මුද්‍රණය සඳහා

 
ගජබා සුපර්ක්‍රොස් 28 දා අනුරාධපුරයේදී

ගජබා සුපර්ක්‍රොස් 28 දා අනුරාධපුරයේදී

ශ්‍රී ලංකා යුද හමුදා ගජබා රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ සංගමය එක්ව සංවිධානය කරනු ලබන “ගජබා සුපර්ක්‍රොස් 2011” මෝටර් රථ සහ යතුරු පැදි ධාවන තරගාවලිය 10 වැනි වරටත් අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන සුපර්ක්‍රොස් ධාවන පථයේදී මේ මස 28 වැනිදා පැවැත්වේ.

ෆොක්ස්හිල් ධාවන තරගාවලිය හැරුණු විට යුද හමුදාව විසින් සංවිධානය කරනු ලබන පැරැණිතම මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගාවලිය වන ගජබා සුපර්ක්‍රොස් තරගාවලිය ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරු පැදි ධායකයන්ගේ සංගමයේ වාර්ෂික සූරතාවලියේ 6 වැනි තරග ඉසව්වද වේ.

අවුරුදැ 10, 13 හා 16 න් පහළ වයස් කාණ්ඩයන්හි තරගකරුවන් සඳහා වෙන්වූ ධාවන ඉසව් 4 ක්ද ඇතුළුව මෝටර් රථ තරග ඉසව් 13 කින් සහ යතුරු පැදි තරග ඉසව් 13 කින් සමන්විත මෙවර ගජබා සුපර් ක්‍රොස් තරගාවලියට දේශීය විදේශීය තරග කරුවෝ 200 කට ආසන්න සංඛ්‍යාවක් තරග වදිති.

තරගාවලියෙන් ලැබෙන සියලු ආදායම් යුද්ධයේදී දිවි පිදූ හා ඇතුරුදන් වූ ගජබා රෙජිමේන්තු රණවිරුවන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ මෙන්ම ආබාධිත රණවිරුන්ගේ සුභසාධන කටයුතු සඳහාත්, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ යටිතල පහසුකම් නංවාලීම සඳහාත් වෙන් කෙරේ.

“ගජබා සුපර් ක්‍රොස් 2011” තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය එස්. ජී. පුත්‍රයෝ පුද්ගලික සමාගම විසින් දරුනු ලබන අතර සියැට් ආයතනය විශේෂ අනුග්‍රාහකයකු ලෙස කටයුතු කරයි.

ගජබා රෙජිමේන්තුවේ වත්මන් අධිපති හා ආරක්ෂක සේනා ආඥාපති (වන්නි) මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතාගේ උපදෙස් පරිදි සංවිධානය කෙරෙන මෙවර තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හා අනුග්‍රාහකත්ව පිරිනැමීමේ හමුව පසුගියදා කොළඹ 7 ඔලිම්පික් නිවසේ දී පැවැත්විණි.

ඒ අවස්ථාවට මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා, මේජර් ජෙනරාල් චාගී ගාල්ලගේ, ශ්‍රි ලංකා මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ සංගමයේ සභාපති යෝගා පෙරේරා, ගජබා රෙජිමේන්තු සේනා විධායක කර්නල් එන්. ආර්. ලමාහේවගේ, එස්’. ජී. පුත්‍රයෝ ආයතනයේ සභාපති එම්. සිවරාජා සහ සියැට් ආයතනයේ රවී ඩැඩ්ලාන් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාභි වූහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]