සමෘද්ධි පිරිසට පහර දුන් එජාප ප්‍රා. සභා මන්ත්‍රී ඇතුළු පිරිස සැඟවිලා

සමෘද්ධි පිරිසට පහර දුන් එජාප ප්‍රා. සභා මන්ත්‍රී ඇතුළු පිරිස සැඟවිලා

ඇල්පිටිය රෑකඩහේන ධම්මදස්සී විද්‍යාලයේ පැවැති අවුරුදු උත්සවයට සන්නද්ධ කණ්ඩායමක් සමඟ පැමිණ සිවුදෙනකුට බරපතළ තුවාල සිදුකොට තවත් විශාල පිරිසකට පහරදීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන චරිතය වූ නියාගම ප්‍රාදේශීය සභාවේ එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් ප්‍රදේශයෙන් පලාගොස් සැඟ වී ඇතැයි නාගොඩ පොලිසිය පවසයි. මෙම සිද්ධියදී සිඟිති අවුරුදු කුමාරියන් ඇතුළු ගැබිනි මවුවරුන්ටද තුවාල සිදුකොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මේවන විටත් පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන බද්දේගම වැඩබලන මහේස්ත්‍රාත් ජෝතිරත්න කදිරහෙට්ටි මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.

පසුගිය පහළොස් වැනි දින පැවැති මෙම අවුරුදු උත්සවයට ඉහත කී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාද තරඟවලට සහභාගී වී ඇති අතර එදින සවස යුද හමුදාවේ යයි සැකකරන පිරිසක්ද සමඟ මොහු පැමිණ උත්සවයට සහභාගී වී සිටි පිරිසට ඉවක් බවක් නැතුව පහරදී ඇතැයි මෙතෙක් කරනු ලැබූ පරීක්ෂණ වලින් හෙළි වී ඇතැයි පොලිසිය පවසයි. මෙම සිද්ධියෙන් තුවාල ලැබූ එක් අයකු ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් තවමත් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු හා අනික් පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදා අතැයි නාගොඩ පොලිසිය පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා