මුද්‍රණය සඳහා

 
ජොන්සන් හා වොට්සන් ඔස්ට්‍රේලියාවට ජය ගෙන දෙති

ජොන්සන් හා වොට්සන් ඔස්ට්‍රේලියාවට ජය ගෙන දෙති

මිචෙල් ජොන්සන්ගේ විශිෂ්ට වේග පන්දු යැවීම හා ෂේන් වොට්සන්ගේ ප්‍රහාරාත්මක පිතිහරඹයත් මත, ශ්‍රී ලංකාවට එරෙහිව පළමු ජාත්‍යන්තර එක්දින තරගයේ කඩුලු 7ක ජයක් අත්කර ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු පිල ඊයේ පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සමත් විය.

ලකුණු 192ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියාව තරගයේ තවත් ඕවර 11යි පන්දු 5ක් ඉතිරිව තිබියදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 192ක් රැස්කරගෙන ජය වාර්තා කළේය. ෂේන් වොට්සන් හා බ්‍රැඩ් හැඩින් ඔස්ට්‍රේලියානු ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 59ක් රැස් කළහ.

මේ දෙදෙනාගෙන් හැඩින් මුලින් ම දැවී ගියේ අජන්ත මෙන්ඩිස්ගේ පන්දුවක් කෙළින් ම කඩුල්ලේ වැදීමෙනි. ඔහුට ලබා ගත හැකිවූයේ ලකුණු 12ක් පමණි.

වොට්සන් ඊයේ ක්‍රීඩා කළේද ඉතාමත් ආක්‍රමණශීලීවය. හතරේ පහර 5ක් හා හයේ පහර 6ක් එල්ල කළ ඔහු පන්දු 51කින් ලකුණු 69ක් රැස් කළේය. 12 වැනි ඕවරයේ ප්‍රථම වතාවට පන්දු යැවීමට පැමිණි සුරාජ් රන්දීව්ගේ දඟ පන්දුවලට පිට පිට හයේ පහර 2ක් එල්ල කළ වොට්සන් ඒ ඕවරයේදීම දැවී ගියේය. රන්දීව්ගේ 6 වැනි පන්දුවට ‘ස්වීප්’ පහරක් එල්ල කිරීමට තැත් කිරීමේදී පිත්තේ ඉහළ නැගි පන්දුව මහේල ජයවර්ධන ‘ෂෝට් ෆයින් ලෙග්’ හි සිට පිටුපසට දිව යමින් රැක ගත්තේය. වොට්සන් ලකුණු 46ක් ලබා ගෙන සිටියදී දැවී යාමෙන් බේරිණි. මෙන්ඩිස්ගේ පන්දුවකට ඔහු දුන් උඩ පන්දුව ‘බැක්වර්ඩ් පොයින්ට්’හි දී සුරංග ලක්මාල් අත හැරියේය.

මුළු ලකුණු 81දී වොට්සන් දැවි යාමෙන් පසුව පිටියේ එක්වූ පළපුරුදු පිතිකරු රිකී පොන්ටිං හිටපු නායකයා සහ වර්තමාන නායක මයිකල් ක්ලාක් ඉනිම ගොඩනගන්නට වූ අතර ඕවර 25 අවසානයේ ඔස්ට්‍රේලියාව කඩුලු 2ක් දැවි ලකුණු 136ක් ලබා ගෙන සිටියේය.

ඕවර 23ක් පන්දුවට මුහුණ දුන් පොන්ටිං හා ක්ලාක් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 101ක සබඳතාවක් පිහිටවූහ. 35 වැනි ඕවරයේ රන්දීව් එවූ අවසාන පන්දුවට ‘ස්වීප්’ පහරක් එල්ල කිරීමට පොන්ටිං ගත් අසාර්ථක උත්සාහයේදී ඔහුගේ පා ආවරණයේ වැදුනු පන්දුව කඩුල්ලේ ගැටීමෙන් පොන්ටිං දැවී යන විට ලකුණු 53ක් ලබා ගෙන සිටියේය. පන්දු 71කට මුහුණ දුන් හිටපු ඔස්ට්‍රේලියානු නායකයා හතරේ පහර 5ක් එල්ල කළේය.

මයිකල් ක්ලාක් පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහරක් සමග නොදැවී ලකුණු 53ක් රැස් කළේය. මයිකල් හසී නොදැවී ලකුණු 2යි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී සුරාජ් රන්දීව් ලකුණු 44කට කඩුලු 2ක්ද, අජන්ත මෙන්ඩිස් ලකුණු 32කට එක් කඩුල්ලක්ද ලබා ගත්හ.

කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඕවර 5 අවසන් වන විට ඕවරයකට ලකුණු 6කට වැඩි වේගයක් රඳවා ගෙන කිසිවෙකු නොදැවී ලකුණු 32ක් රැස්කර ගෙන සිටියේය.

ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල බිඳ වැටුණේ මුළු ලකුණු 54දී තරගයේ 10 වැනි ඕවරයේදීය. වමතින් පා දඟ පන්දු යවන සේවියර් ඩොහර්ටිගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් උපුල් තරංග දැවී ගියේය. තෙමසක තරග තහනමකින් පසුව ඊයේ යළි ජාත්‍යන්තර තරග බිමට පිවිසි තරංග පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමග ලකුණු 34ක් ලබා ගත්තේය.

ඩිල්ෂාන් ඊළඟට දැවී ගියේය. 13 වැනි ඕවරයේදී ඔහු දැවී ගියේ ඩේවිඩ් හසීගේ පන්දුවකට ‘මිඩ් ඕෆ්’හි පන්දු රකිමින් සිටි ඩග් බොලින්ගර් වෙතට කෙළින් ම උඩ පන්දුවක් ලබා දෙමිණි. හතරේ පහර 4ක් එල්ල කළ ඩිල්ෂාන් පන්දු 41කින් ලකුණු 29ක් රැස් කළේය. ඩිල්ෂාන් ඊයේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ලකුණු 5500ක් සම්පූර්ණ කළේය.

හිටපු නායකයින් වන මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර ඊයේ පන්දුවට පහර දීමේදී අසාර්ථක වූහ. මේ කඩුලු දෙක ම ලබා ගත්තේ මිචල් ජොන්සන් ය. ජයවර්ධන(3)ගේ පිත්තේ අග දැවටී පිටුපසට ගිය උඩ පන්දුව කඩුලු රකින බ්‍රැඩ් හැඩින් අල්ලා ගත්තේ පන්දුව බිම ගෑවීමට ඔන්න මෙන්න කියා තිබියදීය. එය මේ තරගයේ ජොන්සන්ගේ පළමු ඕවරය විය. පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමග ලකුණු 16ක් ලබා ගත් සංගක්කාර ‘ෂෝට් එක්ස්ට්‍රා කවර්’හි ස්ටීවන් ස්මිත් අතට උඩ පන්දුවක් දෙමින් 17 වැනි ඕවරයේදී දැවී ගියේය.

අංක 5 පිතිකරු දිනේෂ් චන්දිමාල් ට ලබා ගත හැකිවූයේ ලකුණු 12ක් පමණි. පන්දු 13කට පමණක් මුහුණ දුන් ඔහු දැවී ගියේ නායක මයිකල් ක්ලාක්ගේ විශිෂ්ට උඩ පන්දු රැක ගැනීමකිණි. චන්දිමාල්ගේ පිත්තේ අග වැදී ආ පන්දුව ‘වයිඩ් ස්ලිප්’හි පන්දු රකිමින් සිටි ක්ලාක් ඔහුගේ වම් පැත්තට ‘ඉගිල්ලෙමින්’ තනි අතින් අල්ලා ගත්තේය. පන්දු යවන්නා වූයේ ඩග් බොලින්ගර් ය.

ජීවන් මෙන්ඩිස් ලකුණු 2කටත්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 15කටත් දැවී ගිය අතර මේ කඩුලු ද්විත්වය ලබා ගත්තේද ජොන්සන් ය.

ඔහුගේ ‘යෝකර්’ පන්දුවක් කෙළින් ම කඩුල්ලේ වැදීමෙන් මෙන්ඩිස් දැවී ගිය අතර මැතිව්ස් ‘මිඩ් ඕෆ්’හි ෂේන් වොට්සන් අතට පහසු උඩ පන්දුවක් ;දමින් දැවී ගියේය.

පන්දු 18කට මුහුණ දුන් මැතිව්ස් හතරේ පහර 3ක් සමග ලකුණු 15ක් ලබා ගත්තේය. මේ අනුව ශ්‍රී ලංකා ඉනිමේ පළමු ඕවර 25 අවසන් වන විට කඩුලු 7ක් මුළු ලකුණු 120කට බිඳ වැටී තිබිණි.

තමන්ට පෙර අපරික්ෂාකාරීව ක්‍රීඩා කිරීම නිසා දැවී ගිය ක්‍රීඩකයන්ට කදිම පාඩමක් කියා දෙන ගමන් ම ශ්‍රී ලංකා ඉනිම ‘අගාධයෙන්’ ගොඩගත්තේ සුරාජ් රන්දීව් හා නුවන් කුලසේකර ය. ඕවර 15.1ක් පුරා තම කඩුලු ආරක්ෂා කර ගත් මේ දෙදෙන 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 60ක වටිනා සබඳතාවක් ගොඩනැගීමට සමත් වූහ.

39 වැනි ඕවරයේදී මේ සබඳතාව බිඳ දැමුවේද ජොන්සන් ය. ඔහුගේ පන්දුවකට රන්දීව් ‘ලෝන්ග් ඕෆ්’හි පන්දු රකිමින් සිටි ඩොහර්ට් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 41කට දැවී ගියේය. පන්දු 50කට මුහුණ දුන් රන්දීව් හතරේ පහර 4ක් සමග ලකුණු 41ක් රැස් කළේය.

අජන්ත මෙන්ඩිස් (0) ජොන්සන්ගේ 6 වැනි කඩුල්ල විය. ජොන්සන් ඊයේ ලකුණු 31කට කඩුලු 6ක් ලබා ගත් අතර එය ඔහුගේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම විය.

නුවන් කුලසේකර හතරේ පහර 2ක් හයේ පහර 2ක් එල්ල කරමින් පන්දු 57කින් අගනා ලකුණු 34ක් ශ්‍රී ලංකා ඉනිමට එක් කළේය.

බ්‍රෙට් ලී ගේ පන්දුවකට ඔහු දුන් උඩ පන්දුව ‘ඩීප් මිඩ් විකට්’ හි දී මයිකල් හසී විසින් දර්ශනීය අයුරින් රැක ගැනීමත් සමග ඕවර 41.1කදී ලකුණු 191කට ශ්‍රී ලංකා ඉනිම කෙළවර විය. කුලසේකරගේ කඩුල්ල බ්‍රෙට් ලී ගේ 350 වැනි ජාත්‍යන්තර එක්දින කඩුල්ල විය.

ලසිත් මාලිංග ඊයේ තරගය සඳහා විවේක ගන්වා තිබිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති උපාලි ධර්මදාස මහතාගේ පියා ඊයේ අභාවප්‍රාප්ත වූ බැවින් එයට ශෝකය පල කිරීමක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කළු පටි පැළඳ ක්‍රීඩා කළහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]