නවසිලන්තයට විශිෂ්ට ජයක්


රොස් ටේලර්ගේ පිත්ත පාකිස්තානය දණ ගස්වයි

නවසිලන්තයට විශිෂ්ට ජයක්

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති මංගල ජාත්‍යන්තර එක්දින තරගයේදී පිත්තෙන් පෙලහර පාමින් රොස් ටේලර් පන්දු 124කින් නොදැවී වාර්තා කළ ලකුණු 131ක ප්‍රහාරාත්මක ඉනිම මත නවසිලන්තය ලකුණු 110 කින් පාකිස්තානය පරදවමින් ලෝක කුසලාන තරගාවලියේ විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළේය. ලකුණු 303ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පාකිස්තානයට ලබා ගත හැකි වූයේ ලකුණු 192 ක් පමණි. ඕවර 41.4ක් ඇතුළත ඔවුන්ගේ සියලුම ක්‍රීඩකයෝ දැවී ගිය අතර මෙය මෙවර ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය ලැබූ ප්‍රථම පරාජය විය.

ටේලර්ගේ ප්‍රදර්ශනීය ඉනිමට හතරේ පහර අටක් සහ හයේ පහර හතක් ඇතුළත් විය. ඒ අනුව ඔහු මේ ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් වැඩිම හයේ පහර සංඛ්‍යාව (7) වාර්තා කර සිටින නෙදර්ලන්තයේ කෙවින් ඕබ්‍රයන් හා සම තත්ත්වයට පිවිසියේ ය.  ටේලර් ඊයේ එල්ල කළ සමහර හයේ පහරවලින් පන්දුව පතිත වූයේ ක්‍රීඩාංගණයෙන් පිටතය. පාකිස්තාන ඉනිමේ පළමු ඕවර 25 අවසන් වන විට ඔවුන්ගේ කඩුලු හයක් ලකුණු 93කට බිඳ වැටී තිබිණි.  දෙවැනි ඕවරයේදී ඔවුන්ගේ පළමු කඩුල්ල ලෙසින් මොහමඩ් හෆීස් ලකුණු 5කට දැවී ගියේය.

අනතුරුව 7වැනි ඕවරයේදී දෙවැනි හා තෙවැනි කඩුලුත් ඊළඟ ඕවරයේදී සිවුවැනි කඩුල්ලත් මුළු ලකුණු 23දී බිඳ වැටිණි.  7වැනි ඕවරයේදී කඩුලු දෙකම ලබා ගත්තේ කයිල් මිල්ස් ය. අහමඩ් ෂෙසාඩ් ලකුණු 10කටත්, යූනුස් ඛාන් ලකුණු නොලබාත් දැවී ගියහ. අංක 1 පිතිකරු කම්රාන් අක්මාල් ට ලබා ගත හැකි වූයේ ලකුණු 8ක් පමණි. උමාර් අක්මාල් හා ෂහිඩ් අෆ්රිඩි 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 36ක් එක් කරමින් සිටියදී නේදන් මැකලම්ගේ පන්දුවකට ජේකබ් ඔරාම් අතට උඩ පන්දුවක් දෙමින් උමාර් දැවී ගියේය. පන්දු 58කට මුහුණ දුන් ඔහු හතරේ පහර 3ක් සමග ලකුණු 38ක් ලබා ගත්තේය. අෆ්රිඩි මුහුණ දුන්නේ පන්දු 9කට පමණි. ඔහු හයේ පහරක් හා හතරේ පහර 2ක් සමග ලකුණු 17ක් ලබා ගත්තේය.

පාකිස්තානය වෙනුවෙන් ඊයේ වැඩිම ලකුණු ලබා ගත්තේ අබ්දුල් රසාක් ය. සිය 23 වැනි ජාත්‍යන්තර එක්දින ශතකය වාර්තා කළ ඔහු ලකුණු 62ක් රැස් කළේය. පන්දු 74ක ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් ඇතුළත්ව තිබිණි. රසාක් හා උමාර් ගුල් 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66ක සබඳතාවක් පිහිටුවූහ. 42 වැනි ඕවරයේ ස්කොට් ස්ටයිරිස්ගේ පන්දුවකට “ලෝන්ග් - ඕන්” හි පන්දු රකිමින් සිටි ජේකබ් ඔරාම් වෙත උඩ පන්දුවක් දෙමින් රසාක් දැවී ගියේය. ගුල් පන්දු 25කින් නොදැවී ලකුණු 34ක් ලබා ගත් අතර හතරේ පහර 3ක් සහ හයේ පහරක් ඊට ඇතුළත් විය.

මේ තරගයේදී නවසිලන්ත පිලෙන් හයේ පහර 13ක් වාර්තා වූ අතර පාකිස්තානයෙන් වාර්තා වූයේ හයේ පහර 2ක් පමණි. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති මේ මංගල ජාත්‍යන්තර එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසිලන්තය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළද පළමු ඕවරයේදී ම ඔවුන්ගේ පළමු කඩුල්ල බිඳ වැටිණි. ෂොයිබ් අක්තාර් ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් බ්‍රෙන්ඩන් මැකලම් තරගයේ සිවුවැනි පන්දුවේ දී දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව 8 ක් පමණක් විය. එය මේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී බිඳ වැටුණු පළමු කඩුල්ල විය.

මැකලම් ලබා ගත්තේ ලකුණු හයක් පමණක් වූ අතර ඔහු ඒ ලකුණු ලබා ගත්තේ හයේ පහරකිනි.  එය මේ ක්‍රීඩාංගණයේ වාර්තා වූ පළමු හයේ පහර විය. අක්තාර් ට එම හයේ පහර එල්ල කිරීමෙන් පසු ඊළඟ පන්දුවේදී මැකලම් දැවී ගියේය. මාටින් ගප්ටිල් හා ජැමී හවු (4) එක්ව මුළු ලකුණු ප්‍රමාණය 55 දක්වා ඉහළ නංවමින් සිටියදී උමාර් ගුල් ගේ පන්දුවකට කඩුල්ල මුවා කරමින් හවු 13 වැනි ඕවරයේදී දැවී ගියේය. ඉන්පසු රොස් ටේලර් පිටියට පිවිස ආරම්භක පිතිකරු ගප්ටිල් හා එක්විය. නවසිලන්ත ඉනිමේ හරි අඩක් නිමාවන විට මුළු ලකුණු සංඛ්‍යාව 99 ක් විය. ටේලර් හා ගප්ටිල් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57ක් එක් කරමින් නවසිලන්ත ඉනිම ප්‍රාණවත් කරන බලාපොරොත්තු ඇති කරවමින් සිටියදී පාකිස්තාන නායක ෂහිඩ් අෆ්රිඩි විසින් එම සබඳතාව අවසන් කරනු ලැබිණි.

29 වැනි ඕවරයේදී අෆ්රිඩි එවූ පස්වැනි පන්දුවට පා පෙදෙසට පහරක් එල්ල කිරීම ගප්ටිල්ගේ වුවමනාව වී තිබුණද පහර වැරදිනි. කෙළින් ම ආ පන්දුව කඩුල්ලේ ගැටිණි. එය අෆ්රිඩි මේ ලෝක කුසලාන තරඟාවලියේ වාර්තා කළ 15 වැනි කඩුල්ල වූ අතර ඔහු දැන් මේ තරඟාවලියේ මෙතෙක් වැඩිම කඩුලු දවාලූ පන්දු යවන්නා බවට පත්ව සිටී. මාටින් ගප්ටිල් ලකුණු 57ක් රැස් කළ අතර එය ඔහුගේ 11 වැනි ජාත්‍යන්තර එක්දින කඩුල්ල විය. පන්දු 86කට මුහුණ දෙමින් ගප්ටිල් ලබා ගත් ලකුණු 57ට හතරේ පහර හයක් ඇතුළත්ව තිබිණි. ඊළඟ ඕවරයේදී ජේම්ස් ෆ්‍රැන්ක්ලින් (1) දැවී ගියේය. එම කඩුල්ල ලබා ගත්තේ දඟ පන්දු යවන මොහමඩ් හෆීස් ය. ඔහුගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ෆ්‍රැන්ක්ලින් දැවී ගියේය.

නවසිලන්තයට ඊළඟ කඩුල්ල අහිමි වූයේද කඩුල්ල මුවා කිරීම නිසාය. එවර දැවී ගියේ ස්කොට් ස්ටයිරිස් ය. ඒ, 42 වැනි ඕවරයේ පන්දු යවන්නා වූයේ උමාර් ගුල් ය. පන්දු 37කට මුහුණ දුන් ස්ටයිරිස් හතරේ පහරක් සමග ලකුණු 28ක් රැස් කළේය. ස්ටයිරිස් හා ටේලර් පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 77කදී ලකුණු 62ක් එක් කළහ. නේදන් මැකලම් හයේ පහර 2ක් සහ හතරේ පහරක් සමග පන්දු 10කින් ලකුණු 19ක් රැස් කළේය. ඔහු ගුල්ගේ පන්දුවක් කෙළින් ම කඩුල්ලේ ගැටීමෙන් 46 වැනි ඕවරයේදී දැවී ගියේය. පාකිස්තානුවන් අන්දමන්ද කරවූ නවසිලන්ත ප්‍රහාරාත්මක පිතිහරඹය ප්‍රදර්ශනය වූයේ ඉන් පසුවය.

නවසිලන්තය අවසන් ඕවර පහේදී ලකුණු 100ක් රැස් කිරීමට සමත් විය. ඕවර 45ක් අවසානයේ ලකුණු 202ක් ලබාගෙන සිටි නවසිලන්ත ඉනිම ඕවර 50 අවසානයේ කඩුලු 7 ට මුළු ලකුණු 302 ක් ගෙන ගියේ රොස් ටේලර් හා ජේකබ් ඕරම් ය. දැඩි ආක්‍රමණශීලී අයුරින් සිය පිත්ත හැසිරවූ ටේලර් ඊයේ ඔහුගේ 27 වැනි උපන්දිනය සැමරුවේ නොදැවී ලකුණු 131ක් වාර්තා කරමිනි. මෙය ටේලර්ගේ සිවුවැනි ජාත්‍යන්තර එක්දින ශතකය වූ අතර ඔහුගේ හොඳම එක්දින ඉනිම ද විය. මීට කළින් ඔහුගේ හොඳම ඉනිම වී තිබුණේ 2006 නේපියර් හි දී ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් ලකුණු 128යි.

නරඹන්නන් ප්‍රීතියෙන් උන්මාදයට පත් කරවමින් පිත්තෙන් අපූරු රංගනයක නියැළුනු රොස් ටේලර් නොදැවී ලකුණු 131ක් වාර්තා කළේ පන්දු 124කට පමණක් මුහුණ දෙමිනි. ඔහුගේ මේ අති අගනා ඉනිමට හයේ පහර 7ක් සහ හතරේ පහර 8ක් ඇතුළත්ව තිබිණි. ටේලර් ශතකය ලබා ගත්තේ ෂොයිබ් අක්තාර් ට හයේ පහරක් එල්ල කරමිණි. ඒ, 47 වැනි ඕවරයේදී ටේලර් අක්තාර්ගේ පන්දුවලට පිට පිට හයේ පහර දෙකක්ද සමගින් හයේ පහර 3ක් හා හතරේ පහර 2ක් එල්ල කළේය.

ජේකබ් ඕරම් ද අනෙක් අන්තයේ සිට හයේ පහර 3ක් හා හතරේ පහරක්ද සමග පන්දු 9කින් ලකුණු 25ක් නවසිලන්ත ලකුණු පුවරුවට එක් කිරීමට සමත් විය. ඕරම් හා ටේලර් 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 22කදී ලකුණු 85ක් රැස් කළහ. මේ දෙදෙනාගේ අති අගනා සබඳතාවේ පළමු ලකුණු 50 වාර්තා වූයේ පන්දු 15කිනි. අබ්දුර් රසාක් හා ෂොයිබ් අක්තාර්ගේ අවසන් පන්දු 12න් ලකුණු 54ක් උදුරා ගැනීමට ටේලර් සමත් විය. ඊයේ වැඩියෙන් ම බැට කෑ පාකිස්තානු පන්දු යවන්නන් වූයේ ආරම්භක පන්දු යැවූ අක්තාර් හා අබ්දුර් රෙහමාන් ය. අක්තාර්ගේ ඕවර 9න් ලකුණු 70ක් වාර්තා වූ අතර රෙහමාන්ගේ ඕවර 10න් ලකුණු 60ක් ලබා ගැනිණි. අෆ්රිඩිගේ ඕවර 10න් ලකුණු 55ක් උදුරා ගැනිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා