මන්ද පමා ! අදම එන්න පරෙවි දූපතට

මන්ද පමා ! අදම එන්න පරෙවි දූපතට

මැයි මස 28 වැනිදා (අද) සවස 2.30 ට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගොවිජන සේවා හා වනජීවී අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ සහභාගිත්වයෙන් පරෙවි දූපත ජාතික උද්‍යානය දෙස් විදෙස් සංචාරකයන්ට විවෘත වේ. මේ අවස්ථාවට ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යාංශයේ ලේකම් උදේනි වික්‍රමසිංහ සහ වනජීවී සංරක්‍ෂණ අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය චන්ද්‍රවංශ පතිරාජ මහත්වරුන් ඇතුළු ආරාධිත අමුත්තෝ රාශියක් ද සහභාගි වෙති.

රෙවියෙකු හිස සලමින් කල්පනාවකය. අවට පරිසරයේ තද අව් රශ්මිය නොතකමින් රෝස පාට කෙටි කකුල් තබමින් හෙතෙම මද දුරක් ඇවිද යන්නට පටන් ගත්තේ ය. උගුර යටින් අමිහිරි ශබ්දයක් මතු කළෙන් තටු ගසමින් එකා දෙන්නා බැගින් පරෙවි සමාජයක් ම එතැනට සැපත් විය. හොටවල් උල් කරමින්, ලතාවකට හිස සොලවමින් පරෙවියෝ කතා බහකය. පරෙවියන් රහසේ කතා කරන පරෙවි දූපත දැන් මහ හඬින් කථා කිරීමට පටන් ගෙන ඇත. රමණීය නැඟෙනහිර මුහුදු තීරයේ ත්‍රිකුණාමලය නිලාවැලි වෙරළේ සිට නාවික සැතපුම් 132 ක් දුරින් පිහිටි මේ අරුමැසි දූපත දැන් හරි කලබලය. පසුගිය වසර 30 ක් මුළුල්ලේම නිහඬව සිටි පරෙවි දූපත ආශි‍්‍රත පරිසරය පිබිදී ඇත. විදේශිකයන්ගේ දැඩි ආකර්ශනයක් ලබා ගත් පරෙවි දූපත යුදමය වාතාවරණය හේතුවෙන් හුදෙකලා දූපතක් පමණක් ව පැවතුනි. සාමයේ අරුණලු පායා වසර දෙකක් සමරන මේ මොහොතේ සුබ මුහුර්තියකින් යළිත් පරෙවි දූපත දෙස් විදෙස් සංචාරකයනට විවෘත වේ. රජ සමයේ මේ දූපත පරෙවියන් මගින් පණිවුඩ හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරන ලද බැවින් මෙය පරෙවි දූපත නමින් අතීතයේ සිටම හැඳින්විණ.

පරෙවි දූපතේ විශාලම දූපත හඳුන්වන්නේ පරෙවි දූපත නමිනි. එහි ඇති කුඩා දූපත කාක දූපත නමින් හඳුන්වනු ලබයි.  කොරල්පර ආශි‍්‍රත ජෛව විවිධත්වය සහ පරෙවියන්ගේ අභිජනන මධ්‍යස්ථානයක් ලෙස පරෙවි දූපත සලකන හෙයින් 1970 දී වනසත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක ආඥා පනත යටතේ අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. එපමණක් නොව මෙහි පවත්නා ජෛව විවිධත්වයත්, සුන්දරත්වයත් සැලකිල්ලට ගනිමින් පරෙවි දූපත 2003 ජූනි 24 වැනි දින එම ආඥා පනත යටතේ ම ජාතික උද්‍යානයක් බවට ප්‍රකාශයට පත් කරන ලදී. පරෙවි දූපත ජාතික උද්‍යානයේ වපසරිය හෙක්ටයාර 431.43 කි. කොරල් විශේෂ 100 ක් පමණ ද කොරල් පර ආශි‍්‍රත මසුන් විශේෂ 300 කට ආසන්න ප්‍රමාණයක් ද මෙහි දී දක්නට ලැබේ. කොරල් පර අතර වෛවර්ණ වරල් සලමින් පීනා යන අමුතු මාළු නැරඹීමට අවශ්‍ය නම් පරෙවි දූපතට ම ඔබ පැමිණිය යුතුය.

මන්දයත් මේ මත්ස්‍ය විශේෂ අන් කිසිදු තැනක දී ඔබට දැකගත නොහැකි බැවිනි. පරෙවි දූපත ආශි‍්‍රත වෙරළේ පිහිටි කොරල් පර 1998 වසරේදී ඉන්දියන් සාගරයේ බලපෑ උණුසුම් දියවැල් හේතුවෙන් හානියට ලක් නොවී පැවතීම ද සුවිශේෂී ලක්‍ෂණයකි. අතිශය අලංකෘත ලෙස දිස්වන මේ කොරල්පර පද්ධතිය දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත් සිත් පිනවන අරුමැසි දසුනකි. ගොඩබිම් පාෂාණ වර්ග සුළු වශයෙන් ද ඛාදනයට ලක් වූ කොරල් අතළොස්සක් ද පරෙවි දූපත ආශි‍්‍රතව දැකගත හැකිය. ඉන්දියන් සාගරයේ ජීවත් වන ආවේනික මත්ස්‍ය වර්ග මෙන්ම දුර්ලභ ගණයේ ජලජ ජීවීන් වන ජලජ ශාක විශේෂ ද බ්ලැක්ට්ස් වර්ගයට අයත් කොරල් ආශි‍්‍රත මෝරු විශේෂයක් ද පරෙවි දූපතෙහිදී දැකගත හැකි බව ඇසීම විටෙක පුදුම උපදවන සුළු ආරංචියක් විය හැකිය. එමෙන්ම පොතු කැස්බෑවන් විශේෂයක් ද පරෙවි දූපතේ වෙරළ ආශි‍්‍රතව සිත් සේ දැක බලාගත හැකිය. පරෙවි දූපත සොඳුරු ශාක වර්ග කිහිපයකට ම ප්‍රකට ය.

මේ අතර ඉහළින් ම නම සඳහන් වන සුරියල, කොහොඹල, සියඹලාල, මලිත්තන් ආදී ශාක විශේෂයන් හි අපූර්වත්වය බැලීමට පරෙවි දූපතට හැර අන් තැනකට යාම සුදුසු නොවේ. පරෙවි දූපතටම ආවේණික ටෙම්පිස් ඇසිඩියුලා වැනි ශාක ද ශ්‍රී ලංකාවට විශාල වටිනාකමක් එකතු කරන, ලෝකයේ ම ඇස තමාට යොමු කර ගැනීමට තරම් සමත් වන මට්ටමේ සම්පතකි. ලන්ටානාල පතොක් ආදී පඳුරු විශේෂ ද බාහිරින් ඇති කටු අමතක කර අත් විහිදමින් සිනාසෙන්නාක් මෙනි. කොහොමත් අධික හිරු රශ්මියට පතොක් ආදී ශාකයෝ කැමැතිය. පතොක් ස්වකීය ශරීරයට හිරු එළිය පතන්නා සේම විදේශිකයෝ ද හිරු එළියම ප්‍රාර්ථනා කරන හෙයින් පරෙවි දූපත මොවුන්ට සැබෑ ම තෝතැන්නකි. නිල්ල පිරුණු දියවැල් අතරින් ගොඩබිම මත වැඩුණු උස් ශාකවල අතු පතර වඩාත් ආඩම්බරයෙන් ගිමන් හරින බ්‍රාහ්මණ උකුස්සන්, පරෙවි දූපතට සම්පතකි. එමෙන්ම ගොළු කිරලා, කළු කොකා සහ පරෙවියෝ පරෙවි දූපතේ පරිසරයේ අයිතිකරුවන් ය. විශේෂයෙන් ම නිතර දොඩවමින් එහා මෙහා ඇවිදින, සටස් හඬ නඟමින් ඉගිලෙන පරෙවියෝ පරෙවි දූපතේ නිත්‍ය අයිතිකරුවන්ය.

ඔක්තෝබර් සිට මාර්තු දක්වා පරෙවි දූපතට යහමින් වර්ෂාව ලැබෙන අතර සෙසු කාලය අධික උෂ්ණත්වයකින් යුක්තය. සුළඟේ වේගය පැයට කි. මී. 16 – 20 දක්වාත්, 20 – 30 දක්වාත් වෙනස් වේ. පරෙවි දූපත වඩාත් සොඳුරු වන්නේ වර්ෂාව සහිත කාලගුණයක් ඇති කාලයටය. නමුත් වර්ෂාවේ පරෙවි දූපත සිසාරා බැලීමට නම් නොහැකි වනු ඇත. මද උෂ්ණාධික වුවත් හිරු එළිය උරා බොමින් පරෙවි දූපත නැරඹීම වඩාත් උචිතය. ත්‍රිකුණාමලය හරහා නිලාවැලි මුහුදු තීරය ඔස්සේ මේ ගමන ඇරැඹීම වඩාත් උචිතය. ප්‍රකට ත්‍රිකුණාමල නගරය, ත්‍රිකුණාමල මුහුදු වෙරළ තීරය නැරඹීමෙන් ඉක්බිතිව කෝනේශ්වරම් කෝවිල වැඳ පුදා ගැනීමට ද හැකිය. කෝනේශ්වරම් කෝවිල භූමිය බැතිමතුන් ගේ භක්තිය වඩවනු ඇත. නිලාවැලි මුහුදු වෙරළ කොතරම් සොඳුරු ද කියා දැකබලා ගැනීම වටී. මුහුදු ආහාර වේලකින් සන්තර්පණය වී දවසේ ඉතිරි කාලය පරෙවි දූපතට යාමට ගත කළ හැකිය. පරෙවි දූපත උද්‍යානය නැරඹීමට යන සංචාරකයනට නිලාවැලි වෙරළ තීරයෙහි අද විවෘත කෙරෙන ටිකට්පත් කවුළුවෙන් අවසර පත් ලබාගත හැකිය. දේශීය වැඩිහිටි සංචාරකයන් උදෙසා රුපියල් 40 ක් ද, ළමයින් සඳහා රු. 20 ක් වැනි සුළු මුදලකට පරෙවි දූපත උද්‍යානය නැරඹීමට හැකිවීම වඩාත් සතුටුදායකය. පාසල් සිසුන්ට මේ සඳහා ටිකට් සඳහා අයකරන්නේ රු. 10 ක් වැනි සුළු මුදලකි.

විදේශීය වැඩිහිටි සංචාරකයන්ට මේ මුදල තරමක් වෙනස් ය. පෞද්ගලික අංශය මගින් ක්‍රියාත්මක කෙරෙන බෝට්ටුවලින් සංචාරකයන්ට දූපතට පිවිසීමට හැකිය. මේ බෝට්ටු ගමන වඩාත් විචිත්‍රවත්ය. පරෙවි දූපතේ සොඳුරු බව බැලීමට බෝට්ටුවක් තරම් උචිත ප්‍රවාහන මාධ්‍යයක් තවත් නැති තරම්ය. මන්දයත් බෝට්ටුවක ගමන් කිරීමෙන් දූපතේ මධ්‍යයේ සිට සෑම පැත්තක්ම එකම ආකාරයෙන් නැරඹිය හැකිය. වේගයෙන් රළ කපාගෙන ඉදිරියට ඇදෙන බෝට්ටු මුහුදු රළ සමඟ තරග කරන්නේ තමාගේ හපන්කම් පෙන්වීමටය. මුහුදු රළ බෝට්ටුවට අවනත නොවෙමින් හැකි තරම් උදාරම්ව නැඟී සිටින්නට උත්සාහ කරන්නේ පරාජය භාරගැනීමට අංශුමාත්‍රිකදු කැමැත්තක් නැති බව පෙන්වමිනි. මේ පෞද්ගලික අංශය පවත්වාගෙන යන බෝට්ටු සේවය හේතුවෙන් විශාල පිරිසකට වක්‍රාකාරයෙන් රැකියා අවස්ථා උත්පාදනය කර ඇත.

සංචාරකයන්ට ඇවැසි නම් පරෙවි දූපත වටා ඇවිදිමින් එහි සොබා සොඳුරු බව සිත් සේ දැකබලා ගැනීමට හැකිය. ඒ සඳහා විචිත්‍රවත්ව සකස් කළ මං පෙත් කිහිපයකි. මෙහි තවදුරටත් සංචාරක පහසුකම් වැඩිදියුණු කිරීමට වනජීවී සංරක්‍ෂණ දෙපර්තමේන්තුව කටයුතු යොදා ඇත. නොබෝ කලකින්ම තවත් බොහෝ අංග පරෙවි දූපත සංචාරක ආකර්ෂණයට එකතු කරනු ඇත. එනමුත් වඩාත් පිරිසිදුවත්, අලංකාරවත් තනා ඇති පරෙවි දූපත ආශි‍්‍රත පරිසරයේ සංචාරක ඔබ රැගෙන එන පොලිතින් බෑග්, ප්ලාස්ටික් බෝතල් ආදිය දමා යාමෙන් වැළකී සිටීම යෝග්‍යය. මන්දයත් දිරා නොයන දෑ මේ පරිසරයට එකතු කිරීමෙන් අනාගත ලෝකයට ඔබ තිළිණ කරන්නේ අයහපත් තිලිණ රැසකි. පරිසරය සුරැකීම හුදෙක් වචනාර්ථයට පමණක් සීමා වූවක් නොකර එය ක්‍රියාවෙන් ම ඔප්පු කර පෙන්විය හැකි නම් මෙවන් වටිනා, අතිශය දුර්ලභ සොඳුරු තැන් ඒ ආකාරයෙන් ම අනාගත ලෝකයට තිලිණ කිරීමට හැකි වනු ඇත. එයම මහඟු පුණ්‍ය ක්‍රියාවක් වනු නියතය.

එසේ නැතහොත් වඩාත් වටිනා, ශ්‍රී ලංකාවටම ආවේණික පක්‍ෂීන්, ශාක ආදිය අප නොදැනුවත්ව ම අතීතයට හෝ රතු දත්ත පොතට ඇතුළත් වීම වළක්වා ගත නොහැකි වනු ඇත. පසුගිය වසරේ දී විදේශීය සංචාරකයන් 150,000 ක් පමණ ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන නැරඹීමට පැමිණ ඇත. මේ වසරේ දී එය දෙගුණ වනු ඇතැයි හුදෙක්ම අපි බලාපොරොත්තු වෙමු. ඒ බලාපොරොත්තුව ඉෂ්ට කර ගැනීම උදෙසා නොයෙක් වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට ද වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සූදානමිනි. පරෙවි දූපත සංචාරකයන්ට විවෘත කිරීම එහි එක් බලාපොරොත්තුවක් සඵල වීමකි. සංචාරකයන්ට මෙය අරුමැසි පාරාදීසයක් වනු නියතය. පරෙවියන් යළිත් රෝස කකුල් තබමින් නැලවෙමින් ඇවිද යනු මට පෙනේ. පෙර පරිදිම උගුර යටින් අමුතු ශබ්දයක් නඟමින් පරෙවි සමූහයා ඉගිල යාමට සැරසෙනු පෙනෙයි. ඉර අව්ව නොසලකමින් තවත් පක්‍ෂීහු එහා මෙහා ඉගිලෙති. පරෙවි දූපත දැන් රූබර මනාලියක් මෙනි. ඇය මඟහැර යාම නොවටී. දැන් පරෙවි දූපත අයිති ඔබටය. ඉතින් මන්ද පමාවක් ?

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා