මේක අධිරාජ්‍යවාදයේ බළල් අතක් අපි එකතු වෙමු

මේක අධිරාජ්‍යවාදයේ බළල් අතක් අපි එකතු වෙමු

මොහාන් සමරනායක
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ස්වදේශීය සේවය ඔස්සේ ඊයේ (19) ප්‍රචාරය වූ සුභාරති වැඩසටහන සඳහා මොහාන් සමරනායක මහතා පළ කළ අදහස් ඇසුරින් මෙම සංවාදය සැකැසුණි. මෙම වැඩසටහන මෙහෙයවන ලද්දේ මාධ්‍යවේදී ඉන්දික ජයරත්න මහතා විසිනි.

* එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන්කි මූන් මහතා ශ්‍රී ලංකාව පිළිබඳ පත්කළ උපදේශන කමිටුවේ වාර්තාව නිකුත්ව තිබෙනවා. දේශපාලන හා ජාත්‍යන්තරය පිළිබඳ ජ්‍යෙෂ්ඨ විචාරකයකු ලෙස මේ පිළිබඳ ඔබගේ මතය ඉදිරිපත් කළ හැකිද?

මෙය තනිව සිදු වූ හුදෙකලා දෙයක් නොවෙයි. මෙය පසුපස ප්‍රබල බලවේග රාශියක් සිටිනවා වගේම මෙය සිදුවීම් මාලාවක එක් සිදුවීමක් විදිහටයි මා දකින්නේ. මෙයට පෙර එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාවේ හිටපු ඇමරිකානු තානාපතිවරයකු වන රොබට් ඕ බ්’ලෙක් මහතාත් මෙම තත්ත්වයට විටෙන් විට මැදහත් වුණා. මේ සියල්ල පෙළගැසී තිබෙන්නේ එකම සිදුවීමක කොටස් විදිහටයි. මෙම වාර්තාව ඉදිරිපත් වීම තීරණාත්මක සංධිස්ථානයක් විදිහට සඳහන් කළ හැකියි වගේම මෙතැන බරපතල අනතුරු හැඟවීමක්ද තිබෙනවා. 1505 දී මෙරටට ප්‍රථම වරට අධිරාජ්‍යවාදය පැමිණියා. 1815 දී ඔවුන්ගේ එම අධිරාජ්‍යවාදය තවදුරටත් ස්ථාවර වුණා. ඇත්තෙන්ම මා සිතන විදිහට වගේම බහුතරයක් දෙනා සිතන ආකාරයට රටකට වෙන්න පුළුවන් ලොකුම අභාග්‍ය තමයි ස්වාධීනත්වය අහිමි වීම.

අද අප රට ඉදිරියට පැමිණ ඇත්තේ එම අනතුර. මූන්ගේ කමිටුවේ අවසන් පරමාර්ථය විදිහට මා දකින්නේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය මෙහෙය වූ ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා හමුදා නිලධාරින් ඇතුළු පිරිස ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් වෙත පැමිණවීමයි. අපට මෙවැනි දේවල් මෑත අතීතය තුළ ජගත් දේශපාලනය විමර්ශනය කරද්දී දැක ගැනීමට පුළුවන්. යූගෝස්ලෝවියාවට වුණෙත් මේ දේම තමයි. යූගෝස්ලෝවියාව බිඳ වැටුණේ නැහැ. බිඳ වැට්ටෙව්වා සර්බියාවේ කොසෝවෝ කියන ප්‍රාන්තය වෙනම රාජ්‍යයක් බවට පත් කළා මේ සියල්ල පසුපස සිටින්නේ අධිරාජ්‍යවාදී බලවේගයි.

* යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥාප්තියට ශ්‍රී ලංකාව අස්සන් නොකළ නිසා මෙරට ජනාධිපතිවරයා හෝ සෙසු නිලධාරියකු ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත ගෙනයාමට හැකියාවක් නැතැයි ඇතැමුන් පවසනවා. මෙහි යථා ස්වරූපය පැහැදිලි කළ හැකිද?

අප තාමත් අඥාණය කියන අඳුර තුළයි ජීවත් වෙන්නේ. ඒ නිසා තමයි මෙවැනි දුර්මත සමාජය තුළ පැතිරවීම පහසු වී තිබෙන්නේ. අන්තර් ජාතික අධිකරණ ව්‍යවස්ථාව තුළ රටක නායකයකු අන්තර්ජාතික අධිකරණයකට පැමිණවිය හැකි ක්‍රම කිහිපයක්ම තිබෙනවා. එනම් යුද අපරාධ පිළිබඳව රෝම ව්‍යවස්ථාව පිළිගත් රටක් නම් එම රට ජාත්‍යන්තර අධිකරණය වෙත යා යුතුයි කියන බැඳීමට එක්වයි සිටින්නේ. ඒත් ශ්‍රී ලංකාවට අදාළ නැහැ. මොකද අප මේ දේවල් පිළිනොගැනීම නිසා. මේ රෝම ව්‍යවස්ථාව අප රට පමණක් නොවෙයි බොහෝ රටවල් පිළිඅරගෙන නැහැ. ඒත් එය එහෙමයි කියලා සතුටු වීමට බැහැ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථීර සාමාජිකයන් පස් දෙනා අතරින් බහුතරයක් අනුමත කළොත් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට රටක් යොමු කරන්න පුළුවන්. මෙතැනදි සමහරු සිතන්න පුළුවන් බටහිර රටවල් මොනවා වුණත් අපට චීනයත්, රුසියාවත් ඉන්නවානේ කියලා.

ඒත් තීරණාත්මක මොහොතකදී ඔවුන් ගැන වුවත් විශ්වාසයක් තබන්න බැහැ. ලිබියා අර්බුදයේදී චීනය හෝ රුසියාව බටහිර රටවල ක්‍රියාමාර්ගයට විරුද්ධ වුණේ නැහැ. ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියා. එය නිහඬව බටහිර රටවල ක්‍රියාමාර්ග අනුමත කිරීමක් ලෙස වුවත් හඳුන්වන්න පුළුවන්. සූඩානයේ ජනපතිට අද ලෝකයට යන්න බැහැ. ඔහු ජාත්‍යන්තර අපරාධ වරෙන්තු පිට ඉන්නේ. ඔහු ගියොත් යන්නේ ඔහුට ඉතාමත් හිතවත් අරාබි රටවල් කිහිපයකට පමණයි. සූඩානයත් රෝම ව්‍යවස්ථාව පිළිගත් රටක් නොවෙයි. ඒත් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ඔවුන්ව ජාත්‍යන්තර අපරාධ නීතියට හසුකර ගත්තා. සමහර විට විපක්ෂයට හිතවත් කෙනෙකුට සියුම් සතුටක් එන්න පුළුවන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයානේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයට යන්නෙ කියලා. ඒත් මෙතැනදි අප බැලිය යුත්තේ දේශපාලන කෝණයකින් නොවෙයි. මහින්ද රාජපක්ෂ කියන්නේ මුළු ශ්‍රී ලාංකිකයන්ගේම නායකයා. ඒ නිසා අප මේ මොහොතේදී එක් ශ්‍රී ලාංකීය ජාතියක් විදිහට සිතා කටයුතු කළ යුතුයි.

* ශ්‍රී ලංකාව වැනි රටක් අරබයා මෙවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයි? එය දේශපාලන කුහකකමද ඉරිසියාවද?

ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමට පෙර තවත් දෙයක් පිළිබඳව සඳහන් කළ යුතුයි. අද සෝමාලියාව කියූ විට සිහිපත් වන්නේ මුහුදු කොල්ලකරුවන්. ඔවුන් එම තත්ත්වයට පත් කිරීම පිළිබඳව වගකිව යුත්තේ බටහිර ජාතීන්. ඔවුන්ගේ සියලු න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගෙනත් දැමුවේ සෝමාලියාව අවට මුහුදු තීරයට. ඒ නිසා සෝමාලියානුවන්ගේ සම්ප්‍රදායික ජීවන වෘත්තිය වූ ධීවර කර්මාන්තය අහිමි වුණා. ඒ නිසා තමයි ඔවුන් අද මුහුදු කොල්ලකරුවන් බවට පත් වුණේ. මේ හැම දෙයටම වගකිව යුත්තේ අධිරාජ්‍යවාදය. බැන්කි මූන්ගේ කමිටුවේ බරපතල කම අප තේරුම් ගත යුතුයි. බලය තියෙන සමහරුන්ට හිතෙන්න පුළුවන් අපට බලය තියෙන නිසා අපට මොකවත් කරන්න බැහැ කියලා. එහෙම නොවෙයි අධිරාජ්‍යවාදින් ඔවුන්ගේ අරමුණු වෙත කෙසේ හෝ යාමට උත්සහ කරනවා. එයට හොඳම උදාහරණය තමයි සර්බියා හිටපු ජනාධිපතිවරයා. අද ඔහු ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියෙහි සිටින්නේ.

1505 දී මෙරටට අධිරාජ්‍යවාදය ගොඩබැස්සේ මෙරට සම්පත් කොල්ල කා ගැනීමටත් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් යන දේවල් මුල් කරගෙනයි. ඔවුන් ඒ සඳහා ප්‍රබල විදිහට යොදා ගත්තේ අවි ආයුද බලයයි. එහෙත් 1948 පසු තත්ත්වය වෙනස් වුණා. අද අධිරාජ්‍යවාදයේ අරමුණු හා ක්‍රමවේද වෙනස්. සුදු ආණ්ඩුකාරවරු නැහැ. එහෙත් ඔවුන්ගේ අධිරාජ්‍යවාදි අරමුණු වෙනත් විදිහකට ක්‍රියාත්මක වෙනවා. ඔවුන්ට අවශ්‍ය අය සමාජය තුළ ඉහළට ගන්නවා. බුද්ධිමත් ප්‍රජාවට අවශ්‍ය ආචාර්ය උපාධි ශිෂ්‍යත්ව ලබා දෙනවා. රාජ්‍ය නොවන සංවිධාන හරහා ඔවුන්ගේ අරමුණ වෙත යනවා. සිනමාවට, සංස්කෘතියට පවා අධිරාජ්‍යවාදීබව රිංගීමට පුළුවන්කම තිබෙනවා. ඔවුන්ගේ ආහාර පුරුදු ඔවුන්ගේ මාධ්‍ය සම්ප්‍රදාය අපට පුරුදු කරනවා. මෙම නව අධිරාජ්‍යවාදයේ නායකත්වය දරන්නේ එක්සත් ජනපදයයි.

අප රට තුළත් ඉහත කී දේවල් තිබුණත් වත්මන් ආණ්ඩුවට පුළුවන් වුණා අධිෂ්ඨානශීලි ලෙස සටන් කොට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමට. මෙතැනින් තමයි ශ්‍රී ලංකාව කෙරෙහි වූ බද්ධ වෛරයක් අධිරාජ්‍යවාදීන් තුළ ඇතිවන්නේ. එල්.ටී.ටී.ඊ. සංවිධානය තමයි මෙරටදී බටහිර අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කළේ. බටහිරට වුවමනාව තිබුණේ මෙරටත් බෙදුණු රාජ්‍යයක් විදිහට පවත්වාගෙන යාමටයි. සමහරු හිතාගෙන ඉන්නවා බටහිර ජාතීන් දෙමළ ජාතියට ආදරෙයි කියලා. එය සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්. එහෙනම් ඔවුන් ඉරාකයේ ජනතාවට ආදරය කළ යුතුයි. පසු ගිය දශකය තුළදී ඉරාකය තුළ ලක්ෂ ගණනක් ජනතාව යුද්ධය නිසා මිය ගියා. ඇෆ්ගනිස්ථානය තුළ වුවත් ඇත්තේ මෙවැනිම තත්ත්වයකුයි. ඇත්තෙන්ම බටහිර රටවල් ආදරය කරන්නේ දෙමළ ජනතාවට නොවෙයි ශ්‍රී ලංකාව බෙදා වෙන්කිරීමේ වැඩපිළිවෙළටයි. ඔවුන් චීනය සමඟ ඉන්දියාව සමඟ මිත්‍රත්වයක් හදාගෙන ඉතින් මූනිච්ඡාවට අවස්ථාව ලද විගස පහරදීම තමයි ඔවුන්ගේ සම්ප්‍රදාය බවට පත් වෙලා ඇත්තේ. එහෙත් අප වැනි රටකට සෘජුවම ගැටුමකට යන්න බැහැ.

බොහෝ අය කියනවා ලිබියාවේ අර්බුදයට මුල තෙල් කියලා මාධ්‍ය පිළිගත්තේ නැහැ 2003 දී ගඩාෆි සමඟ මිත්‍රවී බටහිර රටවල් ඔවුන්ගේ බලපත්‍ර බහු ජාතික තෙල් සමාගම් ආවා. ඔවුන්ගේ ව්‍යාපාර රිසි ලෙස කරගෙන ගියා. එහෙත් බටහිර දැනගෙන සිටියා ගඩාෆි කියන්නේ මෙල්ල කරන්න බැරි මිනිහෙක් කියලා. ඒ නිසා තමයි අවස්ථාව බලා ප්‍රහාරය එල්ල කළේ. ශ්‍රී ලංකාව ගැන කතා කරන අය 1990 පසු ලෝකය තුළ වූ මානව සංහාර ගැන කතා කරන්නේ නැහැ. පළමු ගල්ෆ් යුද්ධය, සර්බියාව, වගේ තැන් ගැන කතා කරන්නේ නැහැ. මේ අර්බුදවලදී මානසික රෝහල්වලට තානාපති කාර්යාලවලට පවා ප්‍රහාර එල්ල වුණා. මේ දේවල් මෙහෙය වූ රටවල් තමයි මෙරට මානව හිමිකම් ගැන කතා කරන්නේ. බෑන් කී මුන් මහතාට උපදෙස් ලබාදීමට පත් කළ කමිටුව අද වෙද්දි පරීක්ෂණ කමිටුවක් බවට පත් වෙලා මෙමඟින් ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යට බරපතළ තර්ජනයක් එල්ල වෙනවා.

* මෙරට ප්‍රජාව විදිහට අප මේ ප්‍රශ්නය දෙස බැලිය යුත්තේ කොහොමද ?

රුද්‍රකුමාරන් කියලා තිබෙනවා මෙය රට තුළ බෙදීමක් ඇති කිරීමට ඇති හොඳම අවස්ථාව කියලා. මෙම කමිටුවේ අනතුර මේ ප්‍රකාශය තුළම ගැබ්ව තිබෙනවා. අපට ප්‍රශ්න තිබෙන්න පුළුවන්. ඒ සියල්ල අප රට තුළම විසඳා ගත යුතුයි. සුළු ජාතීන් අතර ඇති දුක් ගැනවිලි ප්‍රශ්න ඇත්නම් ඒවාද අප රට අභ්‍යන්තරයේදීම විසඳාගත යුතුයි. එමෙන්ම අප මේ මොහොතේදී එකට පෙළ ගැසිය යුතුයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා