රූපවාහිනිය නිර්මාණශීලිත්වය මරා දානවා

රූපවාහිනිය නිර්මාණශීලිත්වය මරා දානවා

ප්‍රවීණ මාධ්‍යවේදී
තිලකරත්න කුරුවිට බණ්ඩාර

තිලකරත්න කුරුවිට බණ්ඩාර ප්‍රවීණ පුවත්පත්කලාවේදියෙකි. සාහිත්‍යධරයෙකි. කවියෙකි. දීර්ඝ කාලයක් ‘සිළුමිණ’ සහ ‘සරසවිය’ ප්‍රධාන කර්තෘ ලෙස කටයුතු කළ කුරුවිට බණ්ඩාර මහතා පසුගිය කාලේ විවිධ ජාතික පුවත්පත්හි ප්‍රධාන කර්තෘ ලෙස ද කටයුතු කළේය. මාධ්‍ය ජීවිතයෙන් බොහෝ කාලයක් පත්තර මහ ගෙදර ගත කළ කුරුවිට බණ්ඩාර මහතා මේ දිනවල ගුවන් විදුලි මහගෙදර සෙවණේ කටයුතු කරයි. ඒ ගුවන් විදුලියෙන් තෛ‍්‍රයිමාසිකව ප්‍රකාශයට පත් වෙන ‘හඬ’ සඟරාවේ ප්‍රධාන සංස්කාරක ලෙස කටයුතු කරන නිසයි. ශ්‍රව්‍ය මාධ්‍යයේ මුද්‍රිත සඟරාව වූ ‘හඬ’ පිළිබඳ කතා කරන්නට ප්‍රවීණ පුවත්පත්කලාවේදී ලේඛක කුරුවිට බණ්ඩාරයන් මම හමුවීමි. මෙය එක්තරා ආකාරයකින් මා හට සුවිශේෂී අවස්ථාවකි. මීට වසර දහතුනකට පෙර පත්තර මහ ගෙදරට ගොඩවැදුණු මට පත්තර කලාවේ ‘අ’ යනු ‘ආ’ යනු කියා දුන්නේ කුරුවිට බණ්ඩාර ඇඳුරන්ය. ඊට වසර දහතුනකට පසු මගේ ගුරුතුමා පිළිබඳ මෙසේ මට ලියන්නට ලැබීම භාග්‍යයක් නොවෙද?.

* ඔබේ සංස්කාරකත්වයෙන් යුතුව ‘හඬ’ ප්‍රකශයට පත් වන ප්‍රථම අවස්ථාවයි. ‘හඬ’ හි ආරම්භය ගැන කතා කළොත්?

‘හඬ’ ගුවන්විදුලි සඟරාව විවිධ නම්වලින් අතීතයේ දී පළ වී තිබෙනවා. වරක් ගුවන් විදුලි සඟරාව කළේ ‘තරංගනී’ කියලයි. තවක් විටෙක ‘තරංග‘ නමින් ප්‍රකාශයට පත් කළෙත් ඒ සඟරාවමයි. ඉංග්‍රීසියෙන් රේඩියෝ නමිනුත් පළ වෙලා තියෙනවා. මේ ආකාරයේ විවිධ අවස්ථාවල විවිධ නම්වලින් ප්‍රකාශයට පත් වූ ගුවන්විදුලි සංස්ථාවේ සඟරාවල වැඩි වශයෙන් පළ වුණේ ගුවන්විදුලියේ ම විකාශ වූ හරවත් වැඩසටහනුයි. ඒ අතරින් මුද්‍රිත මාධ්‍යයකින් ඉදිරිපත් කළ හැකි වැඩසටහන් තෝරාගෙන සඟරාවේ පළ කළා. මහාචාර්ය ගුණපාල මලලසේකර, ඊ. ඩබ්ලිව්. අධිකාරම්, මාර්ටින් වික්‍රමසිංහ ආදි විද්වතුන් ගුවන්විදුලියෙන් කළ දේශන ජනතාව අතරට තව තවත් ගෙන යෑම ගුවන්විදුලි සඟරාවලින් සිද්ධ වුණා.

මේ කටයුත්තෙහි ආරම්භය සිද්ධ වුණේ පනහේ දශකයේදී යි. ඒ අනුව බලන විට ගුවන්විදුලි සඟරාවට ඇත්තේ අඩසියවසකටත් වැඩි ඉතිහාසයක්. නමුත් වර්තමාන ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතාට අවශ්‍ය වුණේ හුදෙක් ගුවන්විදුලියේ ප්‍රචාරය වන වැඩසටහන් නැවැත පළ කිරීමක් කරන්නට නොවේ. ජාතික ගුවන් විදුලිය කියන්නේ රටක ජාතියේ මුදුන්මල්කඩයි. ජාතියක් දැනුවත් කිරීමේ කාර්යභාරයෙන් ගුවන් විදුලියට ගැළවෙන්නට බැහැ. ඒ නිසා ‘හඬ’ කියන්නේ නිකම්ම නිකම් සඟරාවක් නෙමෙයි. මෙහි අරමුණ වන්නේ රටේ රසිකත්වය වර්ධනය හා ජනතාව දැනුවත් කිරීමයි. එවැනි නිමිත්තක් ඇතිව තමයි මේ සඟරාවේ අන්තර්ගතය අපි පෙළ ගැස්සුවේ.

* ඔබේ සංස්කාරකත්වයෙන් යුතු ප්‍රථම ‘හඬ’ කලාපයට ආනන්ද සමරකෝන් ප්‍රධාන නිමිත්ත කර ගත්තේ ඔහුගේ ජන්ම ශත වර්ෂය මේ වසරට යෙදුණු නිසාම ද?

එය ප්‍රධාන හේතුවක් වුණා. ඒ මොකද කිව්වොත් ආනන්ද සමරකෝන් කියන්නේ නිකම්ම නිකම් පුද්ගලයෙක් හෝ කලාකරුවෙක් නෙමෙයි. ඔහු මේ රටේ සුවිශේෂිතම කලාකරුවෙක්. ආනන්ද සමරකෝන් යනු මෙරට සංගීත ඉතිහාසය තුළ අධ්‍යාපනික, සංස්කෘතික හා සංගීතමය වශශයෙන් විමසුමට ලක් වන අගනා යුගයක් නිර්මාණය කළ පරමාදර්ශී ගී තනු රචකයෙක්. පද රචකයෙක්. රසවතුන්ගේ හදවත් ප්‍රකම්පනය කළ සෞන්දර්යවාදියෙක්.  ආනන්ද සමරකෝන් කියන්නේ ග්‍රැමෆෝන් තැටි ඔස්සේ ගීත නිර්මාණය කළ කලාකරුවෙක්. ග්‍රාමෆෝන්වලට ගැයූ මධුර මනෝහර ගීත බහුතර රසික ප්‍රජාව වෙත ගෙන ගියේ ලංකා ගුවන් විදුලියයි. මුල් යුගයේ ලංකා ගුවන් විදුලිය ස්වතන්ත්‍ර ගීතයෙන් පොහොසත් කිරීමෙන් ආනන්ද සමරකෝන් ගුවන් විදුලියට අතිවිශේෂ මෙහෙවරක් ඉටු කර තිබෙනවා.

ගුවන්විදුලිය ආනන්ද සමරකෝන් රටට හඳුන්වා දෙන්න ලැබුණා වගේ ම ආනන්ද සමරකෝන්ගේ ගීතවලින් ගුවන්විදුලිය පෝෂණය වීමත් අපට අමතක කරන්න බැහැ. ඊට කෘතගුණ සැලකීමක් විදියට අපි ‘හඬ’ පළමු කලාපයේ සුවිශේෂී නිමිත්ත එතුමා බවට පත් කරගත්තා. රටක ජාතික ගීය නිර්මාණය කරන්නට ලැබෙන්නේ එක් අයෙකුටම පමණයි. එය වෙනස් වන්නේ නැහැ. ඔහු සමස්ත ජාතියේ ම සම්භාවනාවට පාත්‍ර වන්නෙක්. ශ්‍රී ලංකාවේ ජාතික ගීය නිර්මාණය කිරීමේ භාග්‍යවන්තයා වූයේ ද ආනන්ද සමරකෝන්.  ඒ වගේ ම ස්වතන්ත්‍ර තනු නිර්මාණය වගේ ම ස්වතන්ත්‍ර ගී රචනා නිර්මාණයෙහිලා පුරෝගාමියා වූයේ ද ඔහුයි.

ග්‍රැමෆෝන් තැටිවලට සිංහල ස්වතන්ත්‍ර ගී ගැයූ පළමු ගායකයා වූයේත් ආනන්ද සමරකෝන්. දේශීය ගී ආර නිර්මාණ කිරීමෙහිලා පළමු යෝධ පියවර තැබුවෙත් ඔහුයි. ආචාර්ය අමරදේව වැනි ගායකයන් පෝෂණය කර කූඨ ප්‍රාප්තියට ගෙන ඒමට හැකි වූයේත් ආනන්ද සමරකෝන් ආ මඟ ආ නිසයි. මේ විදියට බලනකොට ආනන්ද සමරකෝන් කියන්නේ ලාංකීය ජනතාවට සුවිශේෂී චරිතයක්. සමස්ත ජාතියම ඔහු සැබැවින් ම හඳුනා ගෙන සිටිය යුතුයි. ඒ නිසා අප ‘හඬ’ පළමු කලාපය මේ සුවිශේෂී කලාකරුවාට වෙන් කළා. ඒ අනුව මෙම කලාපයෙන් ආනන්ද සමරකෝන්ගේ ජීවන තොරතුරු ඔහුගේ සංගීත සේවාව පිළිබඳ තක්සේරු කිරීමක්, ජාතික ගීය නිර්මාණය කිරීමේ දී ඔහු මුහුණදුන් ගැටළු වගේ ම ලෝකයේ රටවල් 169 ක ජාතික ගී පිළිබඳ මූලික තොරතුරු ‘හඬ’ ට අන්තර්ගතය වූණා.

* ‘හඬ’ සඟරාවේ ප්‍රධාන අරමුණ ගැන විග්‍රහ කළොත්?

හොඳ සොබාවික ගීතය රසවිඳින ශ්‍රාවක පිරිසක් බිහිකිරීම අපගේ ඒකායන අරමුණයි. ඒ සඳහා කිසියම් විදියේ කතිකාවතක් ‘හඬ’ ඔස්සේ ඇති කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. දැනට හඬ ප්‍රකාශයට පත් වන්නේ තෛ‍්‍රයිමාසිකවයි. හැකි තරම් ඉක්මනට මෙය මාසික සඟරාවක් බවට පත් කිරීම අපේ තවත් බලාපොරොත්තුවක්.

* අතීතයේ දී මෙරට ජාතික ගුවන් විදුලිය ජනතාව සමීපව වැළඳගත් ප්‍රබලතම විද්‍යුත් මාධ්‍යයයි.ජනතාව දැනුවත් වීම බොහෝ විට ගුවන්විදුලියෙන් සිද්ධ වුණා. එහෙත් වර්තමානය වන විට ජාතික ගුවන්විදුලිය අසන්නේ නැති තරම්. ඇත්තටම අද ජාතික ගුවන්විදුලි සංස්ථාවේ තත්ත්වය කෙබඳු ද?

ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආරම්භ කරන්නට පෙර නිළ නොලත් විශ්වවිද්‍යාල දෙකක් තිබුණා. එකක් ‘සිළුමිණ’ පත්තරේ. ඒකට කිව්වේ සත දහයේ විශ්වවිද්‍යාලය කියලයි. අනෙක ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. එවැනි හැඳින්වීමක් ජනතාව තුළ තිබුණේ ඔවුන් දැනුම ලබාගත්තේ මේ මාර්ග දෙකෙන් නිසයි. ජාතිය දැනුවත් කිරීමේ පුරෝගාමී මෙහෙවරක් කළේ මේ දෙකයි. අදටත් මේ තත්ත්වයේ වෙනසක් වෙලා නැහැ. දැනුත් මේ ආයතන දෙකටම ජාතිය දැනුවත් කිරීමේ වගකීම තියෙනවා.

කලාකරුවන්ගේ සහ විද්වතුන්ගේ දායකත්වය ලබාගෙන ගුවන්විදුලි සංස්ථාව නැවැතත් මේ කරනු ලබන්නේ ඒ කාර්යභාරයයි. ගුවන්විදුලිය කියන්නේ රටක ජනතාවට ආමන්ත්‍රණය කළ හැකි මිළ අඩුම සහ ප්‍රබලම මාධ්‍යයයි. ගුවන්විදුලිය ඕනෑම මොහොතක කිසිදු ආයාසයකින් තොරව ඇසිය හැකියි. එනිසා ගුවන්විදුලිය සතු බලය අනෙකුත් මාධ්‍ය තුළ නැහැ. ගුවන්විදුලියට ජනතාව අතරට ඍජුව යා හැකියි.

* නමුත් රූපවාහිනිය ඉදිරියේ දී ගුවන් විදුලිය පසුබෑමකට ලක්වී තිබෙනවා නේද?

රූපවාහිනිය නිසා රූප සංස්කෘතිය (විෂුවල් කල්චර්) විසින් නිසරු දේවල්වලින් ජනතාව ආකර්ෂණය කර ගැනීම නිසා අනාගත පරපුර සම්බන්ධයෙන් විශාල ගැටළුවක් පැන නැඟී තිබෙනවා. ජනතාවගේ හිත් කොල්ලකාගෙන තියෙනවා. මෙය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ බලහත්කාරකමින් ඉෂ්ට කරනවා. මේ පැහැර ගැනීමට එරෙහි ව ගුවන් විදුලියට නැඟී සිටීමේ ශක්තිය තිබෙනවා. ඒ මොකද ජනතාවගේ නිර්මාණශීලි දරු පරපුරක් ඇති කරමින් පරිකල්පන ශක්තිය වර්ධනය කළ හැක්කේත් ගොඩනැඟිය හැක්කේත් විද්්‍යුත් මාධ්‍ය අතරින් ගුවන්විදුලියට පමණයි.

ගුවන්විදුලි නාට්‍යයක් අසමින් අප අපගේ හිත්වල ඒ සියලු චරිත පරිකල්පනය කර ගන්නවා. එහෙම වෙනකොට අප නිර්මාණශීලි වෙනවා. නමුත් රූපවාහිනිය ඒ නිර්මාණශීලි පරිකල්පන ශක්තිය මරලා දානවා. තරුණ පරපුරෙත් ළමා පරපුරෙත් පරිකල්පන ශක්තිය හීන වෙලා ගිහින් තියෙන්නේ රූපවාහිනිය නිසයි. නිර්මාණශීලි පරපුරක් බිහි කිරීම සඳහා ගුවන්විදුලියෙන් පුනර්ජීවයක් ලබාදීමට වත්මන් සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මැදිහත් වී සිටීම ඇත්තටම සතුටට කරුණක්.

* පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවල ඇසෙන බස අසන්නට බැරිතරම් අමිහිරිජනකයි. බස විනාශ කරලා. දිනපතාම බස මරා දමනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?

හුදු වාණිජ පරමාර්ථ පමණක් අරමුණු කොට ගෙන ජාතියේ ඉදිරි පරම්පරාවේ යහපත සහමුලින් ම අමතක කරපු බවක් තමයි දකින්නට තිබෙන්නේ. ශ්‍රාවකයන්ට කළ යුතු යුතුකම පුදුමාකාර විදියට මේ අය මඟ හැරලා. අද අපට ඇහෙන ගුවන්විදුලි බස කොයිතරම් නම් පහත් දැයි කියනවා නම් ජනතාවගේ පතිවෘතාව, ගුණවත්භාවය මේ සියල්ල අතහැර දමා තියෙනවා. අද ගුවන් විදුලි නාලිකා මුදල්ම පරමාර්ථය කොට ගනිමින් සංස්කෘතියම විනාශ කරනවා. හරවත් භාෂාව වළපල්ලට දමලා. ඔවුන් කතා කරන දේ මොනවද කියලා ඔවුන්වත් දන්නේ නැහැ... මේ හරහා ජාතියට සිද්ධ වන හානිය අපමණයි.

මෙය අනිවාර්යයෙන් ම වගකිව යුත්තන්ගේ අවධානය යොමු විය යුතුයි. ජනතාවගේ මනස විනාශ කරලා මුදල් ඉපයීම මාධ්‍ය ව්‍යාපාරයේ නීති රීතිවලට පටහැනියි. ගුවන්විදුලි සංස්ථාව මුදල් අරමුණු කරගෙන කිසිම පියවරක් අරගෙන නැහැ. වාණිජ පරමාර්ථය මුල් වී කිසිම වැඩසටහනක් නිර්මාණය කරන්නේ නැහැ. ජාතිය හරවත් කිරීම ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ප්‍රධානතම අරමුණයි. මෑතක ඉඳලා විවිධ රූපවාහිනි නාලිකා සුපිරි තරු බිහි කිරීම ගැන පූරාජේරු කතා කරනවා. නමුත් මේ කටයුත්ත මුලින් ම කළේ ගුවන් විදුලි සංස්ථාවයි.

සොබාවික ගීතයේ දිදුළන තරුව ඩබ්ලිව්. ඩී. අමරදේවයි. ජනප්‍රිය තලයේ සුපිරි තරුව එච්. ආර්. ජෝතිපාල. මේ පරපුරේ වික්ටර් රත්නායක, නන්දා මාලිනි, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, සනත් නන්දසිරි ආදින් පසුකාලයේ සුපිරි තරු බවට පත් වුණා. මේ තරු හැම එකක් ම බිහි කළේ ගුවන්විදුලියයි. නමුත් ඒ තරු නැඟලා නිවී ගියේ නැහැ. මේ ගුවන් විදුලිය බිහි කළ සදා දිඳුළන තරු. ඒ වගේ පූර්වාදර්ශ ඕනතරම් තිබෙනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා