මුද්‍රණය සඳහා

 
අතීතයේ සිදුවූ දේවල් වර්තමානයේ මෙන්ම අනාගතයේත් සිදුවෙනවා

අතීතයේ සිදුවූ දේවල් වර්තමානයේ මෙන්ම අනාගතයේත් සිදුවෙනවා

දේවින්ද කෝන්ගහගේ

‘සදිසිතරණය’ දේවින්ද කෝන්ගහගේගේ ප්‍රථම රූපවාහිනී නිර්මාණයයි. මෑත ඉතිහාසයේ අඳුරු පැතිකඩක් නිර්මාණශීලීව ගෙන විමසා බැලෙන එම නිර්මාණය තුළ ප්‍රතිභාපූර්ණ අධ්‍යක්‍ෂවරයෙකුගේ ආගමනය සටහන් කළේ ය. රූපවාහිනී හා සිනමා කර්මාන්තයට නව සම්ප්‍රදායක් හඳුන්වාදෙමින් ඔහු නිර්මාණ දීත්වයක් එකම දර්ශන තලයකදී රූ ගත කිරීමට සූදානම් වෙයි. එම නිර්මාණ දෙක ගැන ඔහු දැක්වූ අදහස් පහත පලවේ.

* නුවර යුගය පසුබිම් කරගත් කතා තේමාවක් වර්තමාන සමාජයට සමීප කිරීම සඳහා ඔබ යොදාගත්තේ කොයි විදිහෙ උපක්‍රමයක්ද?

“භවතරණ” හා “භව සිද්ධාන්ත” නිර්මාණ ද්විත්වයට පසුබිම් වන්නේ 1747 කීර්ති ශ්‍රී රාජසිංහ රජ අවදියේ ලංකාවේ සිදුවූ සමාජ දේශපාලන සංස්කෘතික වටා පිටාව ගැනයි. එතැනින් පසු නිර්මාණාත්මක සිද්ධි දාමයකට මේ කතාව ඈඳෙනවා. ඒ අනුව බැලුවහම එය සත්‍යය හා ප්‍රබන්ධයේ එකතුවක්. නිර්මාණයක් කොහොමත් ගොඩනැඟෙන්නේ ප්‍රබන්ධය මත පදනම්ව තමයි. නමුත් මෙතැනදී මම උත්සාහ කරන්නේ දේශපාලන මානයට වඩා බෞද්ධ දාර්ශනික හරයන් ඉස්මතු කරන්නයි. මේ නිර්මාණ දෙක සඳහාම පදනම් වෙන එක පොදු කාරණාවක් තිබෙනවා.

එය තමයි අතීතයේ සිදුවූ දේවල් වර්තමානයේ මෙන්ම අනාගතයේදීත් සිදුවෙනවා යන්න. අතීත සිදුවීම මම ආගම හා දේශපාලනය සම්බන්ධ කර ගෙනත් වර්තමාන සිද්ධි දාමය ආගම හා මනෝවිද්‍යාව ආශ්‍රය කරගෙනත් කතා කරනවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් වර්තමාන ව්‍යුහය තුළ මම දේශපාලනය වෙනුවට මනෝවිද්‍යාව අදාළ කරගත්තේ ඇයිද කියලා. මම එවැනි පදනමක් තෝරා ගත්තේ යටත් විජිත පසුබිම තුළ ඉරණම්කාරී ගමනකට අපි ප්‍රවේශ වුණේ තණ්හාව හා අත්හැරීම සිදුනොවූයේ ඇයි? කියන එක කතා කරන්න එවැනි පදනමක් වඩාත් උචිත නිසයි.

* ‘සදිසි තරණය” තුළ දේශපාලන ප්‍රවේශයකින් නිර්මාණකරණයට අවතීර්ණවූ ඔබ වර්තමානය වන විට ආගමික මානයක් වෙත ගමන් කිරීමට හේතුව කුමක්ද?

ඕනෑම නිර්මාණකරුවෙක්ගේ මුල් නිර්මාණ කිහිපය තුළ ඔහු ගමන් කරන මාර්ගය තීරණය වෙනවා. ඒ ආකාරයට එක්තරා අවස්ථාවකදී මමත් තීරණයක් ගන්නව. මගේ නිර්මාණවල තාක්‍ෂණය බවට සමාජ විද්‍යාත්මක පැතිකඩකින් ප්‍රවේශවීමක් දක්නට ලැබෙන්නේ ඒ නිසයි. එමඟින් කතාන්දරයක් කියනවට වඩා දේශපාලනය ආර්ථිකය, මානව සබඳතා වැනි පුළුල් පරාසයක් මත සාකච්ඡාවක් ගොඩනැඟීමට හැකියාව ලැබී තිබෙනවා.

* ඔබගේ නිර්මාණ තුළ සිදු වන්නේ රාජ්‍යය හා ආගම අතර සම්බන්ධය සාකච්ඡාවට ලක්කිරීම ද?

දේශපාලන ව්‍යුහය ඇතුළෙ ආගමික පසුබිමක් අශ්‍රය කරගෙන කතා බහක් ගොඩනඟන්න මම මේ නිර්මාණ දෙක තුළ උත්සාහ ගන්නවා. එතැනදී මට 1747 වසර වැදගත් වෙන්නේ ලංකාවේ ඉතිහාසය තුළ බුදු දහම හා දේශපාලනය එකට එක පෑහුණු යුගයක් වීමයි. ඒ වගේම ලංකාව දේශපාලන පරිවර්තනයට මුහුණ දෙන්න පටන් ගත්තේ මේ යුගයේදී. කීර්ති ශ්‍රී රාජසිංහ කියන්නේ ලංකා ඉතිහාසයේ දෙවන නානායක්කාර් රජතුමා. ඔහු රජ වුණේ අවු 16 දීය ඔහුට හැකි වෙනවා. ඔහුගේ කියන පාලන ක්‍රමයක් ගොඩනඟා ගන්න. ඒ සඟම ඔහු සූක්‍ෂම පාලකයෙක් බවටත් පත් වෙනවා. ලන්දේසීන් සමඟ මෙන්ම තායිලන්තය සමඟත් බෞද්ධාගම මුල් කර ගත් සම්බන්ධතා ජාලයක් ගොඩනඟාගන්න කීර්ති ශ්‍රී රාජසිංහ රජුට හැකි වෙනවා. මේ සාකච්ඡාව තුළ මගේ උත්සාහය යොමුවෙන්න් බල සබඳතාවලට වැඩිය බුදු දහමේ එන සරල ඵලයන් ගැන කතා බහක් ගොඩනඟන්නයි.

* විශාල මූල්‍ය ආයෝජනයක් සහිත නිර්මාණ දෙකක් සාර්ථක කර ගැනීමේ අභියෝගයට ඔබ මුහුණ දෙන්නේ කොහොමද?

කලාවට වාණිජ වටිනාකමක් නැහැ කියලා වැරැදි මතයක් අපේ රටේ සමාජගත වෙලා තිබෙනවා. මම ඒකට අභියෝග කරනවා. ඒකට හේතුව කලාවකින් තොරව වාණිජ වටිනාකමක් ගොඩනැඟෙන්න බැරි නිසයි. නිෂ්පාදනයකින් තොරව වෙළඳපළක් හැදෙන්න බැහැ. නිෂ්පාදිතයේ ගරුත්වය අනුව තමයි අලෙවිකරණය කියලා විෂයක් බිහිවෙන්නේ. නමුත් අපේ රටේ වෙන්නේ මේකේ අනිත් පැත්ත. වෙළෙඳපළ දිහා බලාගෙන නිර්මාණ හදනවා. ඒ නිසා අවර ගණයේ නිර්මාණ හැදෙනවා. වෙනත් රටවල නිර්මාණකරුවන් කලාව කලාව හැටියට කරනවා. ඒ වගෙම ඔවුන් එයට වටිනාකමක් වෙළඳපල තුළ ගොඩනඟාගන්නවා.

* වර්තමාන ප්‍රේක්‍ෂකාගාරය තුළ එයට වඩා වෙනස් යමක් කළ හැකිද?

ප්‍රේක්ෂකයා බුද්ධිමත් කියන සරල මතයේ මම නැහැ. අපේ රසිකයා අද වන විට දෙන ඕනෑම දෙයක් බලන්න හුරුවෙලා තිබෙනවා.සමාජය දිහා බැලුවත් තත්ත්වය ඕකම තමයි. ප්‍රවණතාවය ඒක වුණත් වෙනස් යමක් කළහොත් මිනිස්සු ඒ නිර්මාණය කැමැත්තෙන් පිළිගන්නවා.

* ඔබ සිනමා නිර්මාණයක් හා ටෙලි නිර්මාණයක් එකවර රූගත කරනවා. එම ක්‍රමෝපාය තුළ මතුවන ප්‍රායෝගික අභියෝගයන් මොනවාද?

මෙයට පෙර නිර්මාණය කළ ‘සදිසි තරණය’ සඳහා නව ක්‍රමෝපායික අත්හදාබැලීමක් කළා. එය සුමති ටෙලි සම්මාන උළෙලේදී හොඳම ක්‍රමෝපායික අධ්‍යක්‍ෂණය හා ප්‍රාගුණ්‍යය යටතේ අගය කෙරුණා. ඒ ක්‍රමවේදයට හාත්පසින්ම වෙනස් ක්‍රමෝපායක් මේ නිර්මාන දෙක බිහි කරන්න මම භාවිතා කළා. සිනමාවේ රූප භාෂාව හා රූපවාහිනියේ රූප භාෂාව වෙනස්. සිනමාකරුවෙක් වීමට චිත්‍රපටි අධ්‍යක්‍ෂණය කරන්නම ඕන නැහැ. නමුත් ලංකාව ඇතුලේ ප්‍රායෝගිකව අධ්‍යක්‍ෂණ කාර්යයේ නිරතවූ අය පමණයි සිනමාකරුවන් හැටියට හඳුන්වන්නේ. එසේ නොවන අධ්‍යයනයෙන් සිනමාකරුවන් වන විශාල පිරිසක් අපේ රටේ ඉන්නවා. ඔවුන් සිනමාකරුවන්ගේ කුලකයට ඈඳා නොගැනීමත් මොකක් හෝ නිර්මාණයක් කළ පලියට සිනමාකරුවෙක් ලෙස හැඳින්වීමත් ගැටලුවක්. රූපවාහිනියේ හා සිනමාවේ රූපසංරචනය කරන ආකාරය තේරුම් ගත් විට මේ කර්තව්‍යය අපහසු වෙන්නේ නැහැ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]