මතුගම කප්පම් සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්

මතුගම කප්පම් සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්

ඇප ඉල්ලුම ප්‍රතික්ෂේපයි

මතුගම රුපියල් ලක්ෂ පහක කප්පම් සිද්ධියේ සැකකාරිය හා සැකකරුවන් තිදෙනා මතුගම මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු දමින්ද රාමනායක වැලිගොඩපිටිය මහතා වෙත ඉදිරිපත් කළ පසු අගෝස්තු 18 දක්වා යළි රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය.

මෙම කප්පම් සිද්ධියේ පාසල් ශිෂ්‍යයා සැකකරුවන් තිදෙනාම අධිකරණයේ පැවැති පෙරට්ටුවේදී හඳුනා ගත්තේය.

සිද්ධියට අදාළ මිගහතැන්නේ පදිංචි කාන්තාව තම දරුවා කැටුව ඒමට මතුගමට ගිය අවස්ථාවේ පන්තිය අවසන්ව නිවෙස බලා එමින් සිටියදී ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් පැහැර ගෙන ගොස් මහියංගනය ප්‍රදේශයේ ලැගුම්හලක සිරකර ගෙන නිදහස් කිරීමට රුපියල් ලක්ෂ පහක මුදලක් ඉල්ලන බව ඇගේ සැමියාට දුරකතනයෙන් දිගින් දිගටම දැනුම් දුන්නේය.

ඇගේ සැමියා කළ පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වූ පොලිසිය මහියංගනයට ගොස් කළ පරීක්ෂණ වලින් පසු කාන්තාව අත්අඩංගුවට ගත්තේය. අනියම් සැමියාගේ මුදල් අවශ්‍යතා ඉටු කිරීමට තම සැමියාගෙන් මුදල් ලබා ගැනීමට කරන ලද සැලසුමක් බව පොලිසිය අනාවරණය කර ගත්තේය.

මතුගම මහේස්ත්‍රාත්වරයාගේ උපදෙස් පරිදි වැඩබලන මහේස්ත්‍රාත් ඩේවිඩ් ජයසිංහ මහතා විසින් හඳුනා ගැනීමේ පෙරෙට්ටුව ගත්තේය. එහිදී බුද්ධි දක්ෂිණ සිසුවා විසින් සැකකරුවන් තිදෙනාම හඳුනා ගත්තේය.

නීතිඥ පුෂ්පකුමාර අමුගොඩ මහතා සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේය.

උප පොලිස් පරීක්ෂක එස්. සෙනෙවිරත්න මහතා කියා සිටියේ නඩුවේ විමර්ශන කටයුතු අවසන් නැති බවත් සාක්කි සටහන් කර ගැනීමට තිබෙන බවත්ය. මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

නීතිඥ පුෂ්පකුමාර අමුගොඩ හා තිස්ස විජේසිංහ යන මහත්වරු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා