ලිබියානු මෙහෙයුම ඉදිරියට ගෙනයාම නේටෝවට ගැටලුවක්

ලිබියානු මෙහෙයුම ඉදිරියට ගෙනයාම නේටෝවට ගැටලුවක්

ලිබියාවේ කර්නල් ගඩාෆිගේ මිනිස් සංහාරයට එරෙහිව ඒකාබද්ධ මෙහෙයුම ක්‍රියාත්මක කර දැන් මසක් ගතවී තිබේ. ලිබියානු මෙහෙයුම තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම පිළිබඳ ගැටලුවට නේටෝව දැන් මුහුණ දී සිටී. ගඩාෆි සිය ධුරය අත්හැර යනතුරු සටන දිගටම මෙහෙයවන බවට ප්‍රංශ, බ්‍රිතාන්‍ය සහ අමෙරිකන් නායකයන් ගිය සතියේ බ්‍රසල්හි පැවති සමුළුවක දී ප්‍රතිඥා දී තිබේ’ ගඩාෆිගේ ජංගම ආරක්ෂක ස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම එකාබද්ධ හමුදාවට ගැටලුවක් වී තිබේ. ගඩාෆි ආරක්ෂක හමුදා වසන් වී සිටි ජනතාවට ප්‍රහාර එල්ල කරමින් සිටින බවට චෝදනා එල්ල වේ.

ගඩාෆි ආරක්ෂක හමුදාවට අයත් බර ආයුධ යුද ටැංකිවලින් තුනෙන් එකක් පමණ ඒකාබද්ධ හමුදාව විනාශ කර තිබේ. එමෙන්ම ගුවන් ප්‍රහාර එල්ල කිරීමද වළකා තිබේ. සාමාන්‍ය ජනතාවට එල්ල කරන ප්‍රහාර වැළැක්වීමට තවත් යුද ගුවන් යානා 8ක් අවශ්‍ය බව නේටෝ බලධාරීහු පවසති. මිස්රටා නගරයේ පාලනය තහවුරු කර ගැනීමට කැරලිකරුවන්ට අවශ්‍ය සහාය ජාත්‍යන්තරය ලබාදෙන්නේ නම්, ගඩාෆිගේ දුර්දාන්ත පාලනය නිසැකවම අහෝසිවනු ඇති බවට මත පළවේ.

මේ අතර ලිබියානු කැරලි නායක මුස්ටෆා අබ්දෙල් ජලීල් ඊයේ (අඟහරුවාදා) එරටට පැමිණ සිටින ඉතාලි අගමැති සිල්විඕ බෙලෙස්කෝනි හමුවීමට නියමිත විය. කැරලිකරුවන්ගේ පාලනය නිල වශයෙන් පිළිගෙන ඇති ප්‍රංශය, ඉතාලිය සහ ක්වටා යන රටවල ද ජලීල් සංචාරය කිරීමට නියමිතය. මේ අතර, ලිබියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සඳුදා මොරොක්කෝවේ සංචාරයක යෙදී ඇත. මෙය ගැටුම් ආරම්භයෙන් අනතුරුව ගඩාෆි රජය සමඟ පැවති විරල රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් ලෙස සැලකේ. මෙම හමුවේ දී ලිබියාවේ වෙසෙන 100,000 පමණ වූ මොරොක්කෝ ජාතිකයන්ගේ අනාගතය පිළිබඳ එරට රජය විශේෂ සැලකිල්ල යොමුකර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා