වර්ණාභරණ, යුද්ධායුද මෙවලම්, විසිතුරු භාණ්ඩ සහ චංචල දේපල වන සෙසු කලාත්මක ද්‍රව්‍ය අදහස් වේ.

මෙම ඉහත විස්තරයට අනුව චංචල පුරාවස්තුවක් කුමක් ද යන්න පිළිබඳව යම්තාක් දුරකට අවබෝධ කරගත හැකිවේ. ආඥාපනත්වලට ඇතුළත් කර තිබූ පමණින් චංචල පුරාවස්තු විනාශවීම වැළැක්වීම අසීරුය. හේතුව චංචල පුරාවස්තු තැනින් තැනට ගෙන යා හැකිවීමයි. අයිතිය තහවුරු කළ හැකි චංචල දේපළ ළඟ තබා ගැනීම වරදක් නොවේ. එසේ වුව ද, ඒවා පිටරට වලට ගෙන යාම නීතියෙන් තහනම් ය. පවතින නීතියට එරෙහි ව පුරාවස්තු පිටරටවලට ;ගන යාම නිසා (යටත්විජිත කාලයේ පටන්) අද වන විට පුරාවස්තු විශාල ප්‍රමාණයක් අප රටට අහිමි වී තිබේ. පුරාවස්තුවක් ලොව පවතින වෙනත් දේ සමඟ සැසඳීය නොහැකි, පුරාවස්තුවට පමණක් ආවේනික වන්නාවු ගුණාංග වලින් යුක්ත වේ. එකම වර්ගයේ පුරාවස්තු දෙකක් වුවත්, මොනයම් ආකාරයකින් හෝ එකිනෙකට වෙනස් වේ. එබැවින්, පුරාවස්තුවක් විනාශ වුවහොත්, ප්‍රතිනිර්මාණය කළ නොහැකිය. එබැවින්, පුරාවස්තුවකට ආරක්ෂාව සැලසීම සෑම පුරවැසියෙකුගේ ම වගකීම වේ.

මෙලෙස චංචල පුරාවස්තු රැකගැනීමේ තදබල අවශ්‍යතාවයේ ප්‍රතිඵලයක් විදියට 1988 අංක 73 දරන සංස්කෘතික දේපළ පනත බිහිවිය. සංස්කෘතික දේපළ පනත මඟින් සංස්කෘතික දේපළ අපනයනය පාලනය කිරීම සඳහා විධිවිධානයන් ද සංස්කෘතික දේපළ ගණුදෙනු කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියා පටිපාටියක් ද සකස් කර ඇත. තවද සංස්කෘතික දේපළ මෙරටින් පිටරටට ගෙන යාම පාලනය කිරීමට නීතිමය විධිවිධාන සකස් කර ඇත. මෙම පනත මඟින් පුරාවස්තු විකිණීමට බලයදීමත් බලය දීමේ දී පවරන කොන්දේසි කඩකරන අයට විරුද්ධව ගත යුතු ක්‍රියා මාර්ගත් පුරාවස්තු නොවන භාණ්ඩ අපනයනය කිරීමේ දී ගත යුතු ක්‍රියාමාර්ගත් එම නීති උල්ලංඝනය කරන අයට විරුද්ධව ගත යුතු ක්‍රියා මාර්ගත් පෙන්වා දී තිබේ.

චංචල දේපල රැක ගැනීම සඳහා එතෙක් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණු නිසා මෙම 1988 අංක 73 දරන සංස්කෘතික දේපළ පනත සම්පාදනය කිරීම වැදගත් ය. කරුණු එසේ වුව ද, අධිරාජ්‍යවාදී යුගවල සිට විදේශ රටවලට ගෙන ගිය චංචල පුරාවස්තු විශාල ප්‍රමාණයක් අද දක්වාත් විදේශීය කෞතුකාගාරවල ඇත. රටට අහිමි වූ එම පුරාවස්තුවලින් කොටසක් හෝ නැවත අත්පත් කරගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාවය ඇත. මේ අනුව 1888 න් පසුව අද දක්වාත් පුරාවස්තු ආඥාපනත් වලින් ශ්‍රී ලංකාවේ චංචල පුරාවස්තු ආරක්ෂා කිරීමට විවිධ නෛතික ක්‍රියාමාර්ග ගෙන තිබුණත්, පුරාවස්තු විනාශ කිරීම, විකෘති කිරීම, සොරකම් කිරීම හා විදේශගත කිරීම යන විවිධාකාර ක්‍රමවලට මේවා විනාශයට පත්වේ.

එබැවින්, අනාගත පරපුර වෙනුවෙන් චංචල පුරාවස්තුවල ආරක්ෂාව තහවුරු කිරීම වස් චංචල පුරාවස්තු ලේඛනගත කිරීමේ වැඩපිළිවෙළක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ. එහි අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ සියලු ආයතන සහ පුද්ගල සන්තකයේ පවතින චංචල පුරාවස්තු පිළිබඳ සොයා බලා වාර්තාගත කිරීම සහ පරිගණක දත්ත බැංකුවක් පවත්වාගෙන යාමයි. ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තියට අනුව, චංචල පුරාවස්තු ලේඛනගත කිරීමේ දී ඒවායේ වැදගත්කම පරිමාණ හතකින් අවධානයට ගැනීම යුක්ති සහගතය. නිද : ජාත්‍යන්තර, ජාතික, දිස්ත්‍රික්ක වශයෙනි. අනතුරුව ඒවා ශ්‍රේණිගත කළ යුත්තේ, පහත සඳහන් නිර්ණායක පදනම් කර ගනිමිනි.

* දුර්ලබ බව

* පර්යේෂණ ශක්‍යතා

* සෞන්දර්යාත්මක අගය

* යථාභූත බව

* ඓතිහාසික සබඳතාව

* ආගමික සබඳතාව

* සමාජ ආර්ථික සංවර්ධනයට ඇති වැදගත්කම

චංචල පුරාවස්තු ලේඛනගත කිරීම මගින්, බලාපොරොත්තු වන්නේ චංචල පුරාවස්තුවල අනන්‍යතාවය, නීතිමය ආවරණය හා ආරක්ෂාව තහවුරු කිරීමයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]