මෙරට දේශපාලනයේ ප්‍රථම ස්ත්‍රී සළකුණ

මෙරට දේශපාලනයේ ප්‍රථම ස්ත්‍රී සළකුණ

ඇඩ්ලින් මොලමුරේ ප්‍රථමයෙන්ම දේශපාලනයට ප්‍රවේශයක් ලබාගන්නේ සිය පියාගේ මරණයෙන් පසු හිස් වන රුවන්වැල්ල ආසනය සඳහා තරග කිරීමෙනි. ජේ. එච්. මීදෙණිය ඇයගේ පියාය. ඔහු බ්‍රිතාන්‍ය පාලන කාලයේ විසූ අවසාන අදිකාරම් වූ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රථම මන්ත්‍රීවරයෙකුව සිටියේය. ඇඩ්ලින් මොලමුරේ, ජේ. එච්. මීදෙණිය මහතාගේ වැඩිමහලු දියණියයි.

රදළ පවුලකට අයත්ව 1890 වසරේ සැප්තැම්බර් මස පළමුවැනිදා ඇයගේ උපත සිදුවේ. අගනුවර බිෂොප් විද්‍යාලයෙන් ඕ අධ්‍යාපනය හැදෑරුවාය. 1912 වසරේදී ඇඩ්ලින් මොලමුරේගේ විවාහය සිදු වේ. ඒ එවකට කෑගල්්ලේ අද්වකාත්වරයකු වූ ප්‍රැන්සිස් මොලමුරේ මහතා සමග ය. සිය දයාබර සැමියා දේශපාලනයට ඇදීයාමෙන් පසුව ඇය තුළද දේශපාලන උනන්දුවක් ඇති විය.

1931 වසරේ පැවැති අතුරු මැතිවරණය සඳහා ඕ රුවන්වැල්ල ආසනයෙන් තරග කළාය. ඉන් ඇය ශ්‍රී ලංකාවේ ප්‍රථම මන්ත්‍රීවරිය ලෙස මැතිසබයට තේරී පත්වූවාය.

දේශබන්ධු පළමු පන්තියේ සම්මානය ලබා...

ඕ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශයේ විධායක කාරක සභාවේ සාමාජිකාවක ද විය.

1936 වසරේදී ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා හා තරග කිරීමෙන් ඇඩ්ලින් මොලමුරේ ආර්යාව පරාජය ලැබුවාය. එකොළොස් වසරක් පමණ දේශපාලනයෙන් ඈත්ව කල් ගෙවූ ඇය යළිත් දේශපාලනයට ප්‍රවේශ වූවාය.

එක්සත් ජාතික පක්‍ෂය පිහිටුවීමෙන් පසුව ඇය එහි සාමාජිකාවක වූවාය. ඇඩ්ලින් මොලමුරේ 1947 වසරේදී පිහිටවූ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයට පත් විය. එතැන් සිට සෙනෙට් මන්ත්‍රීවරියක වීමේ අවස්ථාව ඇයට ලැබිණි.

ඕ 1948 වසරේදී එක්සත් ජාතික පක්‍ෂයේ කාන්තා පෙරමුණේ ප්‍රථම සභාපතිවරිය විය. ඇය වසර හයක්ම එම තනතුර දැරීය. 1950 වසරේදී අන්තර් ජාතික කාන්තා සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපතිනිය වශයෙන් වසර හයක් සේවය කළාය.

විදේශීය බුහුමනට පාත්‍රව

1950 වසරේදී බ්‍රිතාන්‍යයේ අලුත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය, හයවැනි ජෝර්ජ් රජතුමා විසින් විවෘත කිරීමේ මහෝත්සවයට සහභාගි වූ එකම ශ්‍රී ලාංකේය කාන්තාව වන්නේ ඇඩ්ලින් මොලමුරේ ආර්යාවයි. 1953 වසරේදී පැවැති අන්තර් පාර්ලිමේන්තු සම්මේලනයට සහභාගි වූ ශ්‍රී ලාංකේය නියෝජිතයන් අතරට ඇයද එක්ව සිටියාය. එහිදී ඉන්දියානු පුරවැසි ගැටලුව සම්බන්ධයෙන් කතා කරමින් ඕ සැමගේ ගෞරවාදරයට පාත්‍ර වූවාය.

1956 වසරේදී ඇඩ්ලින් මොලමුරේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ උප සභාපති තනතුරට පත් වූයේ ඒකච්ඡන්දයෙනි.

ඇය දේශපාලන ජීවිතයෙන් සමුගැනීමෙන් පසු පොදු සමාජ සේවා කටයුතුවල නියැළෙමින් කාලය ගත කළාය. 1977 වසරේ ජූලි මස 27 වැනි දින ඇඩ්ලින් මොලමුරේ ආර්යාව අප අතරින් වෙන් වූවාය.

ශ්‍රී ලාංකේය කාන්තා දේශපාලනයේ ඉදිරි ගමනේ පුරෝගාමී කාන්තාව ලෙසින් ඉතිහාසයේ රන්වන් අකුරින් ලියැවෙන්නේ ඇඩ්ලින් මොලමුරේ නාමයයි. ඒ ප්‍රථම මන්ත්‍රිනිය වශයෙන් මැතිසබය හෙබ වූ බැවිනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා