මුද්‍රණය සඳහා

 
ලෙස්ටර්

ලෙස්ටර්

සමාජ විඥානය ප්‍රතිනිර්මාණය කිරීම

නිසැකයෙන්ම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් යනු ශ්‍රී ලංකාව විසින් බිහි කරනු ලැබූ ශ්‍රේෂ්ඨතම සිනමාවේදියා ය. එමෙන්ම ආසියානු සිනමාවේදීන් අතරේ ද ඔහු විශිෂ්ටයෙකි. ඔහුගේ සිනමා කෘතිවලට විවිධ සංකල්පීය පැති මානයන් ඔස්සේ ප්‍රවිශ්ට වීමට හැකියාව තිබේ. මෙහිදී මා තෝරා ගනු ලබන පැතිමානය වන්නේ ඔහුගේ සමාජ විඥානය ය. ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිස්ථානයකදී සංස්කෘතික නව්‍යභාවය පිළිබඳ අදහස සමාජ විඥානය පිළිබඳ අදහස ද සමඟින් සිත්ගන්නාසුළු ලෙස බද්ධ කිරීමේ පුරෝගාමියා වන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ය. මහ ගත් කතුවර මාර්ටින් වික්‍රමසිංහයන්ගේ තුන් ඈඳුතු නවකතාව පාදක කරගත් ඔහුගේ චිත්‍රපට ත්‍රිත්වය මේ තත්ත්වය වඩාත් වර්ධනීය තත්ත්වයකට ගෙනවිත් තිබේ. රේඛාවත් සමඟම ආචාර්ය පීරිස් ලංකාවේ කලාත්මක සිනමාවට මුල පිරූ අතර එවකට පැවැති චිත්‍රපට සංස්කෘතිය තුළ රේඛාව වැනි චිත්‍රපටයක් නිෂ්පාදනය වීම පවා විමතිය දනවන සුළු කරුණක් විණ. එය එහි පැවැත්ම පිළිබඳ ගැටලුවක් ද වූවේ ය.

තමා විසින් තෝරාගනු ලැබූ කිසියම් අත්දැකීමක් සමඟ සිනමා මාධ්‍යය නිසි ලෙස සුසංයෝග කොට සිනමාරූපීව ඉදිරිපත් කිරීමට ආචාර්ය පීරිස්ට හැකි වුණේ ‘ගම්පෙරළිය’ ද සමඟිනි. ‘රේඛාව‘ එවකට පැවැති වට්ටෝරු සිනමාව අතික්‍රමණය කළ මුත් මගේ අදහසට අනුව නම් තත්ත්වාකාරයෙන් ගම නිරූපණය කිරීමට එහිදී සිනමාකරුවා අසමත් වූවේ ය. මා එසේ කියන්නේ මා ද ගමක උපන් හා හැදුණු වැඩුණු කෙනෙක් වන නිසා ය. එසේ වුවද ගම්පෙරළිය, කලියුගය හා යුගාන්තය නිපදවීමෙන් පසුව තමාටම ආවේනික වූ අත්දැකීම් ද සමඟ නිර්ව්‍යාජ සිනමාවක් බිහි කිරීමට ආචාර්ය පීරිස් සමත් වූවේ ය. සිය කලාත්මක අභිප්‍රායන් සාක්ෂාත් කර ගැනීම සඳහා සංස්කෘතික අර්ථ සහිත උපක්‍රම උපයෝගී කර ගැනීමට ද සිනමාව තුළින් ඔහු යොමු විණ. ඔහුගේ විශිෂ්ටතම සිනමා කෘතිය ලෙස සැලකෙන “නිධානය” සිනමාත්මක ගුණයෙන් පරිපෝෂිත වන අයුරින්ම ඔහුගේ “වෑකන්ද වලව්ව“ ද චෙකෝවියානු දෘශ්‍ය සංකේත ප්‍රබල ලෙස හා බහුල ලෙස භාවිතයට ගෙන තිබේ.

“ගම්පෙරළිය”, “කලියුගය”, “යුගාන්තය”, යන චිත්‍රපට ත්‍රිත්වය පිළිවෙලින් 1982, 1983, 1985 යන වර්ෂවලදී නිෂ්පාදනය වූ / තිරගත වූ අතර දේශීය සමාජ විඥානය සිනමාත්මකව ගවේෂණය කිරීමට ඔහු තුළ වූ අභිප්‍රාය එමඟින් නියෝජනය කෙරිණ. සිනමාව තුළ ඔහුගේ මුහුව පැහැදිලිව දක්නට ලැබෙන්නේ මේ සිනමා කෘතීන් තුළ ය. එහෙත් ඔහුගේ සිනමා සංචරණයේ උපත වඩාත් ප්‍රබලව සනිටුහන් කරන්නේ ගම්පෙරළියයි. සිනමාවේදියකු වශයෙන් ඔහු අපේක්ෂා කළ උත්කෘෂ්ට ප්‍රේක්ෂකයා ඔහුට සම්මුඛ වන්නේ ද මේ සිනමා කෘතිවලට ලැබුණු ප්‍රතිචාර සමඟිනි. දක්ෂ සිනමාකරුවකු විසින් තත්කාලීන සමාජ අත්දැකීම් ප්‍රතිනිර්මාණය කිරීම මෙන්ම සමාජ විඥානය ප්‍රවර්ධනය කිරීම ද සිදු කරනු ලබයි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් සිනමාවට නගන ලද මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නවකතා ත්‍රිත්වය තුළින්ම නිරූපණය වන්නේ මේ තත්ත්වයයි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ තුන් ඈදුණු චිත්‍රපට ශ්‍රී ලංකාවේ සමාජ විඥානය විශිෂ්ට ලෙස ග්‍රහණය කරයි.

ගම්පෙරළිය චිත්‍රපටය වැඩවසම් ක්‍රමයේ බිඳවැටීම, මධ්‍යම පන්තියේ නැගීම සහ එම සමාජ විපර්යාසයන් අන්තර් පුද්ගල සබඳතා විෂයෙහි සිදු කරන වෙනස්කම් ද ප්‍රතිනිර්මාණය කරයි. මෙහිදී වැදගත් කරුණ වන්නේ අධ්‍යක්ෂවරයා සංස්කෘතික සංවේදීතාවෙන් නොතොරව හා සුපරීක්ෂාකාරී ලෙස එය සිනමාත්මකව ප්‍රතිනිර්මාණය කිරීමයි. බිඳවැටෙන වැඩවසම් ක්‍රමය සහ නැගී එන මධ්‍යම පන්තිය අතර වන සම්බන්ධතා සිනමාකරු විසින් අවධාරණය කරනු ලබන්නේ සාමාන්‍යයෙන් අපේ පෙළපොත්වල ඇති ආකාරයට වඩා සංකීර්ණ ලෙස හා සියුම් ලෙසයි. තවත් වැදගත් කරුණක් වන්නේ ගැමි දිවියේ සිදුවන පරිවර්තනය ගම ඇතුළතින් මෙන්ම ගමට පිටතින් ද සිදුවන්නක් බව සිනමා කෘතිය තුළින් තහවුරු කෙරෙන ආකාරයයි. චිත්‍රපට අධ්‍යක්ෂවරයා විසින් කාව්‍යමය වූ යථාර්ථයක් ගොඩනගනු ලබන අතර සිනමා කෘතියෙන් පිළිබිඹු කෙරෙන අත්දැකීම ද සමඟ එය මනා ලෙස බද්ධ වෙයි.

අචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, මහාචාර්ය විමල් දිසානායක හා ඉන්දීය ප්‍රමුඛ සිනමාකරු අදුර් ගෝපාල ක්‍රිෂ්ණන් ලෙස්ටර්-සුමිත්‍රා පදනම බිහිවූදා

ඡායාරූපය - කවින්ද්‍ර පෙරේරා

ගම්පෙරළියේ දී ගොඩනැංවූ සිනමාත්මක කතිකාව ඉතා විශිෂ්ට ලෙස ඉදිරියට ගෙන එනු ලැබෙන්නේ කලියුගයේ දී ය. මෙම චිත්‍රපටය තුළින් විවිධ හැලහැප්පීම්, විතැන් වීම් මෙන්ම සමාජයේ ඉහළ හිනිපෙතට නැග ගැනීමේදී පුද්ගලයන් හමුවේ පැන නගින සංකීර්ණ ගැටලුව ද මනාව පිළිබිඹු කෙරේ. සාම්ප්‍රදායික හර පද්ධතීන් බැහැර කරමින් නගරයට සේන්දු වී බටහිර හර පද්ධතීන් හා නාගරික ජීවන රටාව වැළඳගන්නා පවුලක් මුහුණ දෙන සංකීර්ණ ගැටලු සමුදාය මෙමඟින් නිරූපණය වේ. යුගාන්තය තුළින් ධනවාදී සහ සමාජවාදී බලවේග අතර ඇතිවන ඝට්ටනය හා සමාජය දිනා ගැනීමට දරනු ලබන අරගලය පිළිබඳව කියැවේ. මෙය සරල කියවීමක් ලෙසින් පෙනී යාහැකි වන්නේ නවකතාකරුවා මෙන්ම සිනමාකරුවා ද මීට වඩා සංකීර්ණ වූත්, සියුම් වූත් විවිධ පැතිමානයන් පිළිබිඹු කෙරෙන අත්දැකීමක් භාවිතයට ගෙන ඇති හෙයිනි. මෙම අර්ථ සම්පාදනය උදෙසා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නිවැරදි පොදු වශයෙන් මෙම දෘෂ්ටිමය ආඛ්‍යානයක් මෙන්ම සිත්ගන්නාසුළු රිද්මයක් ද යොදා ගනී.

පොදු වශයෙන් මෙම චිත්‍රපට ත්‍රිත්වය තුළින් පිළිබිඹු වන්නේ සමාජ විඥානය හා සිනමාව මඟින් නිරූපණය වන මිනිසුන්ගේ වෙනස්වනසුළු ආර්ථික හා භාවාත්මක භූමි දර්ශන අතරේ සහසම්බන්ධතාවක් ගොඩනැඟෙන ආකාරයයි. මෙම චිත්‍රපට ත්‍රිත්වය ලාංකීය සිනමාවේ විකාශනයේ දී ඉතා වැදගත් ස්ථානයක් සනිටුහන් කරන්නේ කරුණු 3 ක් හේතුවෙනි. මෙහිදී ප්‍රථම කොටම දැක්විය හැකි වන්නේ ආචාර්ය පීරිස් විසින් මෙම කතා ත්‍රිත්ව තෝරා ගැනීමයි. සංස්කෘතික නව්‍යතාව නම් වූ සංකල්පයය එහි භාවාත්මක ස්වරූපය පිළිබිඹු වන ආකාරයෙන් ගවේෂණය කිරීමට ඔහුට හැකිවීම දෙවැන්නයි. තෙවැන්න වන්නේ මෙම චිත්‍රපට ත්‍රිත්වය මගින් ඉතා විචිත්‍ර ලෙසත් පූර්ණ වශයෙනුත් සමාජ විඥානය ප්‍රතිනිර්මාණය කිරීමට හැකිවීමයි. යථාර්ථවාදී සිනමාව කෙරෙහි ඔහු තුළ වන දැඩි විශ්වාසය ද සමඟින් මානවවාදී ස්වරූපයෙන් ශ්‍රී ලංකාවේ සමාජ විඥානය ග්‍රහණය කර ගැනීමට උත්සාහයක් ද දැරෙයි.

ඔහුගේ යථාර්ථවාදය යනු යමක් ඇති සැටියෙන් දැක්වීම නොවේ. කාව්‍යමය ලෙස එය ප්‍රතිනිර්මාණය කිරීම සහ සිනමාරූපීව යළි අරුත් ගැන්වීමයි. මගේ විනිශ්චයට අනුව ආන්ද්‍රේ බසින් [Bazin 1967] විසින් පළකරන ලද අදහසට අනුව යථාර්ථවාදයෙන් ඔබ්බට යෑමට ආචාර්ය පීරිස් උත්සාහ ගෙන තිබේ. බසින්ට අනුව සිනමාව යනු ස්වභාවික හා සංස්කෘතික සංසිද්ධීන් ස්වාභාවික ලෙස පටිගත කෙරෙන මාධ්‍යයෙකි. කර්තෘත්වයේ බලපෑම පිළිබඳ ඔහු නෙත් යොමු කරන්නේ සැකයෙනි. ආචාර්ය පීරිස් ස්වාභාවිකත්වයේ වැදගත්කම අවබෝධ කරගන්නා අතරම සිනමාත්මක හා සංස්කෘතික සම්ප්‍රදායන් හා යථාර්ථය වෙනස් කිරීමටත් ඒවාට ඉතා පුළුල් අර්ථකථන ඉදිරිපත් කිරීමටත් සිනමාකරුවකු සතු හැකියාව ද අවබෝධ කර ගත්තෙකි.

සුප්‍රකට සිනමා විචාරකයකු වන සීග්ෆීඩ් ක්‍රව්සර් [Siegfried Kracauer – 1960]  ප්‍රකාශ කර ඇත්තේ සිනමාව වූ කලී විශේෂයෙන්ම භෞතික යථාර්ථය අභිබවා යෑම ප්‍රවර්ධනය කළ හැකි මාධ්‍යයක් වන බව ය. ආචාර්ය පීරිස් කරන්නට බලාපොරොත්තු වූයේ ද මෙය ය. ඔහු විසින් ගොඩනගන ලද සිනමා ප්‍රතිරූප ශ්‍රී ලාංකේය ජීවිතයට සමාජයට යථාර්ථවාදී විය යුතු බව ඔහු අපේක්ෂා කළේ ය. එමෙන්ම ඒවා සිනමාත්මකව හැඩතල ගැන්වීමට ද ඔහුට අවශ්‍ය වූවේ ය. විශිෂ්ට නවකතා 3ක් පාදක කර ගනිමින් දේශීය සංස්කෘතිය කෙරෙහි සංවේදී වන අතරේ කාව්‍යමය සිනමා බසකින් ජනතාවගේ සමාජ විඥානය ප්‍රතිනිර්මාණය කිරීමට ආචාර්ය පීරිස්ට හැකිවූයේ මේ අනුව ය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]