මුද්‍රණය සඳහා

 
දේශයේ මුර දේවතාවනි ජාතියේ උත්තමාචාරය ඔබටයි

දේශයේ මුර දේවතාවනි ජාතියේ උත්තමාචාරය ඔබටයි

වසර තිහකට අධික කාලයක් ශ්‍රී ලංකා මාතාවට හිරි හැර කරමින් ඇය කඳුළු සයුරක ගිල්වමින් ඇයගේ දූ දරුවන් රැසක් විනාශ කළ කුරිරු කොටි ත්‍රස්තවාදය අවසන් කර දැමීමට ත්‍රිවිධ හමුදාවෝ සමත් වූහ. ඒ මීට වසර දෙකකට පෙරය.

මෙරට වැසියන්ට දුක් ගින්දර එක් කළ මවුවරුන්ට දරුවන් අහිමි කළ දරුවන්ට මවුපියන් අහිමි කළ කොටින්ගේ සිහින ඊළාම් රාජ්‍යය සිහිනයකට සීමා කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයට හැකි වී තිබේ.

කොටි ත්‍රස්තයෝ දෙමළ ජනතාවගේ එකම ගැළවුම්කාරයා ලෙස පෙනී සිටීමට උත්සාහ ගත්හ. ඒ දෙමළ ජනතාවට වින කරමිනි.

දෙමළ ජනතාව තලා පෙළා දමමින් දෙමළ ජනතාවගේ මුදල් දේපළ කොල්ල කමින් කුඩා දරු දැරියන් සොල්දාදුවන් වශයෙන් කොටි සංවිධානයට බඳවා ගනිමින් කොටි ත්‍රස්තවාදය දෙමළ ජනතාවට ද මහා වූ විනාශයක් සිදු කළේය.

මෙරට සියළුම ජාතීහු සියළුම ආගමිකයෝ කොටි ත්‍රස්තවාදීන් ගේ වෙඩි උණ්ඩයට ලක්වූහ. කොටින්ගේ ඊළමට විරුද්ධව හඬ නැගූ බොහෝ දෙනාට මරු කැදවීමට කොටි ක්‍රියා කෙළේ ඔවුන්ගේ සිහිනය සැබෑ කර ගන්නටය. එහෙත් ඒ සිහිනය මේ වන විට බොඳ වී හමාරය.

කොටි ත්‍රස්තවාදීහු මෙරට රාජ්‍ය නායකයන් රැසක්ද ඝාතනය කළහ. කොටි ත්‍රස්තවාදයට විරුද්ධව තම හඬ අවදි කළ නායකයන් බොහෝ දෙනෙක් මේ අතර වුහ.

තමන්ගේ ත්‍රස්ත සංවිධානය ලෝකයේ ප්‍රබලම ත්‍රස්ත සංවිධානය බව විටෙක ප්‍රභාකරන් ලෝකයට ප්‍රකාශ කෙළේය.

ලෝකයේ ප්‍රබලම ත්‍රස්තවාදී කණ්ඩායම කොටි ත්‍රස්තවාදීන් බව පිළිගත් ඇතැම් රටවල් සංවිධාන කොටි සංවිධානයට කොටි ත්‍රස්තවාදයට සහයෝගය ලබා දීමට කටයුතු කෙළේය.

එහෙත් මුළු ලෝකයටම ආදර්ශයක් ලබා දෙමින් ත්‍රස්තවාදය ලෝකයෙන්ම තුරන් කිරීමට හැකියාවක් ඇති බව පෙන්වමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක් කරගෙන කොටි ත්‍රස්තවාදය වසර තුනක් වැනි කෙටි කාලයකදී විනාශ කර දැමීමට සමත් වූහ.

ගුවන්, නාවික, සහ පාබල හමුදාවක් සිටි ලොව එකම ත්‍රස්තවාදී කණ්ඩායම කොටි ත්‍රස්තවාදීන්ය. වසර තිහකට ආසන්න කාලයක් කොටි ත්‍රස්තවාදීහු නොයෙක් ආකාරයෙන් සන්නද්ධ වූහ. කොටි සාමාජිකයින් භාවිතා කළ සමහර අවි මෙතෙක් යුද හමුදාව භාවිතා නොකළ ඒවාය. කොටි සංවිධානය සතුව තිබූ ප්‍රබලම අවිය ලෙස හැඳින්විය හැක්කේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ය. එහෙත් මේ සියලු අභියෝග සියල්ල හොඳින් ජයගැනීමට අප ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ට හැකි විය.

ලෝකයට මරාගෙන මැරෙන බෝම්බකරු හඳුන්වා දුන්නේ කොටි ත්‍රස්වාදීන්ය. මනුෂ්‍ය ජීවිතයක් බෝම්බයක් ලෙස යොදා ගැනීම තරම් කුරිරු වීමට කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් පියවර ගත්තේය. හයක් හතරක් නොදන්නා කුඩා දරු දැරියන් වසර ගණනාවක් පුහුණු කරමින් කොටි සංවිධානය මෙලෙස මරාගෙන මැරෙන බෝම්බකරුවන් බිලි කරනු ලැබීය.

ළමා ලෝකය විනාශ කරමින් මිනිසුන්ගේ අයිතීන් නැති කරමින්, ප්‍රජාතන්ත්‍රවාදය සඟවමින් කොටි සංවිධානය ගෙන ගිය ත්‍රස්තවාදය විනාශ කර දැමීම සඳහා දමිළ නායකයන් රැසක් ද කටයුතු කළහ. අද එම නායකයන් බොහෝ දෙනෙකු මෙලොවින් සමුගෙන ඇත. ඒ කොටින්ගේ වෙඩි ප්‍රහාර වලට ලක්වීමෙනි.

වසර තිහක යුද ඉතිහාසයේ මෙරට රකින්නට මේ රටේ ඒකීය භාවය සුරකින්නට ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සෙබළුන් කළ කැප කිරීම අතිමහත්ය. ඒ වෙනුවෙන් සටහන් තබන්නට වචන නොමැතිය. ඔව්හු තමන්ගේ මවුපියන්ගෙන්, දරුවන්ගෙන්, ඥාතීන්ගෙන් වෙන් වී උතුරු කරේ ගිනි අවිය අත දරා දින සති මාස අවුරුදු ගණන් ගත කළහ. ඒ ලක් මාතාව සහ එහි ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙනි.

යුද බිම යනු මරණයත් ජීවිතයත් අතර මැදි ස්ථානයකි. විටක සෙබළුන්ට හමුවන භූමිය මඩ ගොහොරු සහිත එකකි. තවත් විටක හමුවන පරිසරය දැඩි හිරු රැස් සතු පරිසරයකි. ජල පොදක් නොමැති භූමියකි. මිනිස් වාසයක් දකින්නේ කලාතුරකිනි. රණවිරුවන් මේ වූ ප්‍රදේශවල ක්‍රියාන්විතවල යෙදෙන්නේ දුෂ්කරතා රැසක් සමඟිනි.

එහෙත් කොටි ත්‍රස්තවාදය විනාශ කර රට එක්සේසත් කිරීම සහ රටට සාමය උදා කරලීම ඔවුන්ගේ අරමුණ බවට පත් වී තිබුණි. අද ඒ අරමුණ ඉටු කර ගැනීමට හැකි වී තිබේ.

ත්‍රිවිධ හමුදාවට මේ සඳහා පොලිසියෙන්ද මනා සහයෝගයක් ලැබිණි. එලෙසම ග්‍රාම ආරක්ෂක නිලධාරීන් නැතහොත් වර්තමානයේ සිවිල් ආරක්ෂක නිලධාරීහු ද මේ සඳහා සිය දායකත්වය ලබා දීමට උපරිම ලෙස ක්‍රියා කළහ.

ශ්‍රී ලංකා මාතාව රැක ගැනීම සඳහා තම දිවිය පුද දුන් රණවිරුවන් ගැන අප සියලු දෙනා නිරන්තරයෙන් සිහිපත් කළ යුතුයි. ඔවුන්ගේ ජීවිතය රට වෙනුවෙන් පුජා කළහ. ඒ අපගේ ආරක්ෂාව රටේ සාමය වෙනුවෙනි. ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරීන්, පොලිසියේ නිලධාරීන් මෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයන් රැසක් ලක් මාතාවට පුද කළ ජීවිත පිළිබඳ අපි පුන පුනා මතක් කළ යුතු අතර ඔවුන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු.

කොටි ත්‍රස්තයන් ත්‍රස්තවාදී ක්‍රියාවලියෙන් මුදා ගෙන දේශපාලන ප්‍රවාහයකට නෙ ඒමට මෙරට පැවති රජයන් රැසක් උත්සාහ ගත්හ. එහෙත් ඒ සියල්ලම කොටි ප්‍රතික්ෂේප කළහ.

කොටි සංවිධානය තම ත්‍රස්ත ක්‍රියා සඳහා ලෝකයේ බොහෝ රටවලට සිය නියෝජිතයන් යැවීමට පියවර ගත්හ. කොටින්ගේ ශක්තිය වැඩි කර ගැනීම සඳහා බොහෝ රටවල් වලට කොටි නායකයන් පිටත් කර හැරියේය. ඒ ඒ රටට එක් එක් නායකයා බැගින් පත් කළහ. විදේශික දමිළ ජනතාවගෙන් කෝටි ගණන් මුදල් බලහත්කාරයෙන් ලබා ගත්හ. කොටි ජාත්‍යන්තර සම්බන්ධතා ජාලයක් පවත්වාගෙන ගියහ. මේ ජාත්‍යන්තර සම්බන්ධතා ජාලයට කොටි මාධ්‍ය ජාලය පිටුවහලක් කර ගත්හ.

ශ්‍රී ලංකා හමුදාව ලබන ජයග්‍රහණ වෙනත් අයුරකින් ලෝකයාට දර්ශනය කිරීමට පියවර ගත්හ. එහෙත් මේ වන විට මේ සියල්ල විනාශ කර දැමීමට අප ත්‍රිවිධ හමුදාවෝ සමත් ව ඇත.

මාවිල්ආරුවේ ජලය වසා දමමින් කොටි ක්‍රියා කළ අවස්ථාවේ එයට නිසි පිළිතුර දෙමින් කොටි ත්‍රස්තවාදය නැගෙනහිර පළාතෙන් අතුගා දමන්නට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය පියවර ගත්හ. කොටි ත්‍රස්තවාදීන් කිසිවිටක නොසිතූ ප්‍රහාර එල්ල කරමින් කොටින්ට නැගෙනහිර බලය අහිමි වූයේ අහිංසක සිවිල් වැසියන් ලක්ෂයකට වැඩි පිරිසක් කොටි ග්‍රහණයෙන් මුදා ගනිමිනි.

නැගෙනහිරින් ආරම්භ කරන ලද මෙම මෙහෙයුම කොටි ත්‍රස්තවාදීන් සූනු විසුනු කර දමමින් උතුරටද ක්‍රියාත්මක කළහ.

කොටි ග්‍රහණයේ සිටින සිවිල් වැසියන් මුදා ගැනීම වෙනුවෙන් මෙම මානුෂීය මෙහෙයුම ආරම්භ කෙරිණි.

මන්නාරම ශිලාවතුර ප්‍රදේශය අත්පත් කර ගනිමින් ආරම්භ කෙරුණු මානුෂීය මෙහෙයුම ඉතා කෙටි කාලයක් තුළදී කොටින්ට දැඩි ප්‍රහාර එල්ලකරමින් අනාරක්ෂිතව තිබූ පාලන ප්‍රදේශ රැසක් අත්පත් කර ගත්හ.

ඉන් අනතුරුව පුනරීන්, මුලතිව්, කිලිනොච්චිය, පරන්තන්, අලිමංකඩ, ඇතුළු ප්‍රදේශ රැසක බලය අත්පත් කර ගත්හ. කොටි මෙලෙස අන්ත පරාජයක් ලබන අවස්ථාවේ හමුදා ප්‍රහාරවලින් ගැලවීම සඳහා සිවිල් ජනතාව පළිහක් කර ගත්හ. ධර්මපුරම් ප්‍රද්ශයේදී කොටි සිවිල් වැසියන් හැත්තෑ පන්දහසකට ආසන්න පිරිසක් යුද පලිහ වශයෙන් භාවිතා කළහ. අනතුරුව විශ්වමඩු හා පුදුකුඩුඉරිප්පු යන ප්‍රදේශවලදී ද මෙලෙස සිවිල් වැසියන්ට නොයෙක් වද හිංසා කරමින් කොටි සිවිල් වැසියන් යුද පවුරක් කර ගත්හ. එහෙත් යුද හමුදාවේ වීර සෙබලුන් කොටි ග්‍රහණයේ සිිටි සිවිල් වැසියන් කිසිදු හානියකින් තොරව මුදා ගත්හ. සිවිල් වැසියන් රජයේ පාලන ප්‍රදේශයට පැමිණීම වලක්වාලීම සඳහා කොටි සාමාජිකයන් රැසක් යොදවන ලදී.

සිවිල් වැසියන් කොටි ග්‍රහණයෙන් මුදා ගැනීමට යුද හමුදාව ක්‍රියා කළ බොහෝ අවස්ථාවල යුද හමුදාවේ සෙබලුන්ගේ ජීවිත පූජා කිරීමටද සිදුවිය.

මිනිසුන් වෙනුවෙන් කැපකිරීම සිදු කරන ලද ලෝකයේ මෙවැනි කිසිදු හමුදාවක් නොමැති තරම්ය.

අප හමුදාවෝ ඔවුන්ගේ ආහාර වේල සිවිල් වැසියන්ට පරිත්‍යාග කරති. කුසට ආහාරක් නොමැතිව කොටි කටේ සිට පැමිණි ජනතාවට ත්‍රිවිධ හමුදා සෙබලුන් සලකන්නේ ඔවුන්ගේම ඥාාතීන් සහෝදරයන් පිරිසක් ලෙස සළකමිනි.

මේ ආකාරයට පුදුමාතලන් වෙල්ලමුල්ලවයික්කාල් ඇතුළු ප්‍රදේශවල සිට ජනතාවද කොටි ග්‍රහණයෙන් මුදාගැනීමට හමුදාව සමත් විය. ලෝක ඉතිහාසයේ ප්‍රාණ ඇපකැවන් වැඩියෙන්ම මුදා ගත් හමුදාව ලෙස සලකෙන්නේ ශ්‍රී ලංකා හමුදාවයි.

කොටි ත්‍රස්තයන් පරජාය කිරීම සඳහා සේනාධිනායකයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීමෙන් ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිවැරැදි නායකත්වය කොටි ත්‍රස්තවාදය විනාශ කර දැමීමට හැකි විය.

ලියුම්කරු යුද පෙරමුණට ගිය බොහෝ අවස්ථාවල රණවිරුවන්ගේ චිත්ත ධෛර්ය දැක ගත හැකි විය. ඔවුන් ලක්මාතාවට කරන සේවය පිළිබඳව ඔවුන් සිටින්නේ ඉතා සතුටිනි. ත්‍රිවිධ හමුදාවේ වික්‍රමයන්ගේ ප්‍රතිඵලය අද මුලු රටටම මහා ශක්තියක් විය.

ලෝකයේ දක්ෂතම හමුදාව අප සතු බව මේ වන විට එය ලෝකයටම පෙන්වා දී හමාරය.

රටක් හැටියට අප සියලුම දෙනා සතුටු විය හැකිය. අප ආඩම්බර විය හැකිය. අප එහි ගෞරවය රණවිරුවන්ට සහ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පුද කළ යුතුය.

ශි‍්‍ර ලාංකිකයන් හැටියට අප ලක්මාතාව රැක ගනිමින් සංවර්ධනය කිරීමට එහි ශක්තිය ලෝකයට පෙන්වීමට කටයුතු කළ යුතුය.

මේ සඳහා සියලුම ජාතීන් සියලු ආගමිකයන් එකට එක්වී රට පෙරට ගෙනයාමට එකමුතු විය යුතු බව මුර අඩවිය අවධාරණය කර සිටියි.

සිය ජීවිතය පුද කළ රණවිරු වන් මෙන්ම යුද්ධය හේතුවෙන් තවාල ලැබූ සියලු රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය අපි සැම එක්ව පුදකරමු.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]