ප්‍රසන්න ජයවර්ධනගෙන් ශතකයක්

ශ්‍රී ලංකා-එංගලන්ත පළමු ටෙස්ට් තරගය

ප්‍රසන්න ජයවර්ධනගෙන් ශතකයක්

එංගලන්තය සමඟ කාඩිෆ් හී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (27) විශිෂ්ට පිතිහරඹයක නිරතවූ ප්‍රසන්න ජයවර්ධන සිය ටෙස්ට් දිවියේ තුන්වැනි ශතකය වාර්තා කරමින් ශ්‍රී ලංකා ඉනිම වර්ණවත් කිරීමට සමත්විය. ඔහු පන්දු 168කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟ ලකුණු 112ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා පිල පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 400ක් රැස් කළේය.දක්ෂ පන්දු යැවීමක නිරතවූ ජේම්ස් ඇන්ඩර්සන් සහ ග්‍රෙහැම් ස්වාන් කඩුලු 3 බැගින් දවාලූහ. දිනය නිමාවනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත පිල එක් කඩුල්ලකට ලකුණු 47ක් රැස් කරගෙන සිටියේය.

නායක ඇන්ඩෲ ස්ට්‍රවුස් ලකුණු 20කට දවාගැනීමට සුරංග ලක්මාල් සමත්වීය. ඇලිස්ටෙයර් කුක් නොදැවී ලකුණු 24ක් ලබා සිටියේය. කඩුලු 2කට ලකුණු 133ක් ලබා සිටියදී ඊයේ උදෑසන පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන්ගෙන් පළමුව දැවී ගියේ මහේල ජයවර්ධනය. ඔහු එංගලන්ත නායක ඇන්ඩෲ ස්ට්‍රවුස් අතට උඩපන්දුවක් දී ලකුණු 4කට දැවී ගිය අතර දිවා ආහාරයට පෙර තරංග පරණවිතාන ලකුණු 66කට දවාලීමට ක්‍රිස් ට්‍රෙම්ලට් සමත්විය. පන්දු 191කට මුහුණදුන් පරණවිතාන හතරේ පහර 6ක් එල්ල කළේය.

දිවා ආහාරය සඳහා තරගය නතර කරනවිට ශ්‍රී ලංකා පිල කඩුලු 4කට ලකුණු 207ක් ලබා සිටියේය. අනතුරුව තිලාන් සමරවීරට එක්වූ ප්‍රසන්න ජයවර්ධන ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව 243 දක්වා ඉහළ නැංවීය. දෙදෙනා අතර ඇතිවූ ලකුණු 84ක සම්බන්ධතාවය බිඳ දැමීමට සමත් වූයේ ජේම්ස් ඇන්ඩර්සන්ය.ඔහුගේ පන්දුවකට සමරවීර ග්‍රෙහැම් ස්වාන් අතට උඩපන්දුවක් දී ලකුණු 58කට දැවී ගියේය. ෆර්වේස් මහරූෆ් ලකුණු 16ක් ලබා සිටියදී දුවද්දී දැවීයාමට හසුකර ගැනීමට ජොනතන් ට්‍රෝට් සමත්විය. අද (28)තරගයේ තුන්වැනි දිනයයි.

ශ්‍රී ලංකාව පළමු ඉනිම – 400 (ඕවර 118.4) ප්‍රසන්න ජයවර්ධන 112, තරංග පරණවිතාන 66, තිලාන් සමරවීර 58, තිලකරත්න ඩිල්ෂාන් 50, තිසර පෙරේරා 25, රංගන හේරත් 25 (ජේම්ස් ඇන්ඩර්සන් 66/3, ග්‍රෙහැම් ස්වාන් 78/3 )

එංගලන්තය පළමු ඉනිම – 47/1 (ඕවර 20) ඇලිස්ටෙයර් කුක් නොදැවී 24 , ඇන්ඩෲ ස්ට්‍රවුස් 20 (සුරංග ලක්මාල් 13/1)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා