ඉංගිරිය එල්ස්මෝර් වත්ත කර්මාන්ත ශාලා ගොඩනැගිලි අතහැර දමලා

ඉංගිරිය එල්ස්මෝර් වත්ත කර්මාන්ත ශාලා ගොඩනැගිලි අතහැර දමලා

ඉංගිරිය නගරය සමීපයෙහි පවතින කොටගල වැවිලි සමාගමේ ඇදුරාගල වතුයායට අයත්ව තිබූ මෙම තේ සහ රබර් කර්මාන්ත ශාලා පරිශ්‍ර ගොඩනැගිලි වසර ගණනාවක පටන් කිසිදු ඵලදායී කටයුත්තකට යොදා නොගැනීම හේතුවෙන් මෙලෙස වල් වැදී විනාශ වී යමින් පවතින අතර ඉන් ප්‍රදේශවාසීනට අත්කර දෙන්නේ මහත්වූ කරදර රැසකි.මෙම ගොඩනැගිලි ඉංගිරිය හරහා දිවෙන රත්නපුර – පාණදුර ප්‍රධාන මාර්ගය ආසන්නයෙහි ඉංගිරිය එල්ස්මෝර් වත්ත ප්‍රදේශයෙහි ඉදි කොට පවතී.

අක්කර එකහමාරක් පමණ වූ භූමි භාගයක පිහිටා ඇති මෙම ගොඩනැගිලි විනාශ වී යෑමට නොදී තවමත් වෙනත් ඵලදායි කටයුත්තක් සඳහා යොදාගත හැකිව පවතින බවට ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. රත්නපුර – පාණදුර යා කෙරෙන කොළඹට පහසුවෙන් යා හැකි පුළුල් මාර්ග පද්ධතිය අධි බලැති විදුලි රැහැන් ජල පහසුකම් ඇතුළු අනෙකුත් සියලු යටිතල පහසුකම් වලින් සමන්විතව මාර්ගය ආසන්නයේම පවතින මෙම භූමි භාගය සහ අදාල ගොඩනැගිලි තරමක නඩත්තුවකින් පසු ගබඩා කටයුත්තකට හෝ වෙනත් ව්‍යාපෘති කටයුත්තකට ඵලදායි ලෙස යොදා ගත හැකිව තිබේ.

එහෙත් එවැනි කටයුත්තක් සඳහා අදාළ භූමිය හා ගොඩනැගිලි යොදා ගැනීමට මෙතෙක් කිසිදු බලධාරියකුගේ දෑස් යොමු නොවීම කණගාටුවට කරුණකි. දිරාපත්වෙමින් පවතින ගොඩනැගිලි වල මේ වන විට වීදුරු කැඩී බිඳී වහල හා ඇතුළත තහඩු හා බිත්ති දිරාපත් වී පුපුරා කෑලි කැඩී බිඳී නටබුන්වී යමින් ඇත. ගොඩනැගිලි ඇතුළතින් හා පිටතින් ඝන කැලෑව වැඩෙමින් පවතී. අප මේ පිළිබඳව ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසීමක් කළ අතර එහිදී දැන ගැනීමට හැකි වුයේ ඉදිරියේදී ඉදිවීමට නියමිත ඉංගිරිය නව නගරයේ ප්‍රවේශ දොරටුව ලෙසින් අදාළ භූමිය යොදා ගැනීමට සැලසුම් කර ඇති බවයි.
 

අබලන් කර්මාන්ත ශාලා ගොඩනැගිල්ල

කර්මාන්ත ශාලාව ඇතුළත කොටස් ඝන වනාන්තරය විසින්
ගිලගනිමින් පවත්නා ආකාරය

මැසි මදුරුවන්ට පාරාදීසයක් බවට පත් වී පවතින
කොළරොඩු වලින් පිරී ගිය විශාල ප්‍රමාණයේ ටැංකියක්

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා