මුද්‍රණය සඳහා

 
උදා වූ නිදහසේ ගෞරවය විරෝදාර රණවිරුවන්ටයි

උදා වූ නිදහසේ ගෞරවය විරෝදාර රණවිරුවන්ටයි

දේශයට අපරිමිත මෙහෙවරක් ඉටු කළ වීරෝදාර රණවිරුවන් සමරන ජාතික රණවිරු දිනයට සුබ පැතුම් එක් කිරීමට ලැබීම ඉමහත් සතුටකි.

අප මාතෘ භූමිය වෙනුවෙන් මුළු මහත් ජාතියම ප්‍රාර්ථනා කළ උත්තරීතර නිදහස උදා වී තිබේ. එහි ගෞරවය අපගේ වීරෝදාර රණවිරුවන්ට හිමි වේ.

මේ නිදහස උදෙසා ඔවුන් සිය ජීවිත, අත්, පා, සහ ඇස් පරිත්‍යාග කළ බව අප සිහිපත් කරන්නේ කෘතවේදීව ය.

මේ උත්තරීතර නිදහසේ අභිමානය රැක ගැනීම අප සැමගේ වගකීමකි. ඒ සඳහා අප පරාජය කළ බෙදුම්වාදයටත්, ත්‍රස්තවාදයටත් අප මව්බිමේ යළි හිස එසවීමට ඇති සියලු මංපෙත් ඇහිරිය යුතු ය.

එය රණවිරුවන්ගේ අභිමානයටත්, ගෞරවයටත් අපට කළ හැකි වටිනාම උපහාර වන්නේ ය.

එසේම ජාතියේ ගෞරවය රැක දුන් අප රණවිරුවන්ගේත්, ඔවුන්ගේන් යැපෙන්නන්ගේත් සුබ සාධනය පිළිබඳ ව දැඩි අවධානය යොමු කිරීම සැමගේ යුතුකමයි. රජය සේම රටේම පුරවැසියන් ඒ යුතුකම ඉටු කරනු ඇතැයි මම විශ්වාස කරමි.

අපගේ වීරෝදාර රණවිරුවන් සැමට ජාතියේ ප්‍රණාමය පුද කරමි.

මහින්ද රාජපක්ෂ

ජනාධිපති

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය


නිදහසේ තේජාන්විත බලාපොරොත්තු අවදි කළේ රණවිරුවෝයි

රණ විරු සේවා අධිකාරිය මඟින් සංවිධානය කරන ජාතික රණවිරු සැමරුම් උළෙලට මාගේ සුභාශිංසන පිරිනමමි.

යුද, නාවික, ගුවන් හා පොලිස් සේවයේ රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පුද කිරීම සඳහා රණ විරු සේවා අධිකාරිය මඟින් මෙසේ ජාතික රණවිරු සැමරුම් උත්සවයක් පැවැත්වීම සතුටට කරුණකි.

මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් තම උතුම් ජීවිත පරිත්‍යාග කරමින් මුළු මහත් දේශයටම තේජාන්විත බලාපොරොත්තුවක් ලබාදුන් වීරෝදාර රණවිරුවන් අපට කිසිදා අමතක කළ නොහැක. දිවි පරදුවට තබා ඔවුන් එදා කළ ඒ අපිරිමිත කැප කිරීම නොවන්නට අපට අද මෙසේ නිදහස් වටපිටාවක් උදා නොවනු ඇත.

එම කරුණ මැනවින් වටහාගත් සේනාධිනායක අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා , රණවිරු සේවා අධිකාරිය ශක්තිමත් කර රණවිරුවන්ගේ සුබසාධනය උදෙසා විවිධ වැඩසටහන් ආරම්භ කර තිබීම අප සියල්ලන්ටම සතුටු විය හැකි කරුණකි.

රණවිරුවන්ගේ සුබසාධනය නමට පමණක් තිබූ යුගයක් අප දුටුවෙමු. ඒ යුගය අවසන් කළේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන් බව නොරහසකි. රණවිරුවාගේ ගෞරවාන්විතභාවයත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුරක්ෂිතභාවයත් උදෙසා අවංක චේතනාවෙන් ක්‍රියාකළ නායකයෙකු ඇත්නම් ඒ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ම පමණකි.

එසේම රණවිරු සේවා අධිකාරිය වෙත අවශ්‍ය උපදෙස්, මගපෙන්වීම් ලබාදෙමින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් දරනා වෙහෙස මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුමය. මෙම උත්සව කටයුතු සංවිධානය කරනු ලබන රණවිරු සේවා අධිකාරිය වෙත මාගේ ගෞරවනීය ප්‍රණාමය පුදකරන අතර, සැමරුම් උළෙලේ සියලු කටයුතු සාර්ථක වේවා! යි සුභාශිංසනය කරමි.

දි.මු. ජයරත්න

අග්‍රාමාත්‍ය


හෙට දවස සුවඳ දෙන්නේ රණවිරුවන්ගේ ලෙයින් දහදියෙනි

මවුබිමේ ඒකීයභාවය සහ සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවේ නිදහස තහවුරු කරනු වස් දශක තුනකට අධික දීර්ඝ කලක් ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැද ලද විජයග්‍රහණයට දෙවසරක් සපිරෙන මොහොතක එම උත්කෘෂ්ඨ කාර්යය උදෙසා ස්වාර්ථය පසෙකලා තම කාලය ශ්‍රමය පමණක් නොව අවසානයේ ජීවිත පරිත්‍යාගයෙන්ද කටයුතු කළ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන් අනුස්මරණය කරමින් පවත්වන ජාතික රණවිරු සැමරුම් දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම මා ලද ගෞරවයකි.

අද දවසේ අපත් හෙට දවසේ මෙබිම ජන්ම ලාභය ලබන්නවුනුත් භුªක්ති විඳින්නා වූ නිදහස රණවිරුවන්ගේ ලෙයින් දහඩියෙන් සුවඳවත් වී ඇති බව අපි සදානුස්මරණය කළ යුතු වෙමු. එසේම මවුබිමත් අපත් වෙනුවෙන් ඔවුන් කළ විශිෂ්ට කැප කිරීම් අමිලය.

ඒ වෙනුවෙන් ඔවුනට කෘතඥතාවය පළ කර නිම කළ නොහැකි මුත් අප සියලු දෙනාගේ වගකීම සහ යුතුකම වනුයේ රණවිරුවන්ගේ සුබසාධනය සහ දිවි දුන් රණවිරුවන්ගේ පවුල් වල ඥාතීන්ගේ ඉදිරි දිවිය සුඛිත මුදිත කරලීමයි.

එවන් වූ ශ්‍රේෂ්ට රණවිරුවන් සිහිපත් කර උත්තමාචාර පුද කෙරෙන මෙම රණවිරු සැමරුම් දිනයේදී එම කටයුත්තේ නිරත වන ඔබත් මාත් ඇතුළු සෑම සියලු ශ්‍රී ලාංකිකයෙක්ම ජාතික යුතුකමක් ඉටුකරලීමේ කොටස්කරුවන් වන බව සඳහන් කරන අතරම මව්බිම වෙනුවෙන් ඔවුන් දුටු සිහිනය වූ නිදහස් නිවහල් සංවර්ධිත රටක් ගොඩනැගීමෙහි ලා දායක වීම ඔබ අප සියලු දෙනාගේ ජාතික වගකීම බවද සිහිපත් කරමි.

ගෝඨාභය රාජපක්ෂ

ලේකම්

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය


උතුම් කැපකිරීම් තුළින් ලැබූ නිදහස සුරකින්න එක්වෙමු

ශ්‍රී ලාංකීය දේහය වසාගත් රුදුරු බෙදුම්වාදී ත්‍රස්තවාදය මුලිනුපුටා දමමින් ශ්‍රී ලාංකීය රණවිරුවන් විසින් මාතෘභූමියට නිදහස උදාකර දී දෙවසරක් ගෙවී ඇති මේ මොහොතේ ප්‍රෞඩ රටක ප්‍රෞඩ ජනතාවක් ලෙස වීරෝදාර රණවිරුවනට උත්තමාචාරය පුද කිරීමට මැයි 27 දිනට ජාතික රණවිරු සැමරුම යෙදී ඇත.

දශක හතරක් පුරා ලාංකීය ජන ජීවිතය සැකෙන්,බියෙන් , අවිනිශ්චිතතාවයෙන්, මනුෂ්‍ය ඝාතන වලින්, දේපළ අහිමිවීම්වලින්, පිරි පැවතුණු යුගයක දැයට පහළවුණු අභීත නායකත්වයක් තුළින් මේ බිම මත නිදහසේ සමෘද්ධියේ සාමයේ මල් වැපිරි දැනට දෙවසරක් ගෙවී ඇත.

එවන් නිදහස මාතෘභූමියට උදාකරනු පිණිස තම උතුම් දිවි කුසුම පුදකළ යුද, නාවික , ගුවන් හා පොලිස් සේවාවන්ගේත්, සිවිල් ආරක්ෂක බලමුළුවේත් වීරෝදාර රණවිරුවන්ට වීරවරියන්ට ජාතියක් වශයෙන් ගෞරවය පුදකරන අද දවසේ , ජීවිත පරිත්‍යාගයෙන් මවුබිමට උදාකරදුන් නිදහස පණ මෙන් සුරකින්නට අප ජනතාවක් වශයෙන් ප්‍රතිඥා දිය යුතුය. එවන් යුග මෙහෙවරක් කළ රාජ්‍ය නායකත්වයත්, රාජ්‍ය ආරක්ෂක ලේකම්තුමා ප්‍රධාන ආරක්ෂක සේවාවනුත් දේශීය හෝ විදේශීය කිසිදු ප්‍රතිගාමි බලවේගයකට පාවා නොදීමට සැබෑ දේශමාමකයින් ලෙස පෙළ ගැසෙමු.

“විරෝදාර රණවිරුවනි, ඔබේ ප්‍රාණ වායුව මව්බිමට පුද කළේ දේශයේ

උත්තරිතර නිදහස වෙනුවෙනි.

ආදරණීය මව්වරුන්ට පියවරුන්ට තම දරුවන් තරුණ වියෙහිදීම අහිමිවූයේ

මව්බිමට නිදහස උදාකිරීම වෙනුවෙනි.

භාර්යාවන්ට සැමියන් අහිමිවූයේ දුවා දරුවන්ට තම පියා / මව අහිමි වූයේ

මව්බිමට නිදහස උදාකිරීම වෙනුවෙනි.

එවන් උතුම් කැපකිරීම්වලින් උදාකරදුන් මාතෘභුමියේ නිදහස සුරකිමු!

වීරෝදාර රණවිරුවනට ජාතියේ ගෞරවය පුද කරමු!.”

පද්මා වෑත්තෑව
සභාපතිනිය
රණවිරු සේවා අධිකාරිය


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]