රණවිරුවන් අපේ හදවත්වල සැමදා ජීවමානයි

රණවිරුවන් අපේ හදවත්වල සැමදා ජීවමානයි

“රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතීන් ඉල්ලන ඕනෑම දෙයක් මම දෙන්නම්. නමුත් මට දෙන්න බැරි එකම එක දෙයක් තිබෙනවා. ඒ දිවි පිදූ රණවිරුවන්ගේ ජීවිතය යළි ලබා දීමයි”

යුද ජයග්‍රහණයේ සතුටත් වියෝ වූ රණවිරුවන් වෙනුවෙන් හදවත තුළ නැගෙන වියෝ වේදනාවත් එකට කැටි කර ගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එම ප්‍රකාශය කරන අයුරු මේ රටේ සුවහසක් ජනතාව පමණක් නොව ලෝකයේ බොහෝ රටවල ජනතාවගේ සිත් මනෝභාවයට පත් කළ අවස්ථාවක් විය.

දශක තුනකටත් වඩා වැඩි කාලයක් මෙරට වසාගත් කුරිරු ත්‍රස්තවාදය කවදා නිම වේදෝයි බලා සිටි මේ රටේ අහිංසක ජනතාවගේ ඒ බලාපොරොත්තුව සිහිනයක් නොව සැබෑවක් බවට පත් කළ විරෝධාර රණවිරුවන් සැමරීම මේ වන විට සිදුවෙමින් පවතී.

මීට වසර තිහකට පෙර රණවිරුවන් පමණක් නොවේ ත්‍රස්තවාදය නිසා ජීවිත අහිමි වූ කුඩා කිරිකැටියාගේ සිට වයෝවෘද්ධ වැඩිහිටියන් ප්‍රමාණය අසීමිතය. තම පුතා දියණිය යුද්ධයට ගොස් ආපසු එනතෙක් බලා සිටි දෙමාපිය ඥාතීන් අදටත් ඒ බලාපොරොත්තුව මත ජීවත් වෙනවා යැයි කිවහොත් නිවැරදිය.

අපේ අනාගත දූ දරුවන්ට අනාගතයක් තිබේද යන්න සිතීමට පවා බියවූහ. අප මහ මග ගියේ මරුවා කොයි මොහොතේ අප බිළිගන්නේද යන සැකය සිත තුළ දරාගනෙය.

සිංහල ජාතියට පමණක් නොව මේ රටේ මුස්ලිම්, බර්ගර් අයද කුරිරු ත්‍රස්තවාදියා උපන් ජාතිය යැයි කියන ද්‍රවිඩ ජාතියේ අහිංසක මිනිස් ජීවිත දහස් ගණනක් ත්‍රස්තවාදියාට බිලි විය. ඔවුන්ගේ අනාගතය ත්‍රස්තවාදී නායකයාගේ අරමුණ ඔහුගේ පැවැත්ම මත තබා ගැනීමට මිනිස් පළිහක් බවට පත් කරගෙන සිටියේය.

මේ කුරිරු ත්‍රස්තවාදයෙන් රටත් ජනතාවත් බේරා ගැනීමට වසර තිහක් පුරා ජීවිතය පූජා කළ රණවිරු ජීවිත ප්‍රමාණය අප්‍රමාණය.

කෑලි කැපිය හැකි ඝන අඳුරේ කොලයක් පෑගෙන සද්දයක්වත් නොඑන පරිදි විෂඝෝර සර්පයන්ගෙන් අනූන මහා ඝණ අඳුරේ දෑතේ රැඳුන ගිනි අවියද පපුවට තුරුළු කරගෙන හෙමින් හෙමින් පය තබා සතුරා සොයා ඇදෙන අපේ රණවිරුවන් ක්‍රියා කළ ආකාරය අපට අමතක නැත.

තම සොයුරු රණවිරුවා ත්‍රස්තවාදියාගේ ගිනි උණ්ඩයට බිලිවූවත් අවසන් පණ කෙන්ද රැක ගෙන කෙසේ හෝ යළිත් ත්‍රස්තවාදියාට එරෙහිව නැගී සිටීමට ඔවුන් ගත් උත්සාහය අපට අමතක නැත.

තමාගේ පණ ගැන නොතකා යුද පිටියේ ඉදිරියටම ඇදෙන්නැයි මේ දෙරණට ජීවිතය පූජා කිරීමට සූදානම් වූ රණවිරුවන් අවසන් මොහොතේත් කළ ඉල්ලීම අපට අමතක නැත.

ඔවුන් මේ දෙරණ බේරා ගැනීමට දියත් කළ මෙහෙයුම් ප්‍රමාණය අප්‍රමාණය. එක් බිම් අඟලක් රැකගෙන මිස ඉදිරියට තැබූ පය ආපස්සට නොගත් අපේ රණවිරුවන් වසර තිහක් තිස්සේ ත්‍රස්තවාදියාට මේ භූමිය ගිල ගන්නට ඉඩ නොදී රැක ගත්තේය.

ත්‍රස්තවාදියාට හසුවී ඔවුන්ගේ දස වද මධ්‍යයේ ඔවුන් රුධිරය උරා බොන ත්‍රස්තයන්ගේ ඉල්ලීම් වලට මුව විවර නොකර හමුදාව රට පාවා නොදී ඔවුන්ගේ සිරකරුවන් බවට පත්වූ රණවිරුවන් අප හද තුළ තවමත් ජීවත් වෙති.

වසන් සටනට සුදානම් වූ අපේ රණවිරුවන් තුළ වූ චිත්ත ධෛර්යය ආත්ම විශ්වාසය එකාමෙන් වූ එකමුතුකම ම්ලේච්ඡ කොටි නායකයාගේ මල සිරුර දෑසට දකින තුරා ගෙන ඒම මේ සුවිශේෂී ජයග්‍රහණයට හේතු විය.

ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා සතු වූ නිවැරදි නායකත්වය ජාත්‍යන්තරයේ ඉදිරියේ එතුමාගේ අධිෂ්ඨානය නොවෙනස්ව තිබීම රණවිරුවා වෙනුවෙන් විශ්වාසයත් ආදරයත් දැක්වීම මෙරට ත්‍රස්තවාදය නිමා කිරීමට හේතු වූ ප්‍රධාන හේතුවයි.

ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ත්‍රිවිධ හමුදාපතිවරු කෙරේ විශේෂ විශ්වාසයක් තබා ඔවුන්ට නිදහසේ යුද්ධ කරගෙන යාමට අවශ්‍ය සැම දෙයක්ම ලබා දුන්නේය. අවසන් සැලසුම මග පෙන්වීම් සිදු කළේය.

ඒ සෑම සියලු දෙයකම අවසාන ප්‍රතිඵලය ත්‍රස්තවාදය නිමාවී රට විජයග්‍රහණය කිරීමයි.

මේ සුවිශේෂ ජයග්‍රහණය නිසා සතුටු නොවූ පුද්ගලයෙක් නොමැත. නිදහස නොලැබූ කෙනෙක් නොමැත. ගහකොළ ස්වභාව ධර්මයා පවා මේ උතුම් ජයග්‍රහණයට ආශිර්වාද කළේය.

වසර තිහක් පුරා රට වෙනුවෙන් දිවි පිදූ සෑම අභීත හමුදා සොල්දාදුවෙකුගේම අවසන් මොහොතේ මේ වාතලයට එකතු වූ සුසුම් රට ජාතියට ආශිර්වාද කළේය. ඒ සියලු ආශිර්වාදයන්ගෙන් මේ රට අද නිදහස් රටක් බවට පත්වී හමාරය.

කෘතගුණ දත් අභීත නායකයකු වු ජනාධිපතිතුමාත් ආරක්ෂක ලේකම්තුමාත් රට බේරාගත් රණවිරුවන් වෙනුවෙන් කර ඇති මෙහෙය අප්‍රමාණය. ඔවුන්ගේ ජීවිත වලට ඔවුන්ගේ ඥාතින්ගේ ජීවිතවලට බලපාන සෑම සියලු ගැටලුවක්ම විසඳා දීමට පියවර ගෙන ඇත.

රට වෙනුවෙන් සටන් වැදි සෙබළාගේ ජීවිතය රටේ සියලු දෙනාගේ ගෞරවයට ලක්වන පරිදි ඔසවා තැබීමෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඔවුන්ට කෘතගුණ දක්වා ඇත.

අද මේ වන විට රණවිරුවා ද නිදහස් පුද්ගලයෙකි. ඔවුන්ගේ දෑතේ රැඳුන ගිනි අවියට විරාමයක් ලැබී තිබේ. යුද්ධය පමණක් නොවේ ඔවුන් කලා හැකියාවන් හා වෙනත් දක්ෂතාවයන්ගෙන් සමන්විත අය බවට ලොවටම පෙන්වාදීමට දැන් ඉඩ විවෘතව ඇත.

රණවිරුවා අමානුෂික යැයි ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් පවසා තිබුණි.

එහෙත් අපේ රණවිරුවන් උතුම් මානුෂික ගුණාංග වලින් හෙබි පුද්ගලයන් බව අවසන් මහා මානුෂික මෙහෙවරේදී පෙන්වා දුන්නේය.

එදා යුද්ධය ජයග්‍රහණය කළ පසු ජාත්‍යන්තරය ඉදිරියේ ජනාධිපතිතුමාට පිළිතුරු දීමට සිදුවූ ප්‍රශ්නයක් නැගුණි. ඒ මේ යුද්ධය ජයග්‍රහණය කිරීමට හේතුව රහස කුමක්දැයි විමසනු ලැබිණි.

මේ අමානුෂික යුද්ධය අප මානුෂිකව ජයග්‍රහණය කළා. එතුමා දුන් පිළිතුර විය.

සත්‍යයකි අමානුෂික යුද්ධය මානුෂිකව ජයග්‍රහණය කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස් මත රණවිරුවන්ට හැකි විය.

මේ උතුම් ජයග්‍රහණය තුළින් රටට නිදහස උරුම කර දුන් රණවිරුවනි ඔබලා කළ ඒ උතුම් කැපවීම තවත් අවුරුදු සිය ගණනකටත් මේ රටේ උපදින ජනතාවට පවා අමතක නොවෙයි. එවැනි අමතක කළ නොහැකි කැපවීමක් ඔබ රට වෙනුවෙන් සිදු කර ඇත. අප සදා ඔබට කෘතගුණ සලකමු.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා