සති අන්තයේ මහා ආවේගය (yellow journalism)

සති අන්තයේ මහා ආවේගය (yellow journalism)

1890 ගණන්වල දී ඇමෙරිකන් පත්තර කලාවට අලුත් ශෛලියක් එක් විය. එය හැඳින්වූයේ “ yellow journalism” හෙවත් ආවේග බහුල පත්තර කලාව ලෙස ය. නැතහොත් භාවා’තිශය පත්තර කලාව ලෙස ය. ස්පාඤ්ඤය හා ඇමෙරිකාව අතර පැවැති යුද තරගයේ ප්‍රවෘත්ති හැඟීම්බර ලෙස ඉදිරිපත් කිරීමෙන් මේ පත්තර කලාව ආරම්භ විය. විශාල ඡායාරූප, දෙපැත්ත කැපෙන සිරස්තල, ආවේගශීලී රචනා ශෛලිය මේ ක්‍රමයේ විශේෂත්වයකි. කොටින් ම ඇත්ත - නැත්ත කිරීමත්, නැත්ත - ඇත්ත කිරීමත් ඉහත පත්තර කලාවෙන් සිදු වේ. මේ ක්‍රමය දැන් ශ්‍රී ලංකාවටත් බෝ වී තිබේ.

ආණ්ඩුවට පහර දීම සඳහා ද රාජපක්ෂ පවුල අපහසුවට පත් කිරීම සඳහා ද සති අන්ත පත්තර කිහිපයක් හා වෙබ් අඩවි ගණනාවක් භාවා’තිශය පත්තර කලාව යොදා ගනී. ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිවලට වෙන ම පහරදීගෙන යයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉතා සූක්ෂ්ම ලෙස විවේචනය කරයි. ‘රාජ්‍ය රහස්’ යැයි අමූලික බොරු ලියන තීරු ලිපි පවා තිබේ. යුද්ධය ගැන අසත්‍ය තොරතුරු ඇතුළත් ලිපි මෙන් ම අතාර්කික විවේචන ද එම පත්තරවල පළ වේ. අවසන් විග්‍රහයේ දී මේ සියලු චෝදනා එල්ල වනුයේ; ආණ්ඩුවට, ජනාධිපතිවරයාට හා රාජපක්ෂ පවුලට ය.

ත්‍රස්තවාදය පරාජය කළ මුල් කාලය තුළ මේ විවේචකයෝ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළහ. දෙවනුව ඔවුන්ගේ අවධානය යොමු වූයේ සරණාගත ප්‍රශ්නය කෙරෙහි ය. අවතැන් වූ පිරිස් රැඳී සිටි කඳවුරුවල අඩුපාඩු ලියන්නට පටන් ගත් ඔව්හු ඊළඟ පියවර ලෙස මානුෂික මෙහෙයුමෙහි මානව හිමිකම් සොයන්නට පටන් ගත්හ. ඔවුන්ගේ ඊ ළඟ පියවර වූයේ දිගට - හරහට ආණ්ඩුව විවේචනය කිරීම ය. රාජපක්ෂලාට පහරදීම ය. ගිය සති අන්තයේ එක්තරා ඉංගී‍්‍රසි පුවත්පතක කතුවැකිය මෙන් ම එම පිටුවේ ප්‍රධාන ලිපිය ද යොදාගෙන තිබුණේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පහරදීම සඳහා ය.

යුක්ති සහගත හා සාධාරණ විවේචනයක් භාර ගත හැකි ය. එහෙත් අසත්‍ය හා මායාකාරී සිදුවීම්, දත්ත, තොරතුරු ඉදිරිපත් කරමින් සිදු කරන නිර්දය විවේචන පිළිගත නො හැකි ය. ඒවායෙහි එක ම අර්ථය ජනතාව නොමඟ යැවීම හා ඔවුන් කුලප්පු කිරීම ය. මේ පුවත්පත් විසින් ඇතැම් සිදුවීම් අතිශයෝක්තියෙන් වර්ණනා කරනු ලැබේ. ඇත්ත යට ගසා නැත්ත මතු කරනු ලැබේ. ඊට අදාළ සිරස්තල පවා භාවිත කරනුයේ ආණ්ඩුවත්, රාජපක්ෂ පවුලත් අපහසුවට පත්කරන අයුරින් ය. මේ භාවා’තිශය ලියැවිල්ලේ නියම ප්‍රතිලාභ ලබනුයේ රටින් බැහැර ව ක්‍රියාත්මක වන කොටි හිතවාදී දෙමළ ඩයස් පෝරාව ය.

අප මුලින් කී ලිපියෙන් ද එම පුවත්පතෙහි ම කතුවැකියෙන් ද මානුෂික මෙහෙයුම දැඩි දෝෂ දර්ශනයට ලක් කරයි. එම මෙහෙයුමෙහි අවසන් භාගයේ දී සිවිල් වැසියන් ඝාතනය වූ බවක් ද ඔව්හු පෙන්වා දෙති. එහි ම රාජපක්ෂවරුන් බොරු කියන බවක් හැඟවීමට ද ඔව්හු උත්සාහ දරති. මුලින් කී ලිපියේ කරුණු දැක්වීමට පාදක කරගෙන තිබුණේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් හා ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මානුෂික මෙහෙයුම පිළිබඳ අවසන් වාර්තාව යි. වාර්තාවේ ඇතැම් කොටස් තමන්ට වාසි සහගත සේ උපුටා දක්වයි. ඊළඟට එය ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සමඟ සසඳයි.

ගෝඨාභය රාජපක්ෂ යනු මේ රටට අවශ්‍ය වටිනා මිනිසෙකි. ඔහු නොසිටියේ නම්; ත්‍රස්තවාදය පරාජය කිරීම මෙතරම් කාර්යක්ෂම නො වනු ඇත. ඔහු ජනාධිපතිවරයාගේ විශ්වාසය දිනා ගනිමින් මානුෂික මෙහෙයුමට අවශ්‍ය සියලු දෑ කළමනාකරණය කළේ ය. ඊට පුළුල් දැක්මක් එක් කළේ ය. එක් වරක් ඔහු කියා සිටියේ යුද්ධයක දී වඩාත් වැදගත් වන්නේ අවි - ආයුධ නො ව එම ආයුධ පිටුපසින් සිටින මිනිසා බව ය. ත්‍රස්තවාදය පරාජය කිරීමේ දී සෙබළුන්ගේ ඇති වටිනාකම හා ඔවුන්ගේ මානසිකත්වය තේරුම්ගෙන කටයුතු කළ දූරදර්ශී ආරක්ෂක ලේකම්වරයකු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට විශාල පිළිගැනීමක් තිබේ. ඔහුගේ දීර්ඝකාලීන හමුදා අත්දැකීම් හා ඥානය ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පරාජය කිරීමට අතිශයින් ම වැදගත් වූ බව අවිවාදිත කාරණයෙකි.

මෙබඳු ගෞරවණීය මනුෂ්‍යයකු නිර්දය ලෙස විවේචනය කිරීමේ පදනම කුමක් ද? ත්‍රස්තවාදය පරාජය කිරීම ගර්හාවට ලක් කිරීම යි. තව අතෙකින් අන්තර්ජාතික මානව හිමිකම් සංවිධානවල විවේචන අනුමත කිරීමයි. කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ අනාගත සැලැසුම්වලට සහාය පළ කිරීමයි. කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා වේදනාවට පත් කණ්ඩායම් කිහිපයක් තිබේ. රාජ්‍ය නොවන සංවිධාන, මානව හිමිකම් සංවිධාන, දෙමළ ඩයස්පෝරාව, ඇතැම් මාධ්‍ය සංවිධාන හා බෙදුම්වාදයට සහාය පළ කරන බටහිර කණ්ඩායම්ද ඒ අතර ප්‍රධාන වෙති. ඒ හැරෙන්නට මේ කණ්ඩායම් එකිනෙකා මත පෝෂණය වෙති.

ගෝඨාභය රාජපක්ෂ මහතා විවේචනය කරන්නේ ජනාධිපතිවරයාට සූක්ෂ්ම ප්‍රහාර එල්ල කරන්නේ ද ආණ්ඩුවේ ණය ගැන කතා කරන්නේ ද රටට හෝ ජනතාවට ආදරයකින් නොවේ. මේ විවේචකයන්ගේ එක ම ඉලක්කය වත්මන් ආණ්ඩුව පෙරළා දමා නැවත බෙදුම්වාදය පෝෂණය කිරීම ය. ඔවුන්ගේ සාක්කුවලට ඩොලර් වැටෙන ක්‍රමයක් ඉන් පසු නිර්මාණය වනු ඇත. ඩොලර් මල්ලක් උදෙසා රටත් - ජාතියත් උගසට තබන මිනිසුන් අතට මේ රටේ අනාගතය භාර දෙන්නේ ද බුද්ධිමත් ජනතාව ඉදිරියේ එම ප්‍රශ්නය තිබේ. කිසියම් දිනෙක බුද්ධිමත් ජනතාව විසින් ම ඉහත කී භාවා’තිශය පත්තර කලාව අභියෝගයට ලක් කරනු ලැබේ. ඇමෙරිකාවේ දී එය සිදුවිය. එංගලන්තයේ ද එය සිදු විය. ශ්‍රී ලංකාවේ ද එය සිදු වනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා