අකලට මිලින වූ මල් කැකුළ ගමම හඬවා අවසන් ගමනේ

රඹුක්කන පාසල් සිසුවකු මිය යෑම

අකලට මිලින වූ මල් කැකුළ ගමම හඬවා අවසන් ගමනේ

“අම්මේ පහන පත්තු කරන්න මට බුදු සාදුගේ පින්තූරයක් ගෙනත් දෙන්න” කියලා පොඩි පුතා කිව්වා. මම බුදු සාදුගේ පින්තූර ගෙනත් දුන්නා. නමුත් පහන් පත්තු කරන්න බැරි වුණා යැයි මිය ගිය ඩිලාන් ලක්ෂිත චන්න කුමාර පුතාගේ මව හඬා වැළපෙමින් කීවාය.රඹුක්කන වලල්ගොඩ අඹතැන්න ප්‍රදේශය කම්පා කරවමින් ඉකුත්දා සර්පයකු දෂ්ට කරමින් ජීවිතක්ෂයට පත්වූ අවුරුදු හයක් වයසැති ඩිලාන් ලක්ෂිත සිඟිති දරුවා මව වන ඒ. ආර්. බන්දුල කුමාරි සිය ආදරණීය පුතාගේ වියෝව දරාගත නොහැකිව හඬා වැලපෙමින් එසේ කීවාය.

ඩිලාන් ලක්ෂිත

2005. 06. 22 දින උපත ලබා සිය සය වැනි උපන් දිනය සැමරුමට තවත් මාසයක් තිබියදී හරියටම මැයි මස 22 වන දින අවසන් ගමන් යෑමට ඩිලාන් ලක්ෂිතට සිදු විය. මෙම කුඩා දරුවා රඹුක්කන වලල්ගොඩ මහා විද්‍යාලයට ඇතුළත් වුයේ ඉකුත් ජනවාරි මාසයේදීය. ඉකුත් 19 වැනි දින රාත්‍රිය අඹතැන්න ගම්මානයට පෑයූ වෙසක් සඳ දුක් මුසු ස්වරූපයකින් දිස් විය. ඒ පුංචි ඩිලාන් පුතුට සර්පයෙකු දෂ්ට කර රෝහලේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටින නිසාවෙනි. ඩිලාන් ලක්ෂිත ගේ පියා වන එම්. ඩී. නිමල් පද්මසිරි මහතා මෙසේ පැවසීය. සිද්ධිය වූ දින පුතා එයාගේ අම්මාත් පුංචි අම්මාත් එක්ක මගේ මහ ගෙදරට යන්න ගිහින් තියෙනවා.

කම්පාවට පත් මව සහ පුංචි අම්මා

පොඩි පුතා අත ටෝච් එකක් තිබුණා. එයා ඒකත් අරන් ඉස්සර වෙලා ගියා. මහ ගෙදර ආසන්නවෙත්ම පුතා කෑ ගැහුවා සර්පයෙක් කෑවා කියලා. දරුවාගේ අම්මා පුතා අරගෙන පාරට ආවා. එතනදී මෝටර් සයිකලයකින් පුතාව රඹුක්කන රෝහලට රැගෙන ගියා. රෝහේදී පුතාට බෙහෙත් පෙත්තක් දීලා කෑගල්ලට අරන් යන්න කියලා ලිපියක් දුන්නා. ඒ වෙනකොට රාත්‍රි 7.20 ට විතර ඇති. රෝහලේ ඇම්බියුලන්ස් එක නැති නිසා ත්‍රිරෝද රථයකින් තමයි පුතා කෑගල්ලට ගෙනාවේ. වෙසක් සතිය නිසා මාර්ග බාධක තිබුණ. ඇම්බියුලන්ස් එක තිබුණා නම් එහි නාදයට මාර්ගය ඉඩ දෙනවා. අපේ අවාසනාවට ඒකත් අපිට නැති වුණා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා