සයිබර් අපරාධ ගැන අපේ සමාජය දැනුවත් නෑ

සයිබර් අපරාධ ගැන අපේ සමාජය දැනුවත් නෑ

සුනිල් ඩී. පී. අබේරත්න ආසියානු පැසිපික් කලාපීය නීතිඥ සංගමයේ විධායක කමිටු සාමාජික, අධිකරණ වෛද්‍ය

* පරිගණක හා ජංගම දුරකතන භාවිත කරමින් සිදු කරන අපරාධ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළහැකි ද ?

තොරතුරු සැකසීමේ හැකියාව දරණ ඉලෙක්ට්‍රොනික හෝ සමාන උපකරණයක් පරිගණකයක් ලෙස හඳුනාගත හැකියි. ජංගම දුරකතනයක්, ඒටීඑම් (ATM) යන්ත්‍රයක්, පරිගණකයක් යන්නට යොදා ගත හැකියි. පරිගණකය කෙරෙන් ඉටු කරන්නා වූ බොහෝ කාර්යයභාරයන් ප්‍රමාණයක් අද ජංගම දුරකතනය තුළිනුත් ඉටු කර ගත හැකියි.

මේ ඉලෙක්ට්‍රෝනික මාධ්‍යගත උපකරණ විෂයෙහි සිදු කෙරෙන්නා වූ අපරාධ උදෙසා සුවිශේෂී වූ පනත් කෙටුම්පත් අපට හඳුනා ගත හැකියි. තොරතුරු තාක්ෂණ පනත සාක්ෂි විශේෂ විධිවිධාන පනත සහ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත ඒ යටතට ගැනෙනවා. එසේ ම නිරන්තරයෙන් සිදු විය හැකි අපරාධ යටතේ සුවිශේෂී කරුණු කිහිපයක් සඳහන් කළ හැකියි.

ප්‍රකාශන අයිතියක් හිමි ජාලගත දත්ත ගබඩාවට දත්ත බාගත කිරීම දඬුවම් ලැබිය හැක්කක්. උදාහරණයක් ලෙස මෘදුකාංග වැනි ප්‍රකාශන අයිතිය තහවුරු කළ හැකි ලිපිගොනු බාගත කර ගැනීම සඳහන් කළ හැකියි. එවැනි අපරාධයක් සිදු කිරීම සඳහා ජංගම දුරකතනය වුව ද භාවිත කිරීමේ ඉඩ කඩ ඇත. අපරාධ පනතේ සඳහන් අපරාධ දහයම ජංගම දුරකතනයක් ඔස්සේ සිදු කළ හැකි ඒවා ය.

ඉහත පරිදි අනෙකකුගේ වැඩසටහනකට හෝ පරිගණකයකට අදාළව පෞද්ගලිකත්වය නැති කිරීම ‘හැකිං’ ලෙස හඳුනා ගන්නවා. මෙම (හැකර්වරු) දත්ත සොරුන් අහිංසක වරදකරුවන් ලෙස සඳහන් කළ හැකියි. ඊට හේතුව ඔවුන් වෙබ් අඩවිවලට පිවිස තොරතුරුවලට හානියක් නොකිරීමයි.

එහෙත් මෙලෙස අනවසරයෙන් ඇතුළුව ඒ මගින් තව තව අපරාධ කිරීමට පෙළඹෙනවා නම් පනතේ හතර වැනි වගන්තිය ඔවුන් හඳුනාගන්නේ ක්‍රැකර්ස් යනුවෙනි.

යම් වැඩසටහනක් අනවසරයෙන් වෙනස් කිරීම දත්ත ගබඩා කිරීම පිළිබඳ කිසිදු අයිතියක් හිමිකරුට හැර අන් අඅයකුට නොමැති බව පස් වැනි වගන්තියේ දී සඳහන් කෙරෙනවා. අන්තර්ජාතික වශයෙන් වුව ද මේ පරිගණක අපරාධකරුවන් කොටස් තුනකට බෙදා වෙන් කොට හඳුනා ගැනෙනවා. එනම් හැකිං, ක්‍රැකිං හා මොඩිෆිකේෂන් නමිනි.

පනතට අනුව ජාතික ආරක්ෂාවට, මහජන සාමයට, රටේ ආර්ථිකයට හානිදායි අයුරින් යමකු පරිගණකය භාවිත කිරීම බරපතල වරදකි. නීති විරෝධී ලෙස පරිගණක වැඩසටහන්වලට අදාළ දත්ත ලබා ගැනීම, පිටපත් කිරීම හා සැකසීම වැනි බොහෝ නීති විරෝධී කටයුතු උදෙසා අවම ලක්ෂයක දඩයක් සහ මාස හයක සිර දඬුවම් නියම කළ හැකි ය. මෙවැනි පරිගණක ආශ්‍රිත අපරාධයන්ට තාක්ෂණය, දැනුම, භාවිත උපකරණයන් ගේ සූක්‍ෂමතාව ආදී සාධක ප්‍රමුඛ වශයෙන් බලපෑම් ඇති කරනවා. එහෙත් පරිගණක හා ඉලෙක්ට්‍රෝනික සාක්ෂිවලට අදාළ මේ ඔහාරික කරුණු රටින් රටට වෙනස් ස්වභාවයක් උසුලනවා.

පරිගණක වැඩටහනක් හා දත්ත නීති විරෝධී ආකාරයට පිටපත් කිරීම උදෙසා අවශ්‍ය උපකරණ සහ මෙවලම් සැපයීමත් වරදක්. ජංගම දුරකතන සේවා සැපයුම්කරු විසින් රහස් අංක වැනි දුරකතන හා සම්බන්ධ දත්ත තෙවැනි පාර්ශවයකට ලබාදීමත් දඬුවම් ලැබිය හැක්කකි. එසේ මැදිහත්වීමට සේවා සැපයුම්කරුට කිසිසේත් හැකියාවක් ඇත්තේ නැත. මෙවැනි වැරදිවලට අනුබල දීමත් තහනම් ය.

* යම් පරිගණක අපරාධයක් සිදු වූ පසු ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පැහැදිලි කළ හැකි ද ?

එවැනි අපරාධයක දී විමර්ශනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳ පරිගණක පනතේ දෙවන කොටසෙහි විස්තර කෙරෙනවා. එහි දී විමර්ශකයෙක් ලෙස හඳුනා ගන්නේ තොරතුරු තාක්ෂණ විද්‍යාවේ උපාධිධාරියෙක්. ඔහු උපකුලපතිවරයා ගේ අනුදැනුම මත විෂය භාර අමාත්‍යවරයා විසින් හා ගැසට් නිවේදනය මගින් තෝරා පත් කර ගනු ලබන්නෙක්.

පරිගණක ජාල, මෙවලම්, උපාංග ආදී සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීමට ඔවුන්ට සියලු බලතල හිමි ය. මෙහි විශේෂ ලක්ෂණය නම් සෝදිසි වරෙන්තුවක් නොලබා ම පොලිස් උප පරීක්ෂකවරයෙකුට පහළ නොවන නිලධාරියකු සමග මෙම නිලධාරීන්ට ඕනෑම ස්ථානයකට ගොස් විමර්ශන කටයුතු කළ හැකි වීමයි. එහි දී වරදකරුවන් සිය භාරයට අත් කර ගත හැකි ය. අවශ්‍ය වුවහොත් දින හතක් දක්වා තොරතුරු ආරක්ෂා කරන ෙලෙසට නියෝග නිකුත් කිරීමටත් බලය ඇත. ඒද ප්‍රමාණවත් නොවී නම් මහේස්ත්‍රාත්වරයකු ගේ නියෝග මත දින 90 ක කාලයක් දක්වා අදාළ දත්ත ආරක්ෂා කරන ලෙස නියෝග කළ හැකි ය.

* මෙහිදී යොදා ගැනෙන සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරන මූලාශ්‍ර පිළිබඳ සඳහන් කළොත් ?

හුවමාරු වන ඊමේල් පණිවුඩ සාක්ෂි වශයෙන් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ හැකියි. මෑතක දී කොළඹ වාණිජ මහ අධිකරණ නිවේදනයට අනුව කෙටි පණිවිඩ සාක්ෂි වශයෙන් පිළිගෙන එම සාක්ෂි යොදා ගැනීමට නීත්‍යානුකූල හැකියාව තිබෙනවා.

එනිසා ජංගම දුරකතන හරහා හුවමාරු කෙරෙන කෙටි පණිවුඩ (SMS, MMS) අවශ්‍ය නම් සේවා සැපයුම්කරු හරහා සංරක්ෂිත කොට සාක්ෂි ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති බව පරිගණක පනතේ දෙවන කොටසේ සඳහන් වනවා. මේ අනුව කඩදාසි මාධ්‍ය ඔස්සේ සිදු කෙරෙන ලිපි ගනුදෙනු සේ ම පරිගණකය ජංගම දුරකතනය ඔස්සේ ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් සිදු කෙරෙන ගනු දෙනු ශ්‍රී ලංකා නීතිය ඉදිරියේ වලංගු ලේඛණ සේ පිළි ගැනෙනවා.

* මෙවැනි අවස්ථාවකදී කටයුතුª කළ යුතු ආකාරය පිළිබඳ සමාජීය දැනුම අල්ප වීම ප්‍රධාන ගැටලුවක් නේද ?

එය පැහැදිලි ප්‍රශ්නයක්. මේ විෂය සම්බන්ධ නීතිමය රාමුව කෙරේ පවතින අල්ප දැනුම ඊට හේතු වනවා. මේ උපාංග හරහා සිදු කෙරෙන වරදකදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ වැටහීමක් නොමැති විටක දී සිදු වන්නේ වැරදිකරුවන් නීතියේ රැහැනට අසුකර ගැනීමට නොහැකි වීමයි.

බොහෝ සේවා ස්ථානවල සේවක සේවිකාවන් අතර අසභ්‍ය හෝ අපහසුතාවට පත් වන කෙටි පණිවු හුවමාරුව දැනට පවතින ප්‍රවණතාවක්. බොහෝ පුද්ගලයන් කාන්තාවන් අවධානයට අපහසුවට පත් කිරීම සඳහා කරන මෙවැනි ක්‍රියාකාරකම් හිදි පීඩාවට පත් අය නිහඬතාව රකිනු දැකිය හැකියි. ලජ්ජාව නොදැනුවත්කම ඊට බලපාන ප්‍රධාන කරුණු වනවා. එහෙත් එම තත්ත්වය අපරාධකරුවන් නීතියේ ඉදිරියට ගෙන ඒමට ඇති අවස්ථාව මග හැරීමක්.

මෙවැනි අසැබි කෙටි පණිවුඩ දිගින් දිගට ම ලැබීම නිසා මානසික පීඩාවන්ට පත් වන අය දිනෙන් දින වර්ධනය වෙමින් ඇත. එම කෙටි පණිවුඩ එවන්නෝ ජාතික වශයෙන් සයිබර් බුලින් (cyber bulling) නැමැති වරද සිදු කරයි. මෙවැනි අපරාධකරුවන්ට එරෙහිව රටේ පවතින සාමාන්‍ය නීතිය යටතේ සහ ඉලෙක්ට්‍රෝනික මාධ්‍යය ඔස්සේ සිදු කරන ලේඛණ සම්බන්ධයෙන් පවතින නීතිය ඔස්සේ පියවර ගත හැකියි.

පොලිස් දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක විශේෂ පරිගණක අපරාධ අංශයක් ක්‍රියාවට නංවා තිබෙනවා.

ළමයින් සම්බන්ධ අසභ්‍ය දෑ ප්‍රදර්ශනය කිරීම, බෙදා හැරීම මගින් සිදු කෙරෙන පරිගණක අපරාධ මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මෙවැනි අවස්ථාවන් හි දී දණ්ඩ නීති සංග්‍රහය යටතේ මෙන් ම අපහාසය නැමැති දිලික්ත වරද යටතේ නීත්‍යානුකූලව කටයුතු කළ හැකියි.

* ගෝලීයකරණය සමඟ ලොව බොහෝමයක් වාණිජ කටයුතු සිදු කෙරෙන්නේ අන්තර්ජලාය හරහායි. මෙවැනි අවස්ථාවන් හි දී නීතිමය රාමුව කෙබඳුද ?

අන්තර්ජාලය භාවිත කොට ගෙන දේශීය වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් වාණිඩ කටයුතු ඉතා වේගවත්ව සිදු කෙරෙනවා. ඒ සඳහා ඇතැම් විට තමන්ට ම අනන්‍ය වූ පරිගණක ජාල දැකිය හැකියි. කාලය දත්ත ගබඩා කිරීමේ දී අවම ඉඩ ප්‍රමාණයක් වැය වීම මුදල් විශාල වශයෙන් ඉතිරි කරගත හැකි වීම මේ ප්‍රවණතාව කෙරේ විශේෂයෙන් බලපාන කරුණුයි. මේ සම්බන්ධව ශ්‍රී ලංකාව තුළ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත ක්‍රියාවට නංවා තිබෙනවා.

ඊට සාමාන්‍ය ගිවිසුම් නීතියට ඇතුළත් බොහොමයක් සංකල්ප පොදු මූලධර්ම ලෙස පවත්වා ගෙන යනු ලබනවා. මේ ව විට ලෝකය තුළ වන ප්‍රවණතාව ඉලෙක්ට්‍රෝනික වාණිජ සහ (E Commerce) යන්නට ජංගම දුරකතන වාණිජ්‍යය (E Commerce) දක්වා වැඩි දියුණු වීමයි. ඒ අනුව මේ වන විට ජංගම දුරකතන භාවිත කිරීමේ ගිවිසුම් බිල්පත් ගෙවීම් ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන් කර ගැනීම ආදිය නිසා ජංගම දුරකතනය ඔස්සේ සිදු කෙරෙන ඕනෑ ම වාණිජ කටයුත්තක දී නීති අදාළ කර ගැනෙනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා