අපේ මිනිස්කම ගැන දරුස්මාන් නොදත් දේ...

අපේ මිනිස්කම ගැන දරුස්මාන් නොදත් දේ...

දරුස්මාන් වාර්තාව ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාව යුද අපරාධ කළා යැයි කියන සංවිධානවලට මෙන් මෙරට වැසියන්ට නොබියව කිව හැකි කරුණක් වන්නේ උදාර ශ්‍රී ලාංකික රණවිරුවන් මානුෂීය මෙහෙයුමේ දී කළ කැපකිරීම්ය.

උදාර මනුෂ්‍ය ගති ඇති ඉතිහාසයක් ශ්‍රී ලංකා මාතාවට මෙන්ම ඇගේ දරුවන්ට ද ඇති බව වසර දෙකකට ඉහත දී කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදුකළ මෙහෙයුමේ දී මුළු ලොවටම පෙන්වා දුන්නේ අපරිමිත ආදර්ශයක් ද ලොවට පෙන්වමිණි.

අනුන්ට කරදර කරන, අනුන්ට හිරිහැර කරන සංස්කෘතියක් ශ්‍රී ලංකාවට නොමැති බව ලොවට පෙන්වූ රණවිරුවෝ, ත්‍රස්තවාදීන් මෙල්ලකළා පමණක් නොව එම ත්‍රස්තවාදීන් තම සහෝදරයන් ලෙස සලකා ඔවුන් යහපත් මඟට ගැනීමට ද කටයුතු කළහ.

රණවිරුවන්ගේ මේ මහා සංග්‍රාමය ලොව කිසිදු රටකට මේ ආකාරයෙන් කළ නොහැකි බව අවිවාදයෙන් කිව යුතුය. ත්‍රස්තවාදයට එරෙහිව ලොව බොහෝ රටවල් යුද මෙහෙයුම් සිදු කළත් එම මෙහෙයුම් මේ තරම් වූ මානුෂික ලීලාවකින් සිදු කෙරෙන බව ලෝකයේ කිසිදු රටක් පිළි නොගනී.

මාවිල්ආරු සොරොව්ව වසා දමමින් අහිංසක ගොවි ජනතාවට ජලය ලබා නොදීමට කොටි ත්‍රස්තවාදීන් ගත් උත්සාහයට විශාල පරාජයක් එල්ල කර උදාර රණවිරුවෝ ගොවි ජනතාවට ජලය ලබා දීමට කටයුතු කළේ තම අත් පා මෙන්ම ජීවිත ද පූජා කරමිනි.

අමුණ වසා දැමීමත් සමඟ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ උපදෙස් පරිදි යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව මානුෂීය මෙහෙයුම ආරම්භ කළහ. රණවිරුවන් කොටි ත්‍රස්තවාදීන්ට එල්ල කළ හැකි උපරිම ප්‍රහාර එල්ල කරමින් මානුෂීය මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කළහ. නැෙඟනහිර පළාත කොටි ග්‍රහණයෙන් මුදාගන්නට රණවිරුවන්ට ගත වූයේ ඉතා කෙටි කාලයකි.

වාකරේ, වෙරුගල්ආරු, නරකමුල්ල, තොප්පිගල ඇතුළු කොටි ත්‍රස්තවාදීන්ගේ නැගෙනහිර බලමුළු සියල්ල සිය පාලනයට ගත්හ. ත්‍රස්තයෝ අහිංසක වැසියන්ට නොයෙක් වද හිංසා සිදුකර තිබුණි. ඔවුන්ට පහර දී තුවාල සිදුකර ඔවුන්ගේ දේපළ සූරා කමින් දැඩි පීඩනයකට ලක් කොට තිබිණි.

නැෙඟනහිර පළාත කොටි ග්‍රහණයෙන් මුදාගත් පසු මානුෂීය මෙහෙයුම උතුරටද ක්‍රියාත්මක කරමින් ත්‍රස්තයන්ගේ පීඩනයේ සිටි අහිංසක දෙමළ වැසියන් මුදාගැනීමට ත්‍රිවිධ හමුදාව සහ රජය පියවර ගත්හ. උතුරේ මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක වීමත් සමඟම ලේ පිපාසිත ත්‍රස්තවාදීන් දෙමළ ජනතාව තම ග්‍රහණයට ගෙන යුද පළිහක් කර ගැනීමට කටයුතු කළහ.

2007 වසර ආරම්භයේ දී උතුරේ මානුෂීය මෙහෙයුම ප්‍රථම ජයග්‍රහණය හිමිකර ගනිමින් මෙහෙයුම ආරම්භ කළහ. මන්නාරම, සිලාවතුර ප්‍රදේශය කොටි ග්‍රහණයෙන් මුදාගැනුණේ ත්‍රස්තවාදීන්ට කිසිවක් සිතාගැනීමට නොහැකි අයුරිණි. සිලාවතුරේ සිටි ධීවරයින් සහ එම පවුල්වල සාමාජිකයන්ට රණවිරුවෝ මහත් සහනයක් ගෙන දුණි. ආහාර, දිය පොදක් නොමැතිව අන්ත අසරණව සිටි වැසියන්ට රණවිරුවන් තම ගමන් මල්ලේ තිබූ ආහාරවේල මෙන්ම වතුර බෝතලයද පරිත්‍යාග කළේ දින ගණනක් බඩගින්නේ සිටිමිනි.

දරුස්මාන් වාර්තාවන් ඉදිරිපත් කරමින් මෙරට රණවිරුවන්ට අභූත චෝදනා එල්ල කරන සංවිධාන මෙන්ම රටවල් වලට මේ ඉතිහාසය අමතක වී ඇතැයි ලියුම්කරු මතක් කර සිටී.

ලෝකයේ සිටින හොඳම හමුදාව ශ්‍රී ලංකා හමුදාව බව ඔවුන් කළ මානුෂික ක්‍රියා වචනයෙන් කිව නොහැකි බවත්, ලියුම්කරු දන්නේ ලියුම්කරු සතුව ඇති අත්දැකීම් නිසාවෙනි.

සිලාවතුර මුදාගැනීමෙන් පසුව යෝධවැව, වෙඩිතලතිව්, තුනුක්කායි, මල්ලාවි, පුනරීන්, පරන්තන්, කිලිනොච්චි, මුලතිව් ඇතුළු ප්‍රදේශ රැසක් ත්‍රිවිධ හමුදාව විසින් මුදාගත්තේ සිවිල් වැසියන් දහස් ගණනකට නිදහස ලබා දෙමිනි.

තමන්ව ඝාතනය කිරීමට ගිනි අවිය අමෝරාගෙන එන කොටි ත්‍රස්තවාදීන්ට අභය දානය දී ඔවුන්ව යහපත් මඟට ගැනීමට ද මෙහිදී අප රණවිරුවෝ අමතක නොකළහ. මෙය ලෙහෙසි පහසු කාර්යයක් නොවූවත් එය ඉටු කිරීමට රණවිරුවෝ මහත් කැපකිරීම් සිදු කළහ.

කොටි සංවිධානයේ අමානුෂිකත්වය කොටි දිගින් දිගටම ලෝකයා හමුවේ තැබූහ. ආරක්ෂක අංශ වෙත භාරවීමට පැමිණෙන සිවිල් වැසියකු සේ පැමිණි කොටි ත්‍රස්තයන් ඇතැම් අවස්ථාවල මරාගෙන මැරෙන ප්‍රහාරද එල්ල කළහ.

තවත් විටෙක කිරි දරුවන්ගේ ඇඟේ මරාගෙන මැරෙන බෝම්බයක් එල්ලා සිවිල් වැසියන්ද සමඟ එම දරුවා රණවිරුවන් දෙසට එවීමට තරම් පාපකාරී, අමුනුෂ්‍ය, ලේ පිපාසිතයෝ වූහ. මෙයින් නොසැලුණු රණවිරුවෝ ත්‍රස්තයන්ද ශ්‍රී ලාංකිකයන් ලෙස සිතමින් තම මෙහෙයුම දිගටම ක්‍රියාත්මක කළහ. අද දරුස්මාන් වාර්තාව ගැන පුන පුනා කෑ ගහන ඩොලර් කාක්කන්ට, ලේ පිපාසිතයන්ට කොටින්ගේ ම්ලේච්ඡත්වට අමතකව ගොසිණි.

කොටි සංවිධානය කුමන ආකාරයෙන් ක්‍රියා කළද සිවිල් වැසියෙකුගේ හෝ යුද බිමේදී හමුවන කොටි සාමාජිකයකුගේ ජීවිතය බේරාගැනීමට අප රණවිරුවෝ නිරන්තරයෙන් ක්‍රියා කළහ. දහසක් බාධක මැද නොයෙක් කම්කටොළු මැදින් වසර තුනක් වැනි කෙටි කාලයක් තුළදී උතුරේ මානුෂීය මෙහෙයුමද නිමා කරමින් ශ්‍රී ලාංකික වැසියන්ගේ මරණ බිය තුරන් කිරීමට කටයුතු කළහ.

අවසානයේ පරන්තන්, පුදුකුඩුඉරිප්පු කුඩා භූමියකට කොටු වූ කොටි ත්‍රස්තවාදීන් අහිංසක දෙමළ වැසියන් ලක්ෂ තුනකට ආසන්න පිරිසක් තම ප්‍රාණ ඇපයට ගත්හ. තමන්ගේ ඉදිරි ආරක්ෂක වළල්ල ලෙස අහිංසක කුඩා දරුවන් ඇතුළු සිවිල් වැසියන් යොදා ගැනීමට කොටි කටයුතු කළහ. සිවිල් වැසියන් මැදින් පැමිණ හමුදාවට ප්‍රහාර එල්ල කිරීමට තරම් කොටි අසරණ විය. යුද හමුදාවේ රණවිරුවෝ සිවිල් වැසියකුට කිසිදු හානියක් නොකරමින් කොටින්ට ප්‍රහාර එල්ල කිරීමට වග බලා ගත්තේ තම අත් පා ද අහිමි කරගනිමිණි.

ලක්ෂ තුනකට ආසන්න පිරිසක් ප්‍රාණ ඇපයට ගත් ලොව කිසිදු ත්‍රස්තවාදී කණ්ඩායමක් නොවීය. මේ තරම් විශාල පිරිසක් ප්‍රාණ ඇපයකින් මුදා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට ලොව කිසිම හමුදාවකට භාර නොවීය. එහෙත් දයාබර මානුෂීය අප හමුදාව මේ වූ වගකීම ඉටු කළේ තමන්ගේ ගිනි අවිය කිසිදු අවස්ථාවක අහිංසක දමිළ වැසියන්ට එල්ල නොකරමිනි. එහෙත් ලේ පිපාසිත ත්‍රස්තයෝ තම ග්‍රහණයේ සිටි සිවිල් වැසියන් ගේ අත් පා කපා ඔවුන්ව බියවද්දා රණවිරුවන්ගේ ගමන ආපසු හැරවීමට දැවැන්ත උත්සාහයක නිරත විය.

විටෙක අව් රශ්මිය, තවත් විටෙක මහා මඩ වගුරු, මින්ස් පුළුටක් නැති මුඩු ඉඩම් තම ජීවිතය තප්පර ගණනකින් විනාශ වී යන මර උගුල් නොතැකූ රණවිරුවන් ලක් මාතාව වෙනුවෙන් කළ හැකි සියලු දේ ඉටු කිරීමට වග බලා ගත්හ. මේ අතර ගැටුම් හටගත් ඇතැම් අවස්ථාවල ළමා සොල්දාදුවන් බේරා ගැනීමටද අප රණවිරුවෝ කටයුතු කළහ.

දෙමළ ජනතාව සමඟ අප හමුදාවට කිසිදු විටෙක සටනක් නොමැති බවත්, කොටි ත්‍රස්තයන් සමඟ පමණක් ගැටුම ඇති බවත් මනාවට ඔප්පු කර පෙන්වීමට අප රණවිරුවෝ දැක්වූයේ ඉමහත් දක්ෂතාවයකි.

මෙහෙයුම් පැවති සමයේ අප රටට, ත්‍රිවිධ හමුදාවට මෙන්ම රජයට, ජනාධිපතිවරයාට එල්ල වූ භාධක ගිණිය නොහැකි තරම්ය. ලොව වටා සිටින කොටි හිතවාදීන්, ටැමිල් ඩයස් පෝරාව එදා ජාත්‍යන්තර සංවිධාන ලොව ප්‍රබල රටවල් හරහා මානුෂීය මෙහෙයුම නවත්වාලීමට කටයුතු කළා මෙන්ම ජාතියක් හැටියට, රටක් හැටියට අප ගොඩනැෙඟන්නට උත්සාහ ගත් අවස්ථාවේ ආපස්සට හැරවීමට නොගත් උත්සාහයක් නැත.

එහෙත් ලක්මාතාව ඇගේ දරුවන් අද මුළු ලෝකයටම ආදර්ශයක් දෙමින් සෑම ජාතියක්ම, සෑම ආගමක්ම ලොව සියළුදෙනාගේම අයිතීන් බවත්, අප සියලුදෙනා ලොව ජීවත්විය යුතු මනුෂ්‍යයන් බවත්, ලොවට ඔප්පු කර හමාරය. අද තවමත් කොටින්ගේ හඬ ලෝකයේ බොහෝ රටවල්වල ඇසෙමින් පවතී. ලේ පිපාසිත කොටි හඬ ලොවෙන් තුරන් කිරීමට ශ්‍රී ලංකාව සමඟ ලෝකයම අත්වැල් බැඳගත යුතු බව ලියුම්කරු මතක්කර සිටින්නේ ඕනෑම රටකට කොටි ත්‍රස්තයන් තර්ජනයක් විය හැකි බව මතක්කරමිනි.

අප රණවිරුවන්ගේ මානුෂික මෙහෙයුම මොනතරම් ප්‍රායෝගිකදැයි යුද සමයේ දී ලියුම්කරු සතු අත්දැකීම්වලින් මතක් කළ හැකිය. එදා අවසන් සටනේදී කොටි ග්‍රහණයේ සිට පැමිණි සිවිල් වැසියන් කිහිපදෙනකු ලියුම්කරුට දැක්වූ අදහසක් සටහන් කිරීමට කැමැත්තෙමි. එය මෙසේය.

“මම ඉගෙනගත්තේ කිලිනොච්චි මධ්‍යමහා විද්‍යාලයේ. මගේ වයස අවුරුදු 17යි. නම ත්‍යාග්‍යරාසා ඊශ්වරී. මම ඉගෙන ගන්න එක ආසාවෙන් කරපු දෙයක්. එහෙත් එය නිදහසේ කරගන්න හම්බවුණේ නෑ. මිනීමරු කොටි ත්‍රස්තවාදීන් මාව ඔවුන්ගේ සංවිධානයට බඳවා ගත්තා. මට මතක හැටියට ඒ 2007 යි. අපේ අම්මයි තාත්තයි මාව ගෙනියන්න එපා කියල කොටින්ට කිව්වා. කොටින් සමඟ රණ්ඩු කළා.

එවෙලේ මට පේන්නම මගේ අම්මවයි තාත්තවයි වෙඩි තියල මැරුවා. මේක මට කවදාවත් අමතක වෙන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි මගේ අයිය මාව ගෙනියන්න එපා කියල කොටි නායකයකුගේ අතින් ඇද්දා. ඒ වෙලාවේ අයියගේ වම් අත ඇෙඟන් වෙන් වෙන්න කපා දැම්මා. ඒ වේදනාවට මගේ හදවත අදත් මහ හයියෙන් කෑ ගහනවා. මේ අතරතුර මාව බලහත්කාරයෙන් සංවිධානයට ගෙනගියා.

අවසන් මහා සටනේදී කොටින්ට බොරු කරලා කොටින්ගෙන් පැනල එන්න මට පුළුවන් වුණා. එහෙම එනකොට කොටි මට වෙඩි තිබ්බා. එහෙත් යුද හමුදාව රණවිරුවෝ මාව බේරාගත්තා. මට කන්න බොන්න දුන්නා. මාව එයාලගේ සහෝදරියක් හැටියට සලකලා මගේ දිහා බැලුවා. මට ආදරය කළා. සැබෑ නිදහස මොකද්ද කියලා, ප්‍රජාතන්ත්‍රවාදය මොකද්ද කියල මට දැනුණා. මට මෙහෙම සලකපු රණවිරුවන්ට හැමදාම පින්. යැයි කඳුලු වගුරණ දෙනෙතින් යුතුව ඇය පැවසුවාය”.

ඊශ්වරීගේ මේ ප්‍රකාශය මුළු මහත් ලෝකයටම පණිවිඩයක් ගෙනයයි. ඇය කියන්නේ ඈ විඳි අත්දැකීමය. ඇය හඬන්නේ ඇගේ හදවතේ කැකෑරෙන වේදනාවෙනි. එහෙත් ඇය අවසානයේදී සතුටු වන්නේ අප රණවිරුවන්ගේ දයාබරත්වය නිසා නොවේදැ’යි දරුස්මාන් වාර්තා ගැන කතාකරන සියල්ලන්ගෙන් ඇසීමට ලියුම්කරු කැමැත්තෙමි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා