අලුත්නුවර ඓතිහාසික දැඩිමුණ්ඩ දේවාලය

අලුත්නුවර ඓතිහාසික දැඩිමුණ්ඩ දේවාලය

කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් මාවනැල්ල ඓතිහාසික අලුත්නුවර දැඩිමුණ්ඩ දේවතා බණ්ඩාර මහා දේවාලයේ වසරක් පාසා පැවැත්වෙන ඇසළ පෙරහර සඳහා කප් සිටුවීම පසුගියදා සුබ නැකතින් සිදු කෙරිණි.

මේ පුදබිම පිහිටා ඇත්තේ මහනුවර කොළඹ මහා මාර්ගයේ හිඟුල නගරයෙන් අලුත්නුවර මාර්ගයට හැරී කිලෝමීටර් 05 ක් පමණ ගිය විටය.

සතර කෝරළයට අයත් මෙම දේවාලයේ ඉතිහාසය දඹදෙණි යුගයටත් පෙර දක්වා විහිදී ඇත. මුල් කාලවල අලුත්නුවර දේවාලය ප්‍රකට වී ඇත්තේ උපුල්වන් දේවාලය නිසාය. ලක්දිව අස්සක් මුල්ලක් නෑර අද ප්‍රකට වී ඇත්තේ අලුත්නුවර ඓතිහාසික දැඩිමුණ්ඩ දේවාලයයි.

විදේශීය පාලන සමයේ මෙම උපුල්වන් දේවාලය මහනුවර ශ්‍රී දළදා මාලිගාව අසලට ගෙන ගොස් ඇත. එකල ඇතිවූ දමිළ බලපෑම් නිසා එම දේවාලය මහනුවර මහා විෂ්ණු දේවාලය බවට පත්වී ඇත. අලුත්නුවර උපුල්වන් දේවාලය පිහිටා තිබු තැන අද විශාල මාරගසක් සහ එම දේවාලයේ නටබුන් පමණක් දැක ගත හැක. එකල කුඩාවට පිහිටුවා තිබූ දේවාලය වඩ වඩාත් දිනෙන් දින ජනතාවගේ පුද පූජා වලට පාත්‍ර විය.

 දැඩිමුණ්ඩ දෙවියන්ගේ දේවාභරණ තැන්පත් කර ඇතැයි සැලකෙන ස්ථානය

දැඩිමුණ්ඩ දේවතා බණ්ඩාර දෙවියන්ගේ උපත පිළිබඳව ප්‍රධාන ජනප්‍රවාද දෙකක් වෙති. පූර්ණ නම් යක්ෂ සේනාධිපතියාට දාව එරන්දතී නම් නාග කන්‍යාවකගේ කුසයේ උපන් බව එක් ජනප්‍රවාදයකි. අනෙක් ජනප්‍රවාදය උඩරට බණ්ඩාර කෙනෙකු දේවත්වයට පත්වී දේවතා බණ්ඩාර වශයෙන් ප්‍රකට වී ඇති බවයි.

අලුත්නුවර දේවාලය මහනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයට අනුබද්ධිතව පාලනය වෙයි. එම නිසා අලුත්නුවර දේවාලයේ ප්‍රධාන පාලකයා මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ වන මොහාන් පානබොක්කේ මහතාය.

යක්ෂ ප්‍රේත දෝස වලින් පීඩා ලබන අය මුදා ගැනීමටත්, සොර සතුරු උපද්‍රව වලින් මිදීමටත් රෝග පීඩා ආදිය සුවවීම සඳහාත් දරුඵල නොමැති කාන්තාවන්ට දරු ඵල ලබා ගැනීමටත් දෙවි පිහිට ලබා ගැනීමට ලක්දිව නොයෙකුත් පළාත් වලින් බැතිමතුන් විශාල පිරිස් මෙහි පැමිණෙති.

වසරක් පාසා පැවැත්වෙන අලුත්නුවර පෙරහර වීදි සංචාරය කිරීම පසුගියදා සිදුකෙරිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා