ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රීඩකයන් ගෙන්වීමට තීරණය කිරීම සියයට සියයක්ම නිවැරදියි


මුදලට වඩා මවුබිම පෙරට තබා ක්‍රීඩා කිරීම උතුම්

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රීඩකයන් ගෙන්වීමට තීරණය කිරීම සියයට සියයක්ම නිවැරදියි

- ක්‍රීඩා ඇමැති

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් මවුබිමට ගෙන්වා ගැනීමට ගත් තීරණය මෙරට ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ගත් නිවැරදිම තීරණයක් බව ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසයි. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් කෝටි ගණන් මුදල් ලැබුණද මවුබිම වෙනුවෙන් ක්‍රීඩා කිරීම හා ජයග්‍රහණයට දායකවීම ශ්‍රී ලංකා ක්‍රීඩාකයන් උතුම් කොට සලකනු ඇතැයි තම විශ්වාසය බව ක්‍රීඩා ඇමැතිවරයා සඳහන් කළේය. ඉන්දියාවේ දැන් පැවැත්වෙන අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් සමග ගිවිසුම්ගත ක්‍රීඩකයන් මැයි 5 වැනිදා පැමිණිය යුතු බව ක්‍රීඩා ඇමති මහින්දානන්ද අළුත්ගමගේ මහතා දැනුම්දීමක් කර තිබුණි.

ක්‍රීඩා ඇමැතිවරයා මේ තීරණයට එළැඹියේ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව හා අලුතෙන් පත්කරන ලද ක්‍රිකට් තේරීම් කමිටුවේ ඉල්ලීමක් මතය. එම ඉල්ලීම සාධාරණ එකක් බව පිළිගත් හෙයින් ශ්‍රී ලංකාවට අයි.පී.එල්.ක්‍රීඩකයන් ගෙන්වා ගැනීම සුදුසුබව තීරණය කළේ යැයි ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ මහතා ‘දිනමිණ’ට පැවැසීය. “අයි.පී.එල්. තරගාවලියට ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වසරකට පෙර සිටම එංගලන්ත සංචාරය පිළිබඳ දන්නවා. ඔවුන්ගේ කාලසටහන එංගලන්ත සංචාරයට හානියක් නොවන ලෙස සාදාගත යුතුයි. ශ්‍රී ලංකා ක්‍රිකට් සමග අයි.පී.එල්. යන ක්‍රීඩකයන් අවබෝධතා ගිවිසුමක් අස්සන් කර ඇත්තේ රට වෙනුවෙන් ඕනෑම මොහොතක ක්‍රීඩා කිරීමට එකඟවයි” ඇමැතිවරයා පැවැසීය.

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මැයි මසස 26 වැනිදා ආරම්භ වීමට නියමිතය. එහෙත් ශ්‍රී ලංකා පිල හා මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත පිල සමග මැයි 14 වැනිදා සිට තුන්දින තරගයකටත්, එංගලන්ත ලයන්ස් පිල සමග මැයි 19 දා සිට සිවුදින තරගයකටත් සහභාගිවීමට නියමිතය.  එහෙයින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මැයි 10 දා එංගලන්තය බලා පිටත්වීමට කටයුතු සැලසුම් කර තිබේ. “එංගලන්ත දේශගුණයට හුරුවීමට දින කිහිපයක් ගතවෙනවා. ගෙවීගිය කාලයේ අපේ ක්‍රීඩකයන් සුදු පන්දුවෙන් ක්‍රීඩා කර තිබීම නිසා ටෙස්ට් තරගයේ යොදාගන්නා රතු පැහැති පන්දුවට හුරුවීමට පුහුණු තරග වැදගත්.  මේ සියලු කරුණු ක්‍රිකට් තේරුම් කමිටුව පෙන්වා දුන්නා.

ඒ ඉල්ලීම් සියල්ල නිවැරදියි.” අළුත්ගමගේ මහතා පැවැසීය. ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ටී.එම්.ඩිල්ෂාන්ගේ පත්වීමෙන් අනතුරුව ඔහු සමග එංගලන්ත සංචාරයට අදාල සැලසුම් සකස් කිරීමට කණ්ඩායම මෙරටදී පුහුණු සැසි කිහිපයක් පැවැත්විය යුතුව ඇතැයි ද මතයකි. මේ අතර මැයි 5 දා ක්‍රීඩකයන් එවීම පිළිබඳ ඉන්දීයක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිපියක් එඑවා ඇත. එම ලිපිය මඟින් දැනුම් දී ඇත්තේ මැයි 22 දා වනවිට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නිදහස් කළ හැකි බවය. මේ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් හා ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ මහතා අතර ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා