පන්ති තහනම් වූ එකම සිසුවෙක්වත් නැවත විශ්වවිද්‍යාලයට ගන්න එපා

නවක වදයට වරදකරුවන් වී

පන්ති තහනම් වූ එකම සිසුවෙක්වත් නැවත විශ්වවිද්‍යාලයට ගන්න එපා

සබරගමු උප කුලපතිට උසස් අධ්‍යාපන ඇමැතිගෙන් උපදෙස්

නවක වදය ලබාදීම හේතුවෙන් වරදකරුවන් වී පන්ති තහනමට ලක් ව සිටින එකම සිසුවකුවත් නැවත විශ්වවිද්‍යාලයට නොගන්නැයි උසස් අධ්‍යාපන ඇමැති එස්.බී.දිසානායක මහතා ඊයේ (24) සබරගමුව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය මහින්ද රූපසිංහ මහතාට උපදෙස් දුන්නේ ය. සිසුන්ට අමානුෂික ලෙස නවක වදය ලබාදීමට ක්‍රියා කරන විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය වහාම තහනම් කර නවකවද සිද්ධීන්ට සම්බන්ධ සිසුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියේ පැමිණිල්ලක් කරන්නැයි ද ඇමැතිවරයා උප කුලපතිවරයාට දන්වා සිටියේ ය. විශ්වවිද්‍යාලය වසරක් වසා දමා හෝ ශිෂ්‍යයන් දහසක් ඉවත් කර හෝ නිසි මඟට ගන්නවා මිස කිසි විටෙක ශිෂ්‍යයන්ට අවශ්‍ය පරිදි විශ්වවිද්‍යාල පාලනය කිරීමට ඉඩනොදෙන බව ඊයේ (24) උසස් අධ්‍යාපන අමත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා කියා සිටියේ ය.

ඊයේ (24) සිට ආරම්භ කෙරුණු විභාගයට මුහුණ නොදෙන සිසුන් අසමත් වූවන් ලෙස සළකන බව කී ඇමැතිවරයා ඔවුන්ගේ මහපොළ හා ශිෂ්‍යාධාර කපා දමන බව ද කීවේ ය. මහා ශිෂ්‍ය සංගමය තෝරාගත් නවක සිසුන් කිහිප දෙනකුට පෙර පුහුණුවක් ලබා දී ඔවුන් මඟින් අනෙකුත් නවක සිසුන් මෙහෙයවීමට කටයුතු කර ඇති බවද , එම නවක සිසුන් කවුදැයි සොයා බලා ඔවුන්ගේ ශිෂ්‍යභාවය සදාකාලිකව අහෝසි කර දැමීමට කෙලින් තීන්දුවක් ගන්නැයි ද ඇමැතිවරයා උප කුලපතිවරයාට පැවැසීය.  විශ්වවිද්‍යාලය වසා තිබිය දී පවා නවක සිසුන් විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයට ගෙනැවිත් නින්දනීය ලෙස නවක වදය ලබා දුන් සිසුන් 58 දෙනකුට එරෙහිව පන්ති තහනම් කර ඇත. ඔවුන්ට නැවත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලැබෙන්නේ කළ වරද පිළිගෙන, නැවත එම වරද නොකරන බවට සහතික වීමෙන් පමණක් බව දිසානායක මහතා කීවේ ය.

ඇමැතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ (24) උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී ය. විභාග තහනම පනවා ඇති 58 දෙනාගේ තහනම ඉවත් කරන ලෙස බල කරමින් උද්ඝෝෂණ පැවැත්වෙන බවත් මහා ශිෂ්‍ය සංගමය ඒ සඳහා සිසුන් ගෙන්වා ගන්නේ මරණ තර්ජන එල්ල කරමින් බවත් හෙතෙම පැවසීය. විශ්වවිද්‍යාලය ජාතික ප්‍රතිපත්තියට අවශ්‍ය ලෙස මෙහෙයවා නවක වදය තුරන් කරන බව කී ඇමැතිවරයා ඒ සඳහා කිසිම විටෙක ශිෂ්‍යයින්ට යටත් වීමට සූදානම් නැති බව ද අවධාරණය කළේ ය. මෙහිදී අදහස් දැක් වූ සබරගමුව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය මහින්ද රූපසිංහ මහතා ප්‍රකාශ කළේ විශ්වවිද්‍යාලයේ සිසුන්ගෙන් සියයට 95ක්ම ඉගෙන ගැනීමේ අවශ්‍යතාව තිබෙන සිසුන් බවයි.

විශ්වවිද්‍යාලයේ මෙවැනි තත්ත්වයක් ඇති වූයේ ප්‍රධාන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරකම් නිසා බවත් ඒ මහතා කීවේ ය. සිසුන් සියලු දෙනාගේ ඉගෙන ගැනීමේ නිදහස සඳහා විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය තහනම් කිරීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේ ය. මේ මාධ්‍ය හමුවට අමාත්‍යාංශයේ ශිෂ්‍ය කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ කීර්ති මාවැල්ලගේ, සබරගමුව විශ්වවිද්‍යාලයේ, පීඨාධිපතිවරු වන මහාචාර්ය ජී.ජයසිංහ, මහාචාර්ය පි‍්‍රයනාත් , ආචාර්ය සංජීව බණ්ඩාර හා මහාචාර්ය සුනිල් ශාන්ත මහත්වරු ද සහභාගී වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා