මවුබිමට නිදහස ලබා දුන් නායකයා

මවුබිමට නිදහස ලබා දුන් නායකයා

2005 නොවැම්බර් 18 දා මෙරට පස්වන ජනාධිපතිවරයා ලෙස බලයට පත්වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රට භාරගන්නා විට මෙරටින් තුනෙන් එකක් මෙන්ම මුහුදු සීමාවෙන් තුනෙන් දෙකක පාලන බලය හිමිවී තිබුණේ ප්‍රභාකරන් ප්‍රමුඛ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පවසා සිටියේ මේ සාපකාරී යුද්ධය තම කාලය තුළ නිමා කරන බවය. එය එතුමා අද අකුරට ඉෂ්ඨ කර හමාරය.

එතුමාගේ ජනාධිපතිධූර කාලයෙන් හරියටම අවුරුදු 3 යි මාස 6 ක් තුළදී එනම් 2009 මැයි 18 වනදා වන විට ප්‍රභාකරන් ප්‍රමුඛ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය සුණු විසුණු කරමින් මව්බිමට නිදහස උදාකර දී මුළු රටම එක්සේසත් කළේය.

යුද ගිනි ඇවිළුණු දශක 3 කට වැඩි කාලය තුළ මෙරට ජනතාව ජීවත් වූයේ දැඩි භීතියකිනි. පවුලේ සැමියා, පුතා, දුව, භාර්යාව කොළඹට ගොස් ආයෙත් තම නිවස වෙත නිරුපද්‍රිතව පැමිණිය හැකිදැයි දැඩි සැකයෙන් මෙරට ජනතාව ජීවත් වූ කාලය අමතක කළ නොහැකිය. බොහෝවිට භාර්යාව හා සැමියා එකවිට රැකියාවට හෝ වෙනත් කටයුත්තකට එළියට ගියේ නැත.

දෙදෙනාම වේලාවන් දෙකක, බස් දෙකක ගමන් කිරීම සුලභ දසුනක් විය. එසේම මුළු පවුලේ සාමාජිකයින් සියළුම දෙනා උත්සවයකට හෝ වෙනත් කටයුත්තකට එකම වාහනයක එකට ගමන් කළේ නැත. ඇතැම් වැඩිහිටියන් තමන් නිරන්තරයෙන්ම කොළඹට හා උතුරු නැගෙනහිර පළාත්වලට රැකියා කිරීමට යන නිසා සිය දේපළ ආශ්‍රිත අන්තිම කැමති පත්‍ර පවා ලියා තබා ඇති බව අපට දකින්නට හා අසන්නට ලැබුණි.

එසේම කොළඹ ඇතුළු තදාසන්න නගරවලට රාජකාරි කටයුතු සඳහා හෝ නෑ ගමනක් හෝ යන විට පන්සලට පල්ලියට හෝ ආගමික ස්ථානයකට ගොස් ආරක්ෂාව පතා ආශිර්වාද ලබා ගෙන යන වකවානුවක අප පසුවිය.

පාසැලට ගිය දුව පුතා ආයෙත් ගෙදර එනකම් දෙමාපියන් සිටියේ ඉමහත් බියකිනි. දරුවා සමඟ දෙමාපියන්ද පාසලට ගොස් පාසල මුර කළ ආකාරය, පාසලේ ආරක්ෂක කටයුතු සඳහා කැපවූ ආකාරය, දරුවා පාසල ඇරී එනතුරු පාසල අසල රැඳී සිටිය ආකාරය මගේ මතකයට නැගේ. සැමියා හෝ බිරිඳ රැකියාවට ගොස් යළිත් නිවසට එනතුරු දරුවන් හා දෙමාපියන් මග බලා සිටියේ අවිනිශ්චිත හැගීමකිනි. කොහේ හෝ බෝම්බයක් පුපුරා ඇති බව දැනගත් වහාම ළහි ළහියේ රූපවාහිනී ප්‍රවෘත්ති බලන්නට පෙළඹුනේද, බෝම්බය පිපිරූ ස්ථානය වෙත ඇදී ගියේ ද අසල රෝහල් කරා ගොස් තම දෙමාපියන්, දරුවන්, ඥාතීන් සිටිනවාද යැයි විපරම් කර බැලුවේ හැඬූ කඳුළිනි.

රැකියා කරන ස්ථානවලට පාසැල්වලට දුරකථන ඇමතුම් දී ඒ පිළිබඳ විමසා බැලුවේ අතිශය කම්පනයකිනි. එකල අපි සැවෝම ත්‍රස්තවාදීන්ට දෙස් දෙවොල් තබමින් කෝවිල් දේවාලවල පළිගැසුවේ ත්‍රස්තවාදය නිසා අපට අහිමි වී යන අපගේම සහෝදර සහෝදරියන් ගැන හද කකියන කම්පනය නිසාමය. එදා අපට අපගේ ජීවිත ගැන තිබුණේ මහත් අවිනිශ්චිත තත්ත්වයකි. කොයි මොහොතේදී හෝ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බයට අප බිලිවෙතැයි අප තුළ සාධාරණ බියක් පැවතුණි.

මෙවැනි තත්ත්වයක පැවැති රටක දශක 3 ක ඉතිහාසයක් ඇති ත්‍රස්තවාදී යුද්ධය නිමා කරවා මුළු රටම එක් සේසත් කරමින් මව්බිමට නිදහස උදාකර දුන් නායකයෙකු 2005 නොවැම්බර් 18 වැනිදා සියලුම දෙස් විදෙස් කුමන්ත්‍රණ පරදවා මෙරට ජනතාව පත් කරනු ලැබීය. රුහුණු පුරවරයේ ගිරුවාපත්තුව නිජභූමිය කර ගත් මහින්ද රාජපක්ෂයන්ට වසර 40කට ආසන්න දේශපාලන පරිචයක් මෙන්ම පළපුරුදු මානව හිතවාදී සංවේදී නායකයකු සතු ගුණාංග සියල්ලම පැවතුණි.

ඔහු සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය වූ මහින්ද චින්තනය මඟින් ප්‍රථමයෙන්ම ඉදිරිපත් කරනු ලැබුවේ මව්බිම ත්‍රස්තවාදයෙන් මුදවාගෙන මුළු රටම එක්සේසත් කරන බවය. එය යථාර්ථයක් කිරීමට අද මහින්ද රාජපක්ෂයන් සමත්ව සිටී. එතුමා බලයට පත්වූ පසුව පළමුවෙන් කරනු ලැබුවේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සමඟ සාම සාකච්ඡා ආරම්භ කිරීමය. විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂ එල්.ටී.ටී.ඊ. ය සමඟ සාකච්ඡා කිරීම පිළිබඳ දැඩි ලෙස විරෝධය පෑවේය. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සද්භාවයෙන්ම මෙම සාකච්ඡා සඳහා දැඩි ලෙස කැප විය. ඒ අතරතුර වේළුපිල්ලේ ප්‍රභාකරන් හා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ගැන කිසිදු විශ්වාසයක් නොමැතිව සිටි ජනාධිපතිවරයා ප්‍රථමයෙන්ම සිය යුද ශක්තිය වර්ධනය කර ගැනීමට පියවර රැසක් ගනු ලැබීය.

ඒ අනුව ත්‍රස්තවාදීන් පරාජය කිරීමට අවශ්‍ය පසුබිම සකස්කර ගනිමින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරයට විශ්වාසවන්තම පුද්ගයෙකු ලෙස සිය සොයුරු හිටපු හමුදා නිලධාරියෙකු වූ යුද්ධය පිළිබඳ මනා අත්දැකීම් ඇති හිටපු සේනාංක නායකයෙකුª ද වූ ගෝඨාභය රාජපක්ෂ මහතාව පත් කරගනු ලැබීය. එය ජනාධිපතිවරයාට ඉමහත් ශක්තියක් වූ බව අද ඔප්පු වී හමාරය. අනතුරුව

යුදහමුදාපති , නාවික හා ගුවන් හමුදාපතිවරුන්ගේත්, සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂවරයාගේත්, පොලිස්පතිවරයාගේත් පූර්ණ සහයෝගය ඇතිව ත්‍රස්තවාදයට එරෙහිව මානුෂික මෙහෙයුම ආරම්භ කරනු ලැබීය.

සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාවේම බර කරට ගෙන ත්‍රිවිධ හමුදාවේ, සිවිල් ආරක්ෂක බලකායේ හා පොලිසියේ සේනාංක නායකයින්ගේ මෙහෙයවීම යටතේ සියලුම රණවිරුවන්ගේ දායකත්වයෙන් උතුරේ මෙයෙුම් පවත්වාගෙන යමින් උතුරු නැගෙනහිර පළාත්වල බලය තහවුරු කරනු ලැබීය.

2009 මැයි 18 වනදා එල්.ටී.ටී.ඊ. පරදවා ත්‍රස්තවාදී යුද්ධය නිල වශයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසුව ගරු ජනාධිපතිතුමා හා ආරක්ෂක ලේකම්වරයා සියලුම යුද ජයග්‍රහණවල පූර්ණ ගෞරවය ත්‍රිවිධ හමුදාවට හා රණවිරුවන්ට ප්‍රසිද්ධියේම පුද කිරීමට තරම් නිහතමානී විය. රට පුරා ගැසූ පෝස්ටර්, කටවුට්, බැනර්, පුවත්පත් දැන්වීම් ආදී සියලුම ප්‍රචාරක පුවරුවල ජනාධිපති, ආරක්ෂක ලේකම්ගේ පමණක් නොව ත්‍රිවිධ හමුදාපතිවරු, සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂ, පොලිස්පති ඇතුළු නිලධාරීන්ගේ ඡායාරූප අඩංගු කිරීමට තරම් නිහතමානී විය.

අපේ මවුබිමට පූර්ණ නිදහස ලබා දුන් එවන් රාජ්‍ය නායකයෙකු වෙනුවෙන් මෙරට සාමාන්‍ය ජනතාව ඉහළම මට්ටමින් උපහාර පුද කරමින් සියයට 57ක සුපිරි බලයක් ලබාදෙමින් කළ ගුණ දැක්වීම අප අගය කළ යුතුය.

නරේන්ද්‍ර රාජපක්ෂ

මාධ්‍ය ලේකම්

ධීවර හා ජලජ සම්පත්

සංවර්ධන අමාත්‍යාංශය

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා