අපි නොදන්න මානව හිමිකම්

අපි නොදන්න මානව හිමිකම්

බොහෝ තන් හි අභිමානවත් උත්සව පැවැත් වේ. සංගීත සංදර්ශන ආරම්භ වේ. මුළු මහත් සමාජය නිදහසේ කල් යවන්නටත්; නිස්කලංක ලෙස සිතන්නටත් පටන්ගෙන තිබේ. එහෙත් මේ අවකාශය කොහෙන් - කොතැනින් – කාගෙන් ලැබුණේ දැ’ යි වැඩි දෙනකුට අමතක ය. ඊයේ ගාලු මුවදොර පිටියේ දී යළි ස්මරණය කළේ එම නිදහසේ අවකාශය පැමිණි තැන ය. ශ්‍රී ලංකාව ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මිදී දෙවසරෙකි. මේ දෙවසරට අපේ ඉදිරි ගමන බොහෝ සෙයින් ම සැලැසුම් වී තිබේ. ඉතිහාසයට එබී බැලුවහොත් ශ්‍රී ලංකාව යනු පරසතුරු ආක්‍රමණ ගණනාවකට මුහුණ දුන් රාජ්‍යයෙකි. ඒ කිසිදු සටනකින් අප පරාජයට පත් වී නැත. සොලී ආක්‍රමණ, අරාබි ආක්‍රමණ, පෘතුගීසි, ලන්දේසි, ඉංගී‍්‍රසි යන බටහිර ආක්‍රමණ පවා පරාජය කොට නිදහස හා ස්වෛරීත්වය දිනා ගන්නට අපි සමත් ව සිටිමු. අවසන් ලෙස අප අතින් පරාජයට පත් වූයේ ත්‍රස්තවාදය හා බෙදුම්වාදය යි. එම ජයග්‍රහණය යළි - යළිත් ස්මරණය කිරීම ජාතියක යුතුකම යි. ත්‍රස්තවාදයට එරෙහි මානුෂික මෙහෙයුමෙහි ජයග්‍රහණයත් සමඟ පරාජයට පත් වූ බලවේග ගණනාවක් තිබේ.

පළමුවන්න බෙදුම්වාදී ත්‍රස්තවාදය යි. හෙවත් මිනීමරු වේළුපිල්ලේ ප්‍රභාකරන් ගේ මරාගෙන – මැරෙන හමුදාව යි. දෙවන්න ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට එරෙහි බටහිර බලවේග යි. තෙවන්න බටහිරට කත් අදින ශ්‍රී ලංකාවේ දේශීය බලවේග යි. හතර වන්න විජාතික බහු ජාතික සමාගම් වල ඩොලර් මත යැපෙන එන්.ජී.ඕ කාරයන් හා ඊනියා මානව හිමිකම් සංවිධාන යි. මේ සියල්ල රටේ ස්වාධීනත්වයට එරෙහි ව ක්‍රියා කරන දුෂ්ඨ බලවේග බව තේරුම් ගැනීමට අලුත් අධ්‍යයන අවශ්‍ය නො වේ. එල්.ටී.ටී.ඊ සංවිධානයේ අන්තර්ජාතික නායකයකු ලෙස කටයුතු කළ දැනට අත්අඩංගුවේ පසුවන කේ. පී. හෙවත් කුමරන් පද්මනාදන් මීට දින කිහිපයකට පෙර කියා සිටියේ කුමක් ද? මානුෂික මෙහෙයුම්වල අවසන් අවස්ථාවෙහි ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයන් බේරා ගැනීම සඳහා නැවක් පැමිණීමට නියමිතව තිබුණු බව ය. ප්‍රභාකරන් නම් ත්‍රස්ත නායකයා බේරා ගැනීමේ මෙහෙයුමට එක්සත් ජාතීන් ගේ සංවිධානය පවා හවුල් බව ඔහුගේ ප්‍රකාශ වලින් පැහැදිලි වේ. එක්සත් ජාතීන් ගේ සංවිධානය අපට මානව හිමිකම් ගැන ඉගැන්වීමට එන්නේ ලෝකයේ දරුණු ම ත්‍රස්තවාදයට උපකාර කරන අතර ය.

දරුස්මාන් ගේ වාර්තාව ගැන ද, මානව හිමිකම් සංවිධානවල චෝදනා ගැන ද, ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උපදේශන ගැන ද මේ අනුව අපට සිතා ගත හැකි ය. ආණ්ඩුව බටහිර කුමන්ත්‍රණ ගැන කියන විට විපක්ෂය ඊට සිනා සෙයි. එහෙත් ලෝක දේශපාලනය හරි හැටි විග්‍රහ කරගත හැකි නම්; විජාතික කුමන්ත්‍රණවල ස්වාභාවය මැනැවින් වටහා ගත හැකි ය. විපක්ෂය ඇතැම් විට යථාර්ථය දැන – දැනම ආණ්ඩුව අපහසුවට පත් කිරීම සඳහා විජාතික බලවේගවලට සහාය දක්වන බවක් පෙනෙන්නට තිබේ. රණවිරු අනුස්මරණ මොහොතේ එය මතක් කර දීම වටී. ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවලට මානව හිමිකම් ගැන අමුතුවෙන් පාඩම් කියා දිය යුතු නැත. මේ හමුදාවල වැඩි දෙනා පන්සිල් රකින තරුණයෝ ය. ඔවුන් තම ගිනි අවිය නිකරුණේ පත්තු කරන්නේ නැත. වෛරයෙන් බෝම්බ දමා ගසන්නේ නැත. ප්‍රභාකරන් ගේ මව හා පියා හමුදා රැකවරණය යටතේ ජීවත් වූයේ කෙසේ ද? කොටි නායකයන් ගේ දූ – දරුවෝ අදත් පුනරුත්ථාපන කඳවුරුවල සතුටෙන් ජීවත් වෙති. ඊළඟ පියවර ඔවුන් සමාජ ගත කිරීම ය. ත්‍රස්තවාදීන් දහස් ගණනක් මේ අයුරින් පුනරුත්ථාපනය කොට සමාජ ගත කොට තිබේ.

මානුෂික මෙහෙයුම් හා එහි ජයග්‍රහණ පිළිබඳ කතාව මේ අයුරින් ගලා යත් දී; එහි අතුරු කතා රැසක් ද අපට අමතක වෙන්නට පටන්ගෙන තිබේ. මානුෂික මෙහෙයුම්වල හිමිකරුවෝ කවරහු ද? රණවිරුවෝ ය. රණවිරුවෝ කොහෙන් පැමිණ සිටියාහු ද? ශ්‍රී ලංකාවේ දිළිඳු ම හා පිටිසර ම ගම්මානවල දුප්පත් පවුල් වලින් ඔවුහු පැමිණිය හ. යුද්ධය වෙනුවෙන් දිවිදුන් රණවිරුවකුගේ මෘත දේහය තැන්පත් කිරීමට සුදුසු වහලක් ඇතමකුට නො තිබිණි. සමහර මළ සිරුරු ගෙන ගියේ ඥාතියකුගේ නිවසකට ය. ඇතැම් මෘත දේහ තැන්පත් කිරීම සඳහා තාවකාලික මඩු ඉදි කරන්නට හමුදාවට ම සිදු විය. මේ ජයග්‍රහණය පසුපස ඇති සත්‍ය කතාව එය යි. අද; රණවිරුවන් වෙනුවෙන් බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක වේ. ස්මාරක ඉදිවේ. එය නරක නැත. එහෙත් අතීතය ද සිහියට ගැනීම ඉතා වැදගත් ය. අද අප භුක්ති විඳින නිදහස වෙනුවෙන් රණවිරුවෝ දහස් ගණනක් සිය ජීවිත පූජා කළහ.

අද මුළු රට ම භුක්ති විඳින නිදහස වෙනුවෙන් රණවිරුවෝ දහස් ගණනක් ආබාධිතයෝ බව ට පත් වූහ. ඉතිහාසය සමරන සෑම මොහොතක ම රණවිරුවන් ද සිහිපත් කළ යුතු ය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රණවිරු අනුස්මරණ උත්සවය අමතමින් අපූරු අදහසක් පළ කළේ ය. එනම්; වසර දෙකකට පෙර ලබාගත් ජාතික නිදහස ශ්‍රී ලංකාවේ සියලු ම ජාතීනට අයත් බව ය. මානුෂික මෙහෙයුම යනු වාර්ගික යුද්ධයක් නො වේ. මානුෂික මෙහෙයුම යනු ජන ඝාතක යුද්ධයක් ද නො වේ. ඒ වනා හී රටේ නිදහසත්; සංවර්ධනයත් තීන්දු කරන නව උපාය මාර්ගය වන්නේ ය. අලුත් දර්ශනය වන්නේ ය. ජනාධිපතිවරයා ගේ දේශනයේ ඉංගී‍්‍රසි පිටපතක් බෑන් කී මූන් මහතා වෙත ද බැරක් හුසේන් ඔබාමා මහතා වෙත ද යවන්නේ නම්; මැනැ වි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා