ඡන්ද පැවැත්වීමේ බලය මැතිවරණ කොමසාරිස්ට පමණයි

ඡන්ද පැවැත්වීමේ බලය මැතිවරණ කොමසාරිස්ට පමණයි

එජාප චෝදනා හිස් ප්‍රලාප බව ඇමැති මෛත්‍රී කියයි

පළාත් පාලන ආයතනවල මැතිවරණ පැවැත්වීමේ බලය ඇත්තේ අධිකරණ නියෝගය මත මැතිවරණ කොමසාරිස්වරයාට පමණක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. රජය කිසිසේත් මැතිවරණ කල් නොදමන බව ද ඒ මහතා කීය. රජය මැතිවරණ කල් දමන බවට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කරන චෝදනාව හිස් ප්‍රලාපයක් බව ද ඇමැතිවරයා පැවසීය.

පළාත් පාලන ආයතන කිහිපයක මැතිවරණ කල් දැමීමට මැතිවරණ කොමසාරිස්වරයා පියවර ගෙන ඇත්තේ අපේක්ෂකයන් තම නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අධිකරණයේ නඩු පවරා ඇති බැවින් යැයි ද ඒ මහතා පෙන්වා දුන්නේ ය.  මැතිවරණ කොමසාරිස්වරයා සතු බලතල හා අධිකරණය සතු බලතලවලට දේශපාලන බලපෑම් එල්ල කිරීමට රජය කිසිසේත් ක්‍රියා නොකරන බවද කීවේ ය. 

එසේම මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් කොමසාරිස්වරයා ඉතා ස්වාධීන ලෙස කටයුතු කරමින් සිටින බවද ඒ පිළිබඳ ඔහු ගන්නා තීන්දු තීරණ වලට රජය හිස නමන බවද කීවේ ය.  ලෝක කුසලාන ක්‍රිකට් තරග පැවැත්වෙන ප්‍රදේශවල මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා සිටියේ ද විපක්ෂයේ මන්ත්‍රීවරයකු වන අර්ජුන රණතුංග මහතා මිස රජය නොවන බවත් මහ ලේකම්වරයා සිහිපත් කළේ ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහවැලි කේන්ද්‍රයේ ඊයේ (08) පැවැත්වූ මාධ්‍ය හමුවේදී මහ ලේකම්වරයා මේ බව සඳහන් කළේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා