අමුත්තකු නොවූ අමුත්තා

අමුත්තකු නොවූ අමුත්තා

නාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගිය 22 දා පස්වරු 4 යි 10 ට පාර්ලිමේන්තුවට ගියේ ය. ඔහු එහි ගියේ පාර්ලිමේන්තුවට අමුත්තෙක් වශයෙන් නොව මහගෙදරට යන පවුලේ සාමාජිකයෙකු ලෙසය. ඔහු යන මොහොතේ පාර්ලිමේන්තුවේ කතා කරමින් සිටියේ පාර්ලිමේන්තුවට නවකයෙකු වන හර්ෂ ද සිල්වා ය. ජනාධිපතිතුමා සභා ගැබට එන බව කතානායක චමල් රාජපක්ෂ මැතිතුමා සභාට දැනුම් දුන්නේ ය. ආණ්ඩු පක්ෂයේ අය නම් පුදුම වූයේ නැත. එහෙත් විපක්ෂයේ අය නම් පුදුම වන්නට ඇත. ආණ්ඩු පක්ෂය පුදුම නොවූයේ තම නායකයා කියන දේ කරන කරන දේ කියන පොරොන්දු කඩ නොකරන දේශපාලනඥයෙකු නිසා ය. විපක්ෂය පුදුම වන්නට ඇත්තේ දහඅට වෙනි සංශෝධනයෙන් මොනවා කිව්වත් ජනාධිපති කොහේ පාර්ලිමේන්තු එන්නදැයි පූර්ව නිගමනයකට එළඹ සිටි නිසා විය හැකිය.

පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් දහඅට වෙනි සංශෝධනයට අඩංගු එක් වගන්තියක් වන්නේ ජනාධිපතිතුමා මාස තුනකට වරක් පාර්ලිමේන්තුවට පැමිණිය යුතුය යන්නය. එසේ පාර්ලිමේන්තුවට එන්නේ සිය අදහස් පළ කරන්නට පමණක් නොව මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න ඇත්නම් ඒවාට පිළිතුරු දෙන්නටය. කෙසේ නමුත් සභා ගැබේ ඇමැතිවරු ජනාධිපතිතුමාගේ පැමිණීම ගැන සිය ප්‍රසාදය පළ කළේ අත්පොළසන් නාදයකිනි. පළාත් පාලන ඡන්දයෙන් විජයග්‍රහණය ලැබුවාට පසු මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට ගොඩ වූ ප්‍රථම අවස්ථාව මෙය නිසා අත්පොළසන් නාදය වැඩි වූවා සේ පෙනේ. ජනාධිපතිතුමා පස්වරු හතරයි විස්සට පාර්ලිමේන්තුව ඇමතුවේ ඉතාමත් ලස්සන අර්ථාන්විත කියමනක්ද සමඟය. කථානායක පුටුවේ සිටියේ චමල් අයියා ය. හින්ද මල්ලී සිය නෑකම සිහිපත් කළේ අපූරු ආකාරයකට ය.

ඔබ හා මගේ සහෝදර බැම්ම සේම ව්‍යවස්ථාදායකය හා විධායකය අතර ඇති බැම්ම තර කිරීමට මම අද මෙහි පැමිණියෙමි යැයි මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉතා ආඩම්බරයෙන් කියා සිටියේ ය. ඒ ආඩම්බරකමට තවත් හේතුවක් වූයේ 18 වෙනි සංශෝධනයේ තවත් ජයග්‍රහණයක් ලැබූ නිසා ය. ඊයේ පාර්ලිමේන්තුවට මුදල් පනත් අටක් ඉදිරිපත් කර තිබුණි. ජනාධිපතිතුමා විනාඩි 25 ක් ඒ ගැන කතා කළේ ය. සියලු දෙනාට විශ්‍රාම වැටුප් ලැබෙන දායක විශ්‍රාම මුදල ගැනද එතුමා අවධාරණය කළේ ය. 1970 බෙලිඅත්තේ තරුණ මන්ත්‍රී වශයෙන් රාජාසන කතාවට ඉදිරිපත් වූ / ස්තූති යෝජනාව ස්ථීර කරන්නට තෝරා ගත් මොහොතේ සිට අද දක්වා මහින්ද රාජපක්ෂ නම් මන්ත්‍රීවරයාට / විපක්ෂ නායකයාට / ඇමැතිවරයාට / අගමැතිවරයාට පාර්ලිමේන්තුව අලුත් තැනක් නොවේ. ජනාධිපති මහින්ද රාජපක්ෂටද පාර්ලිමේන්තුව අමුත්තක් නොවේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා