මුද්‍රණය සඳහා

 
යුද ජයග්‍රහණයට මෙන්ම සංවර්ධන ක්‍රියාවලියටත් එක් වෙමු

යුද ජයග්‍රහණයට මෙන්ම සංවර්ධන ක්‍රියාවලියටත් එක් වෙමු

රට දැය වෙනුවෙන් ජීවිත පූජාවෙන් ක්‍රියා කළ ත්‍රිවිධ හමුදා , විශේෂ කාර්ය බලකා පොලිස් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු රණවිරුවන් සියලු දෙනා මා ඉතා ගෞරවයෙන් සිහි කරනවා.

ඔවුන්ගේ සාමුහික දැඩි කැපවීම නොවන්නට අප රට ස්වාධීන තත්ත්වයට පත් වෙන්නෙ නැහැ.

සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතා හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දුන් නායකත්වය සමඟ මඟ පෙන්වීම නිසයි අපට දැයට සාමය රැගෙන එන්න හැකි උනේ.

මාතෘභූමිය එක්සත් කර රටේ ජනතාවට සාමය උදා කරන්න රණවිරුවො හැමෝම එකාසේ ක්‍රියාත්මක වූ අයුරින් රට සංවර්ධනය කරා යන ගමනට ද අවශ්‍ය අයුරින් දායක වන්නට සියලු දෙනා ම එකාවන්ව පෙළ ගැසිය යුතුයි.

විජයග්‍රහණයේ තෙවන සැමරුම දින අප සියලු දෙනා දැය වෙනුවෙන් තවදුරටත් යුතුකම් ඉටුකරන්නට පෙළගැසෙමු යැයි රණවිරු සැමගෙන් මා කාරුණිකව ඉල්ලා සිටිනවා.

ආරක්ෂක

මාණ්ඩලික ප්‍රධානී

එයාර් චීෆ් මාර්ෂල්

රොෂාන් ගුණතිලක


ලෝකයේම ප්‍රශංසාව දිනාගත්තේ අපේ රණ විරුවෝයි

වසර තිහක යුද්ධය නිමා කිරීමට මෙරට යුද හමුදා සෙබළුන් මෙන්ම ත්‍රිවිධ හමුදා සෙබළුන් කල කැප කිරීම අප මේ මොහොතේ සිහිපත් කළ යුතුයි.

එලෙසම යුද්ධය වෙනුවෙන් ආබාධිත තත්ත්වයකට පත්වූ රණවිරුවන් මෙන්ම මියගිය රණවිරුවන් අප මේ මොහොතේ මතක් කළ යුතුමයි.

ලෝකයම පිළිගත් මානුෂීය මෙහෙයුම සිදුකළේ අපගේ රුණවිරුවන්. යුද හමුදාව කල කැපකිරීම් සහ ඔවුන්ගේ මානුෂීය ක්‍රියා කලාපයන් පිළිබඳව ලොව බොහෝ රටවල් ප්‍රසංසා කර තිබෙනවා.

අද දරුස්මාන් වාර්තාවක් ගෙනවිත් අපගේ රණවිරුවන්ව අපහසුතාවයට ලක් කිරීමට උත්සාහ ගත්තද ඒවා පලක් නැති දේවල් බව මතක් කර සිටිනවා. අප මේ යන ගමන කාහටවත් නවත්වාලන්නට බැහැ. මේ රට ආසියාවේ මෙන්ම ලෝකයේ ප්‍රබල රටක් වනවා.

ත්‍රස්තවාදය පරාජය කිරීමේ අත්දැකීම් ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට ලෝකයේ ප්‍රබල රටවල් ඇතුළු රටවල් 42 ක් සහභාගි වෙනවා. මේ තුළින් පෙන්නුම් කරන්නේ යුද හමුදාව මෙන්ම අප ත්‍රිවිධ හමුදාවේ දක්ෂතාවයයි.

අද මේ රට වැසියන් අවුරුදු උදාව, වෙසක් උත්සවය, නත්තල් උත්සවය, රාමසාන් සමරන්නේ ඉතාම නිදහසේ. ඒ අපගේ රණවිරුවන්ගේ කැපකිරීම නිසායි.

යුද හමුදාපති ලුතිනන් ජනරාල්

ජගත් ජයසූරිය


උදාවූ සාමයත් සමඟියත් රැකගන්න උරදෙමු

ත්‍රස්තවාදය මුලිනුපුටා දමා අප මව්බිමට සාමයේ අරුණළු උදාකර දුන් ජාතික විජයග්‍රහණයේ දෙවැනි සංවත්සරය සමරන මෙම අභිමානවත් මොහොතේ, එම විජයග්‍රහණය ළඟාකරදීමේ සටනේදී අභීතව සටන් කොට තම මව්බිම වෙනුවෙන් ජීවිතය පූජා කළ ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලිස් සේවයේ උදාර රණවිරුවන් වෙත මාගේ ගෞරවණීය ආචාරය පුදකිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

එසේම, එම සටනේදී ජීවිතය පරදුවට තබා සටන්කොට විජයග්‍රහණයේ ප්‍රමෝදය අත්විඳීමට වාසනාවන්ත වූ, අදටත් සේවයේ යෙදෙන සහ මේ වනවිට සේවයෙන් විශ්‍රාම ගොස් ඇති සියලුම රණවිරුවන්ට ද මාගේ ගෞරවණීය ප්‍රශංසාව පුදකර සිටිමි.

විශේෂයෙන්ම, මෙම සන්නද්ධ හමුදා සාමුහික විජයග්‍රහණයේ තීරණාත්මක සාධකයක් වූ ගුවන් හමුදාවේ ගුවන් හා ගොඩබිම් කාර්ය මණ්ඩලවල සියලු රණවිරුවන්ගේ දායකත්වය මෙම අවස්ථාවේදී මම ගෞරවයෙන් සිහිපත් කරන අතර, එවැනි අභිමානයක් ඇති ගුවන් හමුදාවක ගුවන් හමුදාපති වීමට ලැබීම මාගේ භාග්‍යයක් ලෙසද සලකමි.

මෙවැනි දැඩි කැපවීමක් යටතේ උදාකරගත් ජාතික සාමය හා සමගිය ඔස්සේ ඉදිරිගමනක යෙදී සිටින රට ජාතියේ අභිවෘද්ධිය සඳහා දායක වන ඕනෑම කාර්යභාරයකට නොපැකිලිව උරදීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇප කැප වී සිටියි.

යුද්ධයේ අවසානයත් සමග ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රමුඛතාවන් සංග්‍රාමීය අකෘතියකින් දුරස්වී සාමය සුරැකීමේ අකෘතියකට යොමු වී ඇති අතර ගුවන් හමුදාවකට ආවේණික නිපුණතාවයන් නොවෙනස්ව පවත්වා ගනිමින් සහ වැඩි දියුණු කරගනිමින් ජාතිය ගොඩනැගීමේ සත්කාරය සඳහා තම ශක්තිය, හැකියාවන් සහ සම්පත් යෙදවීම සඳහා ගුවන් හමුදාව ප්‍රතිව්‍යූහගත වී ඇත.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල්

හර්ෂ අබේවික්‍රම


 

විජයග්‍රහණයේ දෙවන වසර සමරන්නේ තුටු කඳුළින්

වර්ෂ 1983 දී පොලිස් දෙපාර්තමේන්තුවේ අතුරු හමුදාවක් ලෙස ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බලකාය උතුරේ සිට නැගෙනහිර ඇතුළු ප්‍රදේශවලට ගමන්කර ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා ත්‍රිවිධ හමුදාව සමඟ උරෙනුර ගැටී කටයුතු කළා.

වසර 27ක කාලයක් පුරා දැය වෙනුවෙන් විශේෂ කාර්ය බලකාය ඉටුකළ මෙහෙවරේදී මියගිය හා ශරීරාංග කැපකළ සෙබළුන් අප සදානුස්මරණය කරන අතර, ඒ අයගේ පවුල් වෙනුවෙන් හා ආබාධිතයින් වෙනුවෙන් අප සුබසාධන කටයුතු රැසක් ඉටුකරනවා.

මානුෂික මෙහෙයුම හරහා අප සියලු දෙනා ලබා ඇති ජයග්‍රහණය වෙනුවෙන් විජයග්‍රාහී දෙවන වසර සමරන මේ මොහොතේ අප සැම මෙන්ම රණවිරු පවුල් ද සතුටු කඳුළු හෙළනවා.

දැය මුදා ගැනීමට කැප වූ විශේෂ කාර්ය බලකා මෙන්ම අනෙකුත් හමුදා රණවිරු සැම මා ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා.

අද අප ලබා ඇති විජයග්‍රහණය ලබා ගැනීමට හැකියාව උදා වුණේ සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන නායකත්වය හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම මත බව අප සැම ගෞරවනීය ලෙස සැමදා සිහිපත් කළ යුතුයි.

විශේෂ කාර්ය

බලකායේ අණදෙන

නිලධාරී නියෝජ්‍ය

පොලිස්පති

ආර්. ඩබ්ලිව්. එම්. සී. රණවන

 


විජයග්‍රහණය දක්වා ගිය ගමනේදී ඔබ රටට අභිමානයක්

ජාතිය මහා ව්‍යසනයකට පත් වූ මොහොතක තමන්ට හුරුපුරුදු කැතත් උදැල්ල සමඟ ගිනි අවියත් රැගෙන උපන් ගම් බිම් ජාතියට ආරක්ෂා කර දුන් සිවිල් ආරක්ෂක බළකාය මහඟු පෞරුෂයකින් යුතුව නැගී සිටින්නේ අභීත ගොවි - දූ පුතුන් ද සමඟය.

41,000ක් පමණ වූ පිරිස් බලයකින් යුත් සිවිල් ආරක්ෂක බළකාය නැගෙනහිර මුදාගැනීමේ සංග්‍රාම භූමියේ සිට, දේශය විජයග්‍රහණය දක්වා ගිය ගමන් මඟේ සුවිශේෂී වූ සේවයක් සටහන් කළ බව අප මේ මොහොතේදී අභිමානයෙන් යුතුව සිහිපත් කරන්නෙමු.

විජයග්‍රාහී අවසන් සටනේදී හමුදා පිරිස් පෙරමුණු කිහිපයකින් විහිදී සටන් කළ මොහොතේ, දිවි පිදූ සහ සටන්බිමේ තුවාල වූ වීර සෙබළුන්ගේ සංඛ්‍යාව ඉහළයත්ම ආරක්ෂක ලේකම්තුමාගේ නියමයෙන් යුද හමුදාවේ සහායට සිවිල් ආරක්ෂක බලකායේ 4000 ක පමණ භට පිරිසක් සටන් පෙරමුණු ප්‍රදේශයට අනුයුක්ත කරමින්, දේශය ලද විජයග්‍රහණයට විශිෂ්ට දායකත්වයක් ලබාදුන් අතර ඔවුන් ද ඉමහත් ගෞරවයෙන් සිහිපත් කරන්නෙමු.

දශක තුනක් පැවති එල්ටීටීඊ ත්‍රස්තවාදය සහමුලින්ම පරාජය කිරීමට විශිෂ්ට ලෙස දායක වූවා සේම අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ “අපි වවමු - රට නගමු” සංකල්පය ඔස්සේ යමින් ආරක්ෂක ලේකම්තුමාගේ පූර්ණ උපදේශකත්වය මත සිවිල් ආරක්ෂක බළකාය සංවර්ධන සංග්‍රමයට ද දායක වෙයි.

මේ වන විට කුඩා සහ මධ්‍ය ප්‍රමාණයේ කෘෂි ව්‍යාපෘතීන් 300කට ආසන්න ප්‍රමාණයක්ද, ගඩොල් කැපීම සහ පුරාවිද්‍යාත්ම වැදගත් ස්ථාන සංරක්ෂණය කිරීම වැනි ව්‍යාපෘතින් ගණනාවක්ද, ආරම්භ කර ඇත. අපගේ මාතෘ භූමිය ආසියාවේ ආශ්චර්යය කිරීමේ කටයුත්තේදී වැදගත් කාර්යය භාරයක් ඉටු කරමින් ඒ සඳහා උපරිම දායකත්වයක් ලබා දීම සිවිල් ආරක්ෂක බළකායේ ඒකායන අරමුණ වේ.

අධ්‍යක්ෂ ජනරාල්

රියර් අද්මිරාල් ආනන්ද පීරිස්

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව

අතිරේකයේ උපදේශකත්වය

මහින්ද අබේසුන්දර
 

සංස්කරණය

නිලූකා ඩී. තිලකරත්න

චන්දන ජයවීර
 

ඡායාරූප

රුක්මාල් ගමගේ

ඉන්ද්‍රජිත් පෙරේරා

තිලක් පෙරේරා


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]