ලිබියානු කැරලිකරුවන්ට ගඩාෆිගෙන් දිගටම ප්‍රහාර

ලිබියානු කැරලිකරුවන්ට ගඩාෆිගෙන් දිගටම ප්‍රහාර

ජනතාව ගම්බිම් හැර යති

ලිබියානු කැරලිකරුවන් යටතේ පවතින ප්‍රදේශවලට ගඩාෆි හමුදාව බදාදාත් යුද ටැංකි යොදාගෙන දැඩි ප්‍රහාර එල්ල කර තිබේ. මිස්රටා, අජ්ඩාබියා වැනි ප්‍රදේශවල වැසියන් දරුණු ප්‍රහාරයන්ට බියෙන් ගම්බිම් අත්හැර පලායන බව වාර්තා වේ. මිස්රටාහි පැවැති එකම රෝහලද ලිබියානු ආරක්ෂක හමුදා ප්‍රහාරවලින් මුළුමනින්ම විනාශ වී තිබේ. මේ අතර ඒකාබද්ධ හමුදා ප්‍රහාරයකින් ට්‍රිපොලි නගරයට කි.මී. 32 පමණ නැඟෙනහිරින් පිහිටි ටජුරාහි ගඩාෆි සතුව තිබූ ප්‍රධාන හමුදා කඳවුරක් විනාශ කර දමා තිබේ. එය ගිනිගෙන දැවෙනු දුටු බව ඇසින් දුටුවෝ පවසති. ලිබියාවේ ගුවන් හමුදාව සම්පූර්ණයෙන්ම පාහේ අඩපණ කර ඇති බව නියෝජ්‍ය බ්‍රිතාන්‍ය ගුවන් මාෂල් ග්‍රෙග් බැග්වෙල් පවසයි. ලිබියානු ගුවන් හමුදාවට මින් ඉදිරියට යුද ගුවන් හමුදාවක් ලෙස ක්‍රියාත්මක විය නොහැකි බව ඔහු කියයි.

වසර හතළිහක පමණ කාලයක් බලයේ රැඳී සිටි කර්නල් මුවම්මර් ගඩාෆිට අනිවාර්යෙන්ම සිය ධුරය අත්හැර දැමීමට සිදුවනු ඇති බව අමෙරිකන් බලධාරින් විශ්වාස කරන බවටද ආරංචි පැතිර යයි. බෙන්ගාසි නගරය වටලා සිටි ගඩාෆි හමුදා දැනටමත් පසුබැස ඇති අතර මිස්රටා වැසියන්ද ගඩාෆිගේ ප්‍රහාරවලින් ආරක්ෂා කර ගැනීමට ඉදිරියට කටයුතු කරන බව ඒකාබද්ධ හමුදා බලධාරිහු පවසති. රට වැසියන් සංහාරයට ලක් කළ ගඩාෆි තවදුරටත් ලිබියාවේ ජනාධිපති වශයෙන් රැඳී සිටීමට අයිතියක් නැති බැවින්, ඔහු සිය ධුරයෙන් ඉවත් විය යුතු බව ජනාධිපති ඔබාමා යළිත් වරක් අවධාරණය කර තිබේ. කෙසේ වෙතත් රූපවාහිනියෙන් සිය ආධාරකරුවන් ඇමතූ ගඩාෆි තමා ධුරය අත්නොහරින බව උද්වේගකර ප්‍රකාශයක් සහිතව කර තිබේ.

ජාත්‍යන්තර මානවවාදී සහ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන සෑම කෙනෙක්ම ඒවාට වගකිව යුතු බව ජගත් මහලේකම් බෑන් කී මූන් පවසා තිබේ. සටන් විරාමයකට එළඹෙන ලෙසද ඔහු නැවතත් බලකර තිබේ. මධ්‍යධරණීය මුහුද ඔස්සේ ගඩාෆිට අවි සැපයීමට ඇති ඉඩකඩ ඇහිරීමට හය ජාතීන්ගේ කණ්ඩායම එකඟ වී ඇත. මේ අනුව එම රටවලට අයත් නෞකා 16 ක් මුර සේවයේ යොදවා තිබේ.  ඒකාබද්ධ හමුදා ගඩාෆිගේ ගුවන් ආරක්ෂණ පද්ධතිය සහ යුද කඳවුරු සහ අවි ගබඩා ඉලක්ක කර ටමහොක් මිසයිල 162 ක් එල්ලකර ඇති බවද වාර්තා වේ. මේ අතර ඒකාබද්ධ හමුදාවලට අණදීමේ කටයුතු කිරීමේ වගකීම කවර පාර්ශ්වයකට බාරදිය යුතුද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තීරණයකට එළඹීමට අපොහොසත් වී ඇත. සාමාජික රටවල් 28 කින් සමන්විත ජගත් ආරක්ෂක මණ්ඩලය ලිබියානු අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීමට යළි හමුවීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා