බණ්ඩාරගම - රඹුක්කන රජමහ වෙහෙර ගැන පුරාවිද්‍යා ඇස තවම යොමු වී නෑ

බණ්ඩාරගම - රඹුක්කන රජමහ වෙහෙර ගැන පුරාවිද්‍යා ඇස තවම යොමු වී නෑ

සිංහල රාජ සමයේ කළුතර දිස්ත්‍රික්කයේ ඉදිකර ඇති වෙහෙර විහාර අතරින් පැරණිම විහාරය වූ බණ්ඩාරගම රඹුක්කන රජමහ විහාරයට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි.කලකට පෙර මේ විහාර භූමියේ තිබී සොයාගන්නා ලද ක්‍රිස්තු වර්ෂ පළමුවැනි දෙවැනි සියවස්වලට අයත් සෙල්ලිපියද දැනට විහාරස්ථානයක ඇති පැරණිම සෙල්ලිපියක බවද කියති. පෘතුගීසි ලන්දේසි පාලන සමයේදී සම්පූර්ණයෙන්ම කඩා බිඳ විනාශ කරන ලද පැරැණි විහාරයෙහි දැනට ඉතිරිව ඇත්තේ විහාර භූමියෙන් සොයාගන්නා ලද නටබුන් පමණකි. ඉකුත් සතියේ රඹුක්කන රජමහ වෙහෙර බිමට ගිය අපට විහාරාධිපති පණ්ඩිත මාතර රතනවංශ හිමියන් පැවසුවේ මෙවැනි කතාවකි.

මේ රජමහ වෙහෙර ඉදිකර ඇත්තේ වලගම්බා රාජ සමයේදී බව විහාර ඉතිහාසයේ සඳහන් වෙනවා. වලගම්බා රජතුමා රට පාලනය කරද්දී ඇතිවූ බැමිනිටියා සාය පැවති සමයේ සංයුක්ත භානක තිස්ස මහ රහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේ කිහිප නමක් මේ ස්ථානයට පැමිණ නතර වී පසුවයි විහාරස්ථානයේ මූලාරම්භය ඇතිවී තිබෙන්නේ. සංයුක්ත භානක තිස්ස මහ රහත් හිමියන් බුද්ධ පරිනිර්වානයෙන් තෙමසකට පසුව පැවැත්වූ ප්‍රථම ධර්ම සංගායනාවට මූලිකත්වය ගෙන කටයුතු කළ මහා කාශ්‍යප මහ රහත් හිමියන්ගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට අයත් බවද විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

රාජ අනුග්‍රහය ලබා ඉදිකර තිබූ මේ විහාරස්ථානය පෘතුගීසීන් හා ලන්දේසීන් විසින් විනාශ කළ පසු වල්බිහිවී තිබුණු විහාර භූමියේ නව විහාරස්ථානය ඉදිකර ඇත්තේ 1847 වසරේ දීයි. ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ශාඛාවක් වූ දැනට විහාර භූමියේ ඇති බෝධීන් වහන්සේ වසර දෙදහසක් පමණ පැරණියි. පෞරාණික වටිනාකමක් ඇති රඹුක්කන රජමහ විහාරය ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දක්වන සැලකිල්ල ප්‍රමාණවත් නැහැ. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මේ විහාරස්ථානය ගැන විශේෂ අවධානය යොමු කළ යුතුයි. විහාර භූමිය පරීක්ෂාකර බලා කැනීම් කර, ගවේෂණයක් කිරීමට කටයුතු කරන්නේ නම් විහාරස්ථානය පිළිබඳව ඓතිහාසික වැදගත් තොරතුරු රැසක්ම එළිදරව් කරගත හැකියි.
 

පෘතුගීසීන් හා ලන්දේසීන් කඩාබිඳ දැමූ ඉපැරණි විහාර මන්දිරයේ තිබූ කළුගලින් නිමකළ මල් ආසනය පෙන්වමින් විහාරාධිපති මාතර රතනවංශ හිමියන් කරුණු දැක්වූ අයුරු.

සියවස් ගණනක් පැරණි ධර්මශාලාව

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා