දරුණු පරාජය ඇදහිය නොහැකියි

දරුණු පරාජය ඇදහිය නොහැකියි

ඩිල්ෂාන්

හොඳ පිතිකරුවන් රැසක් සිටියත් ඕවර 25ක් ඇතුළතදී ශ්‍රී ලංකා පිලේ ඉනිම නිමාවීම විශ්වාස කිරීමට පවා අසීරු දෙයක් බව එංගලන්තයට ඉනිමකින් සහ ලකුණු 14කින් පරාජය වීමෙන් අනතුරුව මාධ්‍යවේදින් හමුවේ ශ්‍රී ලංකා පිලේ නායක තිලකරත්න ඩිල්ෂාන් ප්‍රකාශ කළේය. “අපි තරගය පැරදුනේ ඉතා නරක විදිහට ක්‍රීඩා කළ නිසයි. මහේල, කුමාර්, තිලාන් මම අපි හැමෝම අත්දැකීම් බහුල ක්‍රීඩකයෝ. අපි නැවත ඉක්මනින් ඊළඟ ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට යථා තත්ත්වයට පත් විය යුතුයි.” “මහේල හා සංගා ප්‍රමාද වී සංචාරයට එක්වූවත් ඔවුන්ට ඉක්මනින් ක්‍රීඩාවට හැඩගැසීමට හැකියාව තිබෙනවා. නමුත් අවාසනාවන්ත විදිහට හැමදේම අපිට වැරදුනා. කාඩිෆ් පිටිය ඉතා හොඳ තණතීරුවක්.

පුංචි දඟ කැවීමක් හා බවුන්ස් වීමක් තිබුණත් එය හොඳ තණතීරුවක්. නමුත් අපි හොඳින් ක්‍රීඩා කළේ නැහැ. එයයි ප්‍රධානම කරුණ” ඩිල්ෂාන් පැවැසීය. “පසුගිය වසර කීපය තුළ සිට එංගලන්තය හොඳින් ක්‍රීඩාවේ නිරතව සිටිනවා. පසුගිය කාලයේ ඔවුන් ඔස්ට්‍රේලියාවේදීම ඔස්ට්‍රේලියානු පිල පරාජයට පත් කළා” ඩිල්ෂාන් වැඩිදුරටත් සඳහන් කළේය. ටෙස්ට් තරගය පැවැති දින 5 තුළදීම වර්ෂාවෙන් බාධා පැමිණියද අවසන් දිනය වූ පෙරේදා (30) දිනයේ තේ පානයට පසු ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 82කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත්වූහ.

ශ්‍රී ලංකා පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 400ට පිළිතුරු වශයෙන් එංගලන්තය පළමු ඉනිමේදී කඩුලු 5ක් දැවී ලකුණු 496ක් ලබා සිටියදී ඉනිම අත් හිටවමින් දෙවැනි වර පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ඇරයුම් කළේය. ඒ වනවිට එංගලන්ත ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 96කින් ඉදිරියෙන් සිටියේය. තරගය ජය පරාජයෙන් තොරව නිමාවීමේ ලකුණු පෙනෙන්නට තිබුණද ශ්‍රී ලංකා පිතිකරුවන්ට පිටියේ තැන්පත් වීමට ඉඩ නොදුන් එංගලන්ත පන්දු යවන්නෝ ඕවර 25ක් ඇතුළත ශ්‍රී ලංකා ඉනිම සුණුවිසුණු කර දැමූහ. ශ්‍රී ලංකා පිලේ දෙවැනි ඉනිමේදී වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේ තිසර පෙරේරාය. ඔහු ලකුණු 20ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී ග්‍රෙහැම් ස්වාන් සහ ක්‍රිස් ට්‍රෙම්ලට් කඩුලු 4 බැගින් දවාලු අතර ස්ටුවර්ට් බ්‍රෝඩ් කඩුලු 2ක් දවාලීය.
 

ශ්‍රී ලංකා පිලේ දෙවැනි ඉනිමේ අවසන් කඩුල්ල ලෙස සුරංග ලක්මාල් දවා ගැනීමෙන් පසුව ස්ටුවර්ට් බ්‍රෝඩ් එංගලන්ත ක්‍රීඩකයන් සමග සතුට බෙදාගත් අයුරු.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා