ළහිරුගේ පිට හරහා පුපුරා ගිය කාන්තිගේ කේන්තිය

ළහිරුගේ පිට හරහා පුපුරා ගිය කාන්තිගේ කේන්තිය

‘කොරොටෝ කෝනස්’ පුද්ගලයකුට හැදෙන ඉතාම දුර්ලභ ආකාරයේ අක්ෂි රෝගයක්. මේ රෝගයේ ලක්ෂණය තමයි අක්ෂි කාචයේ කොටසක් ඉදිරියට නෙරා ඒම. එවිට සැත්කමක් මඟින් මේ නෙරා ඒම පාලනය කළ යුතුයි. එසේ නොකළහොත් අක්ෂි කාචය පුපුරා යෑමේ අවදානමක් ද තිබෙනවා. අද ‘අකුණ’ ගෙන එන්නේ මෙන්න මේ ‘කොරෝටෝ කෝනස්’ (Keratoconus) නමැති අති දුර්ලභ රෝගයෙන් පෙළුණු දරුවකුගේ අනුවේදනීය කතා පුවතයි.

නම – අමුවත්තේ මුදියන්සේලාගේ ළහිරු රුවන් චාමර
වයස - අවුරුදු 13යි (දැන් ඔහුට අවුරුදු 15කි)
ලිපිනය – රත්නපුර දිස්ත්‍රික්කයේ බෙලිහුල්ඔය, ගලගම
දිනය – 2009 ජූලි 10

හිරුගේ මවත් පියාත් වෘත්තීය ගුරුවරුන් දෙපළක්. ගලගම සුප්‍රසිද්ධ පාසලක ඔවුන්දෙදෙනා සේවය කළා. ළහිරුත් ඔහුගේ සොයුරාත් ඉගෙන ගත්තේ ද මේ පාසලේමයි. පාසලේ විතරක් නෙමෙයි ගමේ හැම දෙනාමත් ළහිරුගේ මේ රෝගය ගැන දැනගෙන හිටියා. බර වැඩ කිරිම ළහිරුට වෛද්‍යවරු තහනම් කරලයි තිබුණේ. ඒ විතරක් නෙමෙයි ඇස් දෙකට දූවිලි නොයන විදිහට ගොඩාක් පරිස්සම් කර ගන්න කියලත් වෛද්‍යවරු ඔහුගේ අම්මටයි තාත්තටයි උපදෙස් දීලත් තිබුණා. 2009 ජූලි 10 වැනි දිනටත් හිරු උදාවුණා. උදෑසනින්ම අවදිවුණු ළහිරු වෙනද වගේම ඇඳ පැළඳගෙන පාසල බලා නික්ම ගියේ පවුලේ සෙසු අය ද සමඟින්, එදින 05 වැනි කාල පරිච්ඡේදයේදී තිබුණේ ‘ප්‍රායෝගික තාක්ෂණය’ විෂයයි. කාන්ති පතිරණ නමැති ගුරුවරිය තමයි එම විෂයය ඉගැන්වූයේ. එම කාල පරිච්ඡේදය වේලාවෙදි ලහිරුගේ පන්තියේම දරුවන්ට පාසල් වත්තට යන්න සිදුවුණා. ඒ වෙන දෙයක් නිසා නෙවෙයි ඒ කාලපර්ච්ඡේදයේ දී පාසල් වත්ත පිරිසුදු කරන්නත් පැළ සිටුවන්නත් යන ලෙසට පතිරණ ගුරුතුමිය ඔවුනට පැවැසූ බවයි.

මාරා වේශය

ළහිරු

ඇගේ නියමය පරිදි සෙසු ළමයින්ද සමඟ පාසල් වත්තට ගිය ළහිරු පැළ සිටුවන්නත් පිරිසුදු කරන්නත් පටන් ගත්තා. ඒත් ළහිරුට වැඩි වේලාවක් මෙහෙම ඉන්න ලැබුණේ නෑ. එළියේ තිබුණු අවුරශ්මිය නිසාදෝ ළහිරුට තදබල හිසේ අමාරුවක් හැදුන නිසා ඔහු කෙළේ නැවතත් පන්ති කාමරයට පැමිණීමයි. ළහිරුත් සමඟ තවත් ළමයින් කිහිප දෙනෙක් ද පන්ති කාමරයට ආවා. ළහිරු තමාගේ මේසයේ හිස තබාගෙන සිටියේ ඔලුවෙ කැක්කුම එන්න එන්නම දරුණු වුණු නිසයි. මේ විදියට කාලය ගෙවීගෙන යද්දි පතිරණ ගුරුතුමිය 07 වැනි කාල පරිච්ඡේදයේ දී ළහිරුගෙ පන්ති කාමරයට ආවේ මාරාවේශයෙන්. වේවැලක් ද අතැතිව පැමිණි ඇය මේ අහිංසක දරුවන්ගෙන් කිසිත් නොවිමසාම ඇගේ කාල පරිච්ඡේද වේලාවේදී පාසල් වත්ත සුද්ද කරන්නේ නැතිව පන්තියට පැමිණි ළහිරුටත් අනිත් ළමුන් කිහිප දෙනාටත් පහර දෙන්න ගත්තා.

මේ අසරණ දරුවා පෙළෙන රෝගය ගැනවත් සිතන්නේ නැතිව ඇය ළහිරුට පහර දුන්නේ පිට පුරා දරුණු වේදනාවක් සමඟම ගැසූ පහර නොමැකී තිබෙන්නම පිට පුරා දරුණු සලකුණු ද ඉතුරු කරමින්. ඇගේ පහර කෑමෙන් පසු ළහිරුගේ තිබුණු හිසේ අමාරුව තව තවත් දෙගුණ තෙගුණ වුණා. තමාට වුණු මේ සිද්ධිය ගැන ළහිරු අවසන් කාල පරිච්ඡේදයේ දී ඇගේ මවට ගිහින් කිව්වේ ඔහුගේ හිසේ අමාරුව දරාගත නොහැකි තරම් දරුණු වුණු නිසයි. ළහිරුගෙ මව දයා මැණිකේ වහාම ළහිරුගෙ පන්තියට ගිහින් සිද්ධිය ගැන විමසූ විට ‘ඔව් මිස් අපටත් ගැහුවා. ළහිරුගෙ ඇහැ ඔපරේෂන් කරලා තියෙද්දීත් එයාටත් ගැහුවා’ යනුවෙන් සිසු සිසුවියන් සිද්ධිය ගැන ඇයට කිව්වා. ඇය මේ ගැන එම පාසලේම ගුරුවරයකු වන ඇගේ සැමියාට ද සැලකළා. ඇහැක් වගේ පරිස්සම් කරගන්න කියපු ළහිරුට වුණු මේ පහරදීම නිසා මවුපියන් කෙතරම් කම්පාවුණා දැයි අමුතුවෙන් කිවයුතු නෑ.

සායනය

මේ අතර ළහිරුගෙ මවුපියන් පාසලේ විදුහල්පතිවරිය වෙත ගියේ මේ අමානුෂික සිද්ධිය ගැන සැල කරන්නයි. ඒත් ඒ වේලාවේදී විදුහල්පතිවරිය නොසිටි බැවින් වැඩ බලන විදුහල්පතිනිය වන අමරා අත්තනායක මහත්මියට ඔවුන් මේ ගැන කිව්වා. ‘හරි මං මේ ගැන අහල බලන්නම්’ ඒ වැඩ බලන විදුහල්පතිනියගෙන් ඔවුනට ලැබුණු පිළිතුරයි. සායනයකට සහභාගිවිම සඳහා එදින ඔවුනට ඇස් රෝහලට ද ඒමට තිබුණා. ගෙදර ගිය ළහිරු පාසල් ඇඳුම පිටින්ම ඇඳට වැටුණේ දහවල් ආහාරයවත් ගන්නේ නැතිවයි. ක්ලාන්ත ගතියක් එන බවත්, දරුණු වේදනාවක් පිට හරහා මෙන්ම ඔළුව දෙසින්ද එන බවත් ඔහු මවුපියන්ට කිව්වා. මේ නිසාම කොළඹ ඇස් රෝහලේ සායනයටවත් ඔවුනට යන්න ලැබුණේ නෑ. පිට ඉදිමී, නිල් වී වේවැල් පහරවල්වල සලකුණු ළහිරුගේ පිටෙහි ඇති අයුරු දුටු ඔහුගේ මවුපියන් කෙළේ වහාම මේ ගැන පැමිණිලි කිරීමට සමනළ වැව පොලිසියට යෑමයි. එහි දී ළහිරු පරීක්ෂා කර බැලූ පොලිස් නිලධාරීන් ඔවුන්ගේ පැමිණිල්ල ලියා ගත්තා.

වෛද්‍ය වාර්තාව

පසුව ළහිරු වහාම බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කෙරුණා. නේවාසික ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව නිවෙසට පැමිණි ළහිරු පාසල් යෑම තරයේම ප්‍රතික්ෂේප කළා. තත්ත්වය මෙසේ වෙද්දී 2009 – 07 – 13 වැනි දින පාසලට පැමිණි පොලිස් නිලධාරියෙක් පන්තියේ ළමයින්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන 15 වැනි දින පොලිසියට පැමිණෙන ලෙස ළහිරුගේ මවුපියන්ට පවසා නික්ම ගියේ ය. පොලිසියේ කැඳ වීමට අනුව ළහිරුත් ඔහුගේ පියාත් පොලිසිය බලා නික්මිණි. ඒ වන විටත් පාසලේ සියලුම ගුරු භවතුන් පොලිසියට රැස්ව සිටියහ. එහෙත් පොලිසිය ඇතුළට ගෙන ඇත්තේ විදුහල්පතිනියත්, වැඩ බලන විදුහල්පතිනිය හා කාන්ති පතිරණ ගුරුතුමියත් පමණි. පොලිසියේ දී පතිරණ ගුරුතුමිය පවසා ඇත්තේ පහරදීමක් නොකළ බවත්, පිටට තට්ටු දෙකක් දැමූ බවත් ය. දමපු තට්ටුවේ තරමට පිට ඉදිමුණා නම් පහරක් ගැසුවොත් දරුවාට අත්වෙන ඉරණම කුමක් වේදැයි දන්නේ සැබවින්ම දෙයියන්ම පමණි.

ස්ථානමාරුව

කෙසේ වෙතත් පොලිසියට පැමිණිලි කිරීමේ ප්‍රතිඵලය පසුදින ගෙන ආවේ ළහිරුගේ පියාට බලංගොඩ සිලෝගම මහා විද්‍යාලයට ස්ථාන මාරුවක් සමඟිනි. මේ වන විට පාසල් යෑම සහමුලින්ම ප්‍රතික්ෂේප කර සිටි ළහිරු බලෙන්ම පාසලට රැගෙන යාමට සිදු වූයේ 21 වැනි දින වාර විභාගය පැවැති හෙයිනි. විභාගය ලියමින් සිටි අතරතුරේ දී පතිරණ ගුරුතුමිය පන්තියට පැමිණ ‘පුතා අමාරු වුණා ද ?’ යි ළහිරු අසල සිටි ‘කිංස්ලි’ නැමැති සිසුවාගෙන් අසා ඇත්තේ ළහිරුට ඇසෙන පරිදිය. ඔහු “ඔව් මිස්” යැයි කී විට ‘පස්සට තව අමාරුවෙයි’ කියා ඇය එතැනින් පිටව ගොස් ඇත. චණ්ඩි පාට් දමන තර්ජනය කරන මැරවරයන් අප මේ සමාජයේ කොතෙකුත් දැක ඇත. එහෙත් පාසල් පද්ධතිය තුළ එවැනි දේ සිදුවනවා නම් එය අනුමත කළ හැකි ද ? ළහිරුට කරන මෙවැනි බලපෑම්, තර්ජනයන් හේතුවෙන් ඔහු කෙතරම් මානසිකව ඇද වැටෙන්නට ඇත්දැයි දන්නේ ද දෙවියන්ම පමණි.

එපමණක් නොව පාසලේ සෑම ළමයකුම ළහිරු සමඟ කතා කිරීම පවා නවතා දැමූහ. පාසලෙන් දිගින් දිගටම එල්ලවන මෙවන් බලපෑම් හේතුවෙන් පාසලේ හුදකලා වුණු ළහිරු ඉන්පසු දිගින් දිගටම පාසල් යෑම තරයේ ප්‍රතික්ෂේප කෙළේ ය. 2009 ජූලි 23 වැනි දින පාසල් සංවර්ධන සමිතිය රැස් වන්නේ ද මේ අතරතුර දී ය. මේ රැස්වීම කැඳවා තිබුණේ ද ළහිරුගේ සිදුවීම සාකච්ඡා කිරීමට බව එහි ගිය ළහිරුගේ පියාට සැනින් අවබෝධ විය. ළමයින්ට පහරදීම වරදක් නොවන බව ගුරුවරු එහිදී පවසා තිබේ. එහිදී පියවරු දෙදෙනෙක් ළහිරුටත් ඔහුගේ පියාටත් ඉතා පහත් අයුරින් අසැබි වදනින් බැණ පාසලින් නෙරපා දැමිය යුතු බවට ප්‍රකාශ කොට ඇත. මේ සිදුවීම ගැන 2009 අගෝස්තු 08 වැනි දින ඔවුහු පොලිසියේ නැවත පැමිණිල්ලක් දැමූහ.

පැමිණිල්ල

එම පැමිණිල්ලට අනුව අගෝස්තු මස 16 වැනි දින නැවත ඔවුන් පොලිසියට කැඳවා තිබිණි. විදුහල්පතිනිය, වැඩ බලන විදුහල්පතිනිය, කාන්ති පතිරණ සහ ඇගේ ස්වාමිපුරුෂයා ද සමිතියේ දී අසැබි වදනින් බැණ වැදුණු ආරියසේන නැමැති අය ද එදින පොලිසියට කැඳවා තිබිණි. සමනළවැව පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණ සිටි සැම දෙනාගෙන්ම කරුණු විමසා සිටි නමුත් කිසිවක් ලියා ගැනීමට නම් කටයුතු කර නැත. එහෙත් ආරියසේන නැමැත්තාගෙන් පමණක් එහි සිටි පොලිස් නිලධාරියකු කටඋත්තරයක් සනිටුහන් කර ගන්නා අයුරු ළහිරුගේ පියා දැක ඇත. නැවතත් 19 වැනි දින පොලිසියට ගිය ඔවුන් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියක් හමුවේ සිද්ධිය ප්‍රකාශ කර සිටියත් ඇය ඒ පිළිබඳව කිසිදු සටහනක් තැබීමට නම් පෙළඹී නැත. නැවත කිසිදිනෙක මෙවැනි බැණ වැදීමක් නොකරන ලෙසට අවවාද කළ එම නිලධාරීන් පසුදින මෙය අධිකරණයට දමන බව පවසා එහි තිබූ පොතක පතිරණ ගුරුතුමියගෙන් හා ළහිරුගේ මවගෙන් අස්සන් ලබාගෙන තිබේ.

අධිකරණයට පැමිනිම අත්‍යවශ්‍ය නොවන බවත් එය පොලිසියේ රාජකාරියක් බවත් එහි දී ස්ථානාධිපතිවරයා ළහිරුගේ මවුපියන්ට පවසා ඇත. එහෙත් ළහිරුගේ මව හා ඥාතීන් දෙදෙනකු බලංගොඩ අධිකරණයට 20 වැනි දින ගොස් ඇත්තේ ස්ථානාධිපතිවරයා පැමිණීම අනවශ්‍යයැයි කී නිසා මේ ගැන ඇති වු සැකය නිසාවෙනි. එහෙත් එදින ප. ව. 1.30 වනතෙක් අධිකරණයේ රැඳී සිටිය ද ඔවුන්ගේ නඩුව අසා නොමැත. එබැවින් එහි සිටි පොලිස් නිලධාරියකුගෙන් ඒ ගැන ඇසු විට ඔහු පවසා ඇත්තේ නඩුව රෙජිස්ටර් කිරීමට වෙලාව මදි වූ බවත්, නැවත දිනය සිතාසි මඟින් දැනුම් දෙන බවත් ය. එසැනින්ම ඔවුන් බලංගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා හමුවීමට ද ගිය ද ඔහු එදින නිවාඩු ගොස් සිටින බව එහි සිටි නිලධාරීන් පවසා ඇත. පසුදින ළහිරුගේ මවුපියන් නැවත බලංගොඩ පොලිසියට ගොස් නඩුව කතා නොකිරීම පිළිබඳව කරුණු විමසා තිබේ.

‘මාත් නිවාඩු ගිහිං හිටියේ’ මේ ගැන සමනළවැව පොලිසියෙන් අහන්න ඕනැ’යි කියූ ස්ථානාධිපතිවරයා දුරකථනයෙන් සමනළවැව පොලිසියට කතා කොට සමනළ වැව පොලිසියේ ස්ථානාධිපතිවරයා ඒ වෙලාවේ එහි නොමැති බව පවසා ඇත. පසුදින ගොස් මේ ගැන අහන්නැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ. පාලිසියෙන් නික්මුණු ළහිරුගේ මවුපියන් නිවෙසට යාමට බස් රියට ගොඩ වූ පසු එහි සිටි හිතවකුගෙන් දැන ගෙන ඇත්තේ ඒ වන විටත් සමනළවැව පොලිස් ස්ථානාධිපතිවරයා එහි සිටින බවයි. ඒ ලැබුණු තොරතුරට අනුව ඔවුන් නිවෙසට යෑම පසෙක තබා නැවත සමනළ වැව පොලිසිය කරා ගියහ. පොලිසියේ දී එක් නිලධාරියකු ර්‍ණධ්ඛ් මහත්තයා දැන් ආවේ. එයා රෙස්ට් කරනවා’ යැයි පවසා ඇත. එම නිලධාරියාම කොළයක් බලා පැමිණ නඩු අංකය 29856 බවත් ඊළඟ නඩු දිනය උසාවියෙන් බලාගන්නා ලෙසත් පවසා ඇත. කිසිම අයුරකින් පොලිස් ස්ථානාධිපතිවරයා හමුවීමට නම් ඔවුනට එදින ඉඩ දී නැත.

නීතිපති උපදෙස්

මේ අනුව 24 වැනි දින ළහිරුගේ පියා උසාවියට ගොස් තමන්ට දුන් නඩු අංකය රෙජිස්ටාර්වරයාට ලබාදී එම නඩුව ගැන තොරතුරු විමසා සිටියද එහි සිටි නිලධාරියකු විස්තර සොයා බලා ඔහුට පවසා ඇත්තේ එවැනි අංකයකින් නඩුවක් ලියාපදිංචි කර නොමැති බවයි. තමන්ට කිසිදු සාධාරණයක් ඉටු නොවන බව දැනගත් ළහිරුගේ මවුපියන් 26 වැනි දින බලංගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ගොස් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයා හමු වී විස්තර පැවැසූ විට ඔහු කියා ඇත්තේ අධ්‍යක්ෂතුමා සමඟ කතා කොට පාසල් වාරය පටන් ගැනීමට පෙර විසඳුමක් ලබා දෙන බවයි. එහෙත් තවමත් ඔවුනට විසඳුමක් ලබාදීමට ඔවුනට නොහැකි වී ඇත්තේ අධික වැඩ රාජකාරී ඇති නිසා වන්නට පුළුවන.

කෙසේ වෙතත් 2010 පෙබරවාරි මස 09 වැනි දින අදාළ නඩුව බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගැනිණි. අනතුරුව වැඩිදුර විභාගය සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට එය යොමු කර ඇත. මේ අනුව 2010 පෙබරවාරි මස 19 වැනි දින නීතිපති කාර්යාලය වෙත අදාළ නඩු වර්තාව ඉදිරිපත් කර ඇතත් මෙතෙක් මේ සම්බන්ධව නීතිපති උපදෙස් ලැබී නොමැති බව දැනගන්නට ලැබේ. වසරකටත් වඩා අධික කාලයක් පුරා නීතිපති උපදෙස් ලැබී නැත්තේ ඇතැම් විට නීතිපති කාර්යාලයේ අධික වැඩ රාජකාරී ගොඩගැසී ඇති නිසා වන්නට ඇතැයි අපි සිතමු. මේ කාලය පුරාම ළහිරුටත් ඔහුගේ මවුපියන්ටත් විඳින්නට වූ දුක් ගැහැට අනන්තය. අප්‍රමාණය.

බලපෑම්

පාසල තුළ තවදුරටත් රාජකාරී කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වූ බැවින් ළහිරුගේ මවට ද වෙනත් පාසලකට මාරුවීමක් සාදා ගැනීමට සිදු වූවා ය. ඇගේ මාරුව ලබා ගැනීමේ දී ද විවිධ බලපෑම් ඇයට එල්ල විය. ගැසිය යුතු හොඳම තැන කුමක් දැයි තේරුම් ගත් ඒ බලවේග ඇගේ චරිතය ඝාතනය කිරීමේ ක්‍රියා පටිපාටියට එළඹිණි. ඇගේ චරිතය නරක බවත් පාසල තුළ අනියම් සබඳතා පැවැත්වූ බවත් පවසා විවිධ පාර්ශ්වයන්ගෙන් ඇගේ අලුත් පාසලට නාමික හා නිර්නාමික දුරකථන ඇමැතුම් ගලා ආවේ ය. උතුම් වූ ගුරු වෘත්තිකයන්ගේ හැසිරීම මෙලෙස උතුම් වෙද්දී ඇයට සිය දරුවන් දෙදෙනා ද පාසලින් ඉවත් කර ගැනීමට සිදු විය. ඒ අනුව නිවෙසට වඩා කිලෝමීටර 20කටත් ඈතින් පිහිටි පාසලකට ඔවුන් දෙදෙනා ඇතුළත් කෙරිණි. තත්ත්වය මෙලෙස වෙද්දී පතිරණ ගුරුමාතාව ද මේ වන විට වෙනත් පාසලකට මාරුවීමක් සාදාගෙන ගොස් ඇතැයි වර්තා විය. එහෙත් ප්‍රශ්නය නම් තවමත් එතැනමය.

අධ්‍යාපනය අයිතියකි. එහෙත් මෙය ඇතැම් ගුරුවරුන්, විදුහල්පතිවරුන් මෙන්ම අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ද දන්නවා දැයි යන්න ගැන නම් අපට ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. මේ සිදුවීම එයට එක් නිදසුනක් පමණි. ශාරීරික දඬුවම් දීම යනු අධ්‍යාපන අයිතිය අහෝසි කිරීමේ ආරම්භක පියවර ලෙස අපි විශ්වාස කරන්නෙමු. කුමන හේතුවක් යටතේ වත් සිසුවකුට අධ්‍යාපන අයිතිය අහෝසි කළ නොහැකි ය. අද අපේ කනට නිතරම ඇසෙන කියමනක් තිබේ. එනම් පාසල් දරුවන්ගේ විනය පිරිහී ඇති බවයි. විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතැම් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා විශාරදයන්ගේ මුවින් ද නිතරම පිටවන වදනක් බවට මෙය පත් වී ඇත. ඇත්තෙන්ම විනය පිරිහී ඇත්තේ කාගේ ද ? ශිෂ්‍යයින්ගේ ද එසේත් නැත්නම් ගුරුවරුන්ගේ ද ? විදුහල්පතිවරුන්ගේ ද ? අධ්‍යාපන බලධාරීන්ගේ ද ? හදවතට එකඟව මේ ගැන සිතන්න ඔබට නියම පිළිතුර ඔබේ හදවතින්ම ලැබෙන බව නො අනුමානය. පාසල් තුළ මෙවැනි තත්ත්වයන් යටපත් කිරීමට විවිධ බලවේග ක්‍රියාත්මක වන බව නොරහසකි. පාසලේ කීර්ති නාමය රැක ගැනීමට මෙවැනි බලවේග ඕනෑම ජඩ වැඩක් වසන් කිරීමට ඉදිරියට දමන අපූරුම කියමන එයයි.

මෙවැනි අවස්ථාවලදී අපරාධකරුවා බේරා ගැනීමට මවුපියන් පාසල් සිසුන් මෙන්ම පාසලේ උරුමක්කාරයන් ලෙස කියා ගන්නා ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද කටයුතු කිරීම සැබවින්ම ඛේදනීය තත්ත්වයකි. මෙයින් සිදු වන්නේ අපරාධයට ලක් වූ දරුවා පාසල තුළ තව තවත් පීඩාවට පත්වීමයි. මේ සටහන අවසන් කිරීමට පෙර පහත සඳහන් වධහිංසා පැමිණ වූ විට ඇතිවන නීතිමය තත්ත්වය පිළිබඳ සටහනක් තබන්නේ සමස්ත ගුරු ප්‍රජාවගේම දැන ගැනීම සඳහා ය. 1992 අංක 22 දරන ‘වධහිංසාව, කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකිලි හෝ දඬුවම්වලින් නිදහස්වීමේ සම්මුති පනත යටතේ වධහිංසාව, අමානුෂික හෝ අවමන් සහගත සැලකිලි, දඬුවම් පැමිණවීම අපරාධයක් වේ. මේ සඳහා අවම දඬුවම වසර 07කට නො අඩු සිර දඬුවමක් සහ රුපියල් 10,000කට නො අඩු දඩයකි. 1995 අංක 22 දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධිත) පනත ළමයින් කෲරත්වයට භාජනය කිරීම 308 අ (1) වගන්තිය හා බරපතළ තුවාල කිරීම ‘311’ වගන්තිය යටතේ අපරාධ වේ.

විෂමාචාරය

පාසල් සිසුන්ට ශාරීරිකව, මානසිකව දඬුවම් පැමිණවීම, පාසලෙන් අස් කිරීම අධ්‍යාපන නීති යටතේ වරදකි. එවන් ක්‍රියාවන්හි නිරතවන විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ආයතනික සංග්‍රහයේ 11 වැනි කාණ්ඩය යටතේ විනයානුකූල දඬුවම් ලැබිය හැකි විෂමාචාරයන්හි යෙදෙන්නෝ වෙති. ගුරු වෘත්තිය ලොව තිබෙන උතුම්ම වෘත්තියයි. ඒ ගැන විවාදයක් නැත. එහෙත් ගුරුවරයෙකුට සිසුන් පාලනය කරගත නොහැකි නම් (දඬුවම් නොකර) ඒ කාගේවත් වරදක් නොව එම ගුරුවරයා තුළම පවතින නොහැකියාවයි. එසේ නම් දරුවකුට පහර දෙන ගුරුවරයා යනු ඔහුගේ නොහැකියාව ප්‍රසිද්ධියේම ප්‍රදර්ශනය කරන්නෙකු නොවේ ද ? ඇතැමුන් තමාගේම වාසියට මේ ගැන තර්ක කරන්නේ ‘ගුටි කාපු නැති දරුවා හැඳිගාපු නැති හොද්දක් වගේ’ යැයි කියන විකාර කියමන ද උපහැරණයක් ලෙස දක්වමිනි. එහෙත් මෙලෙස කියන කාගෙ කාගේත් ඔලුගෙඩිවලට දමාගත යුතු කරුණක් ඇත. එනම් දරුවකු යනු දරුවකු මිස ලිපේ තැම්බෙන හොද්දක් නොවන බවයි.

   

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා