රට දැය එක්කළ සදානුස්මරණීය රණවිරුවෝ

රට දැය එක්කළ සදානුස්මරණීය රණවිරුවෝ

කොතැනක බෝම්බයක් පිපිරේදැයි බියෙන් සැකෙන් හා අවිනිශ්චිතව ගෙවූ යුගය අවසන්ව වසර දෙකක් ඉකුත්ව ගොසිණි.

ඒ වෙනුවෙන් දිවි පුදකළ ශරීරාංග කැපකළ රණවිරුවන් නොවන්නට තවමත් අපේ ජීවිත අවිනිශ්චිතය.

තරුණබවේ ජවය ශක්තිය එක්කර රුහිරු පුදකරන්නට තම දරුවන් පූජා කළ, දෙමාපියන්, සැමියන් පුදකළ බිරින්දෑවරු හා පියවරුන් පුදකළ දරුවන් උතුම් කොට සැලකිය යුතු පිරිසකි.

වසර තිහකට අධික කාලයක් තිස්සේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් ශ්‍රී ලංකාද්වීපයට හා රටවැසියාට කළ හානිය අපමණ ය. එතැන් සිට පත් වූ සෑම රජයක් ම රුදුරු ත්‍රස්තවාදය තුරන් කිරීමට නොගත් උත්සාහයක් නැත.

ත්‍රස්තවාදීන් මාවිල්ආරු සොරොව්ව වසා දැමීමෙන් 2006 ජූලි 26 දා ඇරඹුණ සිවුවන ඊළාම් යුද්ධය ත්‍රස්තවාදීන්ගේ අවසානය විය.

ත්‍රස්තවාදීන් ස්ථාපිතව සිටි සියලු ගම්බිම් මුදා ගනිමින් 2009 මැයි 19 වැනිදා වන විට යුද්ධය අවසන් කරන්නට දැයේ අභීත දරුවන් සමත් වූහ.

ඒ උතුම් ක්‍රියාදාමයට රටම පෙළ ගැසූ සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ගේ නායකත්වය හා මඟ පෙන්වීම නොවන්නට අපට ඒකීය සාමකාමී රටක් අහිමිවන්නට ඉඩ තිබිණි.

සොල්දාදුවා රණවිරුවා බවට පත් කරන්නට ජන මාධ්‍යය හරහා සිදුකළ මෙහෙය විරුවාගේ ජවය බලවත් කරන්නට සමත් විය.

දැය වෙනුවෙන් දිවි දෙවැනි කොට ක්‍රියාත්මක වන්නට මානුෂික නිදහස ඔවුන්ට අත්‍යවශ්‍ය විය.

තමන්ගෙන් යැපෙන්නන්ගේ අනාගතය තමා මියගිය දා සුරක්ෂිත බව ඔහුට හැඟී ගියේය. නොබියව සතුරාට මුහුණු දෙන්නට සෙබළාට මානසික ශක්තිය ලබා දීමට රජය උපරිම අයුරින් ක්‍රියාත්මක විණි.

හිසට සෙවනක් අහිමි විරු පවුල්වලට නිවාස ලබාදීමත්, දිවිපිදූ රණවිරුවන්ගෙන් යැපුණු දෙමාපියන් බිරිඳ දරුවන් උදෙසා අවශ්‍ය ආර්ථික අවශ්‍යතා සපුරා මානසිකත්වය උසස් මට්ටමක තැබීමටත් රජය කටයුතු කරන ලද්දේය.

විරු පවුල්වල අධ්‍යාපනය හදාරණ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම හා ඔවුන් ඇගයීම, විරු පවුල් සමාජයේ පිළිගැනීමට ලක්වූ කණ්ඩායමක් බවට පත්කිරීම ආදිය තුළින් රණවිරුවා ධෛර්යමත් කිරීම නිතර සිදු වූවකි.

දැය මුදාගත් එවන් අභීත විරුවන් සදානුස්මරණයද අඛණ්ඩව සිදු කෙරෙන්නකි.

යුද, ගුවන්, නාවික, පොලිස්, විශේෂ කාර්ය බලකා හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු රණවිරුවෝ දැයේ සුරක්ෂිතබව ස්ථාපිත කරන්නට මානුෂික මෙහෙයුමට එක්වූහ.

ත්‍රස්තවාදය හේතුවෙන් වසර ගණක් තිස්සේ විනාශ වෙමින් තිබූ උතුරු නැඟෙනහිර ජනතාවගේ ජීවිත නඟාසිටුවීමද කඩිනමින් සිදුකිරීමට රජය ක්‍රියාත්මක විය.

ප්‍රභාකරන්ගේ අණසක මත ජීවිත බිලිදෙමින් කල්ගෙවූ ජනතාවට නිදහස ලබාදීම පමණක් නොව සමාජීය ආර්ථිකමය හා සංස්කෘතික වටිනාකම් ලබා දෙමින් සියළු අංශයන්ගෙන් සමෘද්ධිමත් කිරීම, කඩිනමින් කෙරෙන්නකි.

නැඟෙනහිර මාවිල්ආරුවේ සිට උතුරේ නන්දිකඩාල් කලපුව දක්වා සිදුකළ මානුෂික මෙහෙයුමේදී මුදාගැනුණ ජනතාව ලක්ෂ ගණනකි. උතුරේ ත්‍රස්තවාදීන් බලහත්කාරයෙන් රඳවාගෙන සිටි දෙලක්ෂ පනස්දහසකට වැඩි පිරිසක් අවසානයේ අවතැන් වූහ.

මේසා විශාල පිරිසකට තාවකාලික ලැගුම් කඳවුරු ආහාර ඇතුළු අත්‍යවශ්‍ය පහසුකම් සියල්ල කඩිමුඩියේ සැලසිණි.

ත්‍රස්තවාදය විනාශ වුණද ඔවුන් අටවා තිබූ බිම් බෝම්බ මර උගුල් සාමාන්‍ය වැසියන් සතු ප්‍රදේශවල බොහෝ විය. මේ වනවිට හමුදාව විසින් ඒවායින් බෝම්බ හා මරඋගුල් 354334 ක් ඉවත්කර අවසානය. එසේ හමුදා මඟින් සුරක්ෂිත කර රජයට බාරදුන් ප්‍රදේශවල සිටි වැසියන් 215992 ක් මේ වනවිට පදිංචිකර අවසානය. එම ප්‍රදේශ සුරක්ෂිත කරන තෙක් රජය පවත්වාගෙන ගිය කඳවුරුවල ජීවත් වූ ඔවුන් ත්‍රස්තවාදීන් හේතුවෙන් සියලු දේ අහිමි වූ සාමාන්‍ය වැසියන්ය. එවැනි ජනතාව 16728 දෙනෙක් තවමත් කඳවුරුවල වෙසෙති.

අවනීතිය රජකළ යුගයේ ත්‍රස්තවාදීන්ගේ ප්‍රචණ්ඩත්වයට හසුව යාන්තමින් දිවි ගැටගසාගත් ඔවුන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට මෙන්ම , මානසික සංවර්ධනය ඇතිකිරීම සඳහා රජය කඩිනම් සංවර්ධන ක්‍රියාදාමයක් ආරම්භ කර තිබේ.

මේ සියලු ක්‍රියාකාරකම් අතර බාර වූ හා අත්අඩංගුවට ගත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයෝ 11600 ක් පමණ පුනරුත්ථාපනය කිරීම ද රජයේ ප්‍රධාන කාර්යයක් විය. වෙනම රටක සිහිනය දකිමින් මරාගෙන මැරෙන්නට යොමුකර සිටි ප්‍රබල පුද්ගලයන්ද මේ අතර වූහ.

ඒ සියලු දෙනා සාමයේ මාවතට රැගෙන ඒමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නිසි ක්‍රියාමාර්ග ගනු ලැබීය. ජීවිතය හඳුනා නොගෙන මරණයේ සෙවනැලි අතර ජීවත් වූ ඔවුන් නැවත සමාජ ගත කිරීම පමණක් නොව නිසි රැකියාවක් කර සමාජයේ පිළිගත් අයකු බවට පත්කිරීම සඳහා වෘත්තීය පුහුණුව මෙන්ම මනෝ සංවර්ධන වැඩසටහන්ද ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලදී.

ඔවුන් වෙනුවෙන් පුනරුත්ථාපන කඳවුරු ඇති කෙරිණි.

මෙසේ පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෝ 7500ක් පමණ සමාජගත කර අවසානය. 4100 ක් පමණ තවදුරටත් පුහුණු වෙති.

ඔවුන් රැකියාවකට සුදුසු තත්ත්වයකට පුහුණුකැර සමාජගත කිරීම ප්‍රධානම අරමුණයි.

වයස අවුරුදු 17 වත් නොයික්මවූවන් මෙන්ම වයස අවුරුදු 45 පමණ වූ මැදි වියට පා තබමින් සිටින්නෝ මෙසේ පුහුණු වෙති. ඔවුන් වෙනුවෙන් මේවන විටද පුනරුත්ථාපන කඳවුරු අටක් ක්‍රියාත්මක වෙයි. බ්‍රිගේඩියර් සුදන්ත රණසිංහ මහතා යටතේ ඒවා ක්‍රියාත්මක වේ.

රටේ තැන තැන බෝම්බ පුපුරවමින් ආරාජික තත්ත්වයට පත්කිරීමට උත්සාහ කළ කොටි මුලිනුපුටා දමා දැයේ ඒකීයත්වය ස්ථාපිත කිරීමට නායකත්වය දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු එය පමණක් ඉටුකර නැවතුණේ නැත.

දැය සමෘද්ධිමත් කිරීමේ ක්‍රියාදාමය මෑත ඉතිහාසයේ වෙන කිසි කළෙකත් නො වූ විරූ අන්දමින් සිදුකරමින් පවතී.

ජීවිතය දුන්, ශරීරාංග කැපකළ විරුවනි ඔබ නොවන්නට ශ්‍රී ලංකා මාතාව අදද යුද බියෙන් ඇළලී ගිය අරාජික රටකි. සාමය උදාකළ ඔබ සදා අමරණීයයි.

“මහලු වුවද අප සැම

මහලු නොමවේය ඔබ සැම

හිරු නැගෙනා සෑම උදයකම

හිරු බසිනා සෑම සවසකම

සිහිවේ අපට

සදා නිදන ඔබ සැම”

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා