ලෝක සූර ඔස්ට්‍රේලියාව ඉන්දියාව ඉදිරියේ අසරණ වෙයි

ලෝක සූර ඔස්ට්‍රේලියාව ඉන්දියාව ඉදිරියේ අසරණ වෙයි

වත්මන් ලෝක සූරයින් කඩුලු 5කින් පරදවා සත්කාරක ඉන්දියාව අවසන්පූර්ව වටයට පිවිසීමට ඊයේ (24) සමත්විය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දැඩි පේ‍්‍රක්‍ෂක අවදානයක් දිනාගත් තරගය වූ අර්ධ අවසන් පූර්ව වටයේ දෙවන තරගය අහමදාබාද් ෂර්දාරි පටේල් ක්‍රීඩාංගණයේදී දිවා/රාත්‍රී තරගයක් ලෙස නිමාවට පත්වුණි. ජයග්‍රාහී ලකුණු 261ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම ඕවර 47.4 කදී කඩුලු 5ක් දැවී සිය ජයග්‍රහණය තහවුරු කරගනු ලැබීය. ප්‍රබල ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් දැඩි පීඩනයකට හසුකර ගනිමින් ඉක්මන් ලකුණු කරා ඉන්දීය ඉනිම රැගෙන යාමට ක්‍රීඩකයින් සමත්කම් දැක්වීය. ඉන්දීය සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් ලෝක කුසලාන ක්‍රිකට් තරග මාලාවේ වැඩිම ලකුණුලාභියා ලෙස පෙරමුණට පැමිණීමට සමත් විය.

ඉන්දීය සුපිරි පිතිකරු
සචින් ටෙන්ඩුල්කාර් ලෝක කුසලාන ක්‍රිකට් තරග මාලාවේ වැඩිම ලකුණුලාභියා ලෙස පෙරමුණට
පැමිණීමට සමත් විය.

ඊයේ තරගයේදී ඔහු ලබාගත් ලකුණු 53 ත් සමඟ මුළු ලකුණු 379 ක් ලබා පෙරමුණට පත්විය. තරග 7කදී ශතක 2 ක් අර්ධ ශතක 1 ක් ලබාගත් තෙන්ඩුල්කාර් ක්‍රිකට් වාර්තා පොතද අලුත් කරනු ලැබීය. එක්දින තරග බිමේ වැඩිම ලකුණුලාභියා ලෙස ගෞරවය දිනාගෙන සිටින ඔහු ලකුණු 18000 ක් ලබාගත් ලොව පළමු ක්‍රීඩකයා බවට පත් විය. පේ‍්‍රක්‍ෂකයින් අමන්දානන්දයට පත්කරමින් ඉන්දීය ජයග්‍රාහී ඉනිමේ දී යුවරාජ් සිං නොදැවී ලකුණු 57ක් රැස් කළේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් එක්ව තිබුණි. ගෞතම් ගම්භීර් ලකුණු 80ක්, සුරේෂ් රයිනා නොදැවී ලකුණු 34ක්, විරාත් කෝලි ලකුණු 24ක් රැස් කළහ.

පන්දු යැවීමේදී බ්‍රෙට් ලී, ෂෝන් ටෙයිට්, ෂේන් වොට්සන් හා ඩේවිඩ් හසී කඩුලු 1 බැගින් දවාගත්හ. මේ අනුව පාකිස්තානය හා ඉන්දියාව අතර අවසන් පූර්ව තරගයේදී තියුණු තරගයක් දැක බලා ගැනීමට පේ‍්‍රක්‍ෂකයනට අවස්ථාව උදාවනු ඇත. කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදුන් අතර නියමිත ඕවර 50 තුළදී කඩුලු 6 ක් දැවී ලකුණු 260 ක් රැස් කළේය. රඳවාගත් ලකුණු වේගය 5.20 කි. නායක රිකි පොන්ටිං නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් විශිෂ්ට පිතිහරඹයක නිරත වී අගනා ලකුණු 104 ක් රැස් කළේ හතරේ පහර 7 ක් හා එක් හයේ පහරක් සමගිනි. බ්‍රැඩ් හැඩ්න් ලකුණු 53 ක්ද, ඩේවිඩ් හසි නොදැවී ලකුණු 38 ක්ද, ෂේන් වොට්සන් ලකුණු 25 ක්ද රැස් කළහ. පන්දු යැවීමේදී යුවරාජ් සිං ලකුණු 44 කට කඩුලු 2 ක්ද, රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 52 කට කඩුලු 2 ක්ද, සහීර් ඛාන් ලකුණු 53 කට කඩුලු 2 ක්ද බැගින් දවා ගත්හ. තරගයේ වීරයා සම්මානය යුවරාජ් සිංට හිමිවිය.

ඔස්ට්‍රේලියාව කඩුලු 6 ක් දැවී (ඔවර 50) 260

රිකි පොන්ටිං 104, බ්‍රැඩ් හැඩ්න් 53, ඩේවිඩ් හසි (නොදැවී) 38, ෂේන් වොට්සන් 25 (රවිචන්ද්‍රන් අශ්වින් 52/2, සහීර් ඛාන් 53/2 යුවරාජ් සිං 44/2)

ඉන්දියාව කඩුලු 5 දැවී (ඕවර 47.4) 261

සචින් තෙන්ඩුල්කාර් 53, ගෞතම් ගම්භීර් 50, යුවරාජ් සිං (නොදැවී) 57, විරාත් කෝලි 24, සුරේෂ් රයිනා (නොදැවි) 34

(බෙට් ලී 45/1, ෂෝන් ටෙයිට් 52/1, ෂේන් වොට්සන් 37/1, ඩේවිඩ් හසී 19/1)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා