මුද්‍රණය සඳහා

 
අපි ඔබට හිස නමා ආචාර කරමු

අපි ඔබට හිස නමා ආචාර කරමු

හිටපු විදේශ අමාත්‍ය ලක්‍ෂ්මන් කදිර්ගාමර් මහතා එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කර අගෝස්තු 12 වැනිදාට (අදට) වසර 6 කි.

ලක්මව ලොවට දායාද කළ ලක්‍ෂ්මන් කදිර්ගාමර් නම් සුජාත පුත්‍රයා ෆැසිස්ට්වාදී එල්. ටී. ටී. ඊ. ම්ලේච්ඡයන් විසින් ඝාතනය කර වසර 6 කි. 2005 අගෝස්තු 12 වැනිදා උදා නොවිය යුතුව තිබූ ඒ කාලකණ්ණි රාත්‍රියේදී කදිර්ගාමර් අමාත්‍යවරයා ගේ නිවසට යාබද නිවසේ සැඟවී සිටිමින් ත්‍රස්තවාදීන් එල්ල කළ වෙඩි පහරින් ඒ කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයා නිහඬ කෙරිණි.

ලක්‍ෂ්මන් කදිර්ගාමර් යනු බුද්ධිමතෙකි, බොහෝ කාරණා සම්බන්ධයෙන් නිවැරැදි දැක්මක් තිබූ විරල මිනිසෙකි, පරමාදර්ශී දේශපාලනඥයෙකි. ඒ සියල්ලට අමතරව උපන් බිමට අසීමිතව ආදරය කළ සැබෑ ශ්‍රී ලාංකිකයෙකි. ඔක්ස්ෆර්ඩ් බුද්ධිමතකු වුව ද ඔහු සෑම විට ම අවධාරණය කළේ, “මම නියම ශ්‍රී ලාංකික නිෂ්පාදනයක්” යනුවෙනි. වසර 73 ක ජීවිත කාලයෙන් ඔහු ක්‍රියාකාරී දේශපාලනයේ නියැළුණේ දසකයක තරම් කාලයකි. සාපේක්‍ෂව බලන විට කෙටි, එම කාලසීමාව තුළ ඔහු ගේ දේශපාලන ජීවිතය අදට සහ මතුවට ද ඕනෑ ම දේශපාලනඥයකුට ගැඹුරු ආදර්ශයකි. 1994 දී පොදුජන එක්සත් පෙරමුණු රජය බලයට පත් වීමෙන් පසු කදිර්ගාමර් මහතා දෙවතාවක් ම විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ධූරය දැරී ය. විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස ද කටයුතු කළේ ය.

විශේෂයෙන් අප වැනි රටක විදේශ අමාත්‍යවරයකුට තිබිය යුතු මනා පෞරුෂය ඔහුට ඉහළින් ම තිබිණි. ඔහු චතුර කථිකයෙකි. ත්‍රිත්ව විද්‍යාලයෙන් ඇරැඹී ඔක්ස්ෆර්ඩ් සංගමයෙන් ඔප මට්ටම් වූ එම කථිකත්වය ඕනෑ ම කාරණයක් නිරවුල්ව ගෙනහැර පෑමට මෙන් ම ඕනෑ ම අයකු ආකර්ෂණය කිරීමට ද සමත් විය. එමෙන් ම ව්‍යක්ත ලෙස ඉංගී‍්‍රසි භාෂාව හැසිරවීමේ හැකියාව ද ඔහුට තිබිණි. එක්සත් ජාතීන් ගේ වේදිකාවේ වේවා, විදේශ මාධ්‍ය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවල දී වේවා මේ කාරණා මැනවින් ප්‍රකට විය.

විදේශ අමාත්‍යවරයා ලෙස ඔහු හමුවේ තිබූ විසල් අභියෝගය වූයේ එල්. ටී. ටී. ඊ. ප්‍රචාරක ජාලය විසින් විකෘති කර තිබූ ශ්‍රී ලංකාව පිළිබඳ සැබෑ චිත්‍රය ලෝකය ඉදිරිපිට යළි ස්වභාවික ලෙස වර්ණ ගැන්වීමයි. එකී අභියෝගය හැකිතාක් ජය ගැනීමට ඔහුට හැකි විණි. ඔහු සැම විට අවධාරණය කළේ ත්‍රස්තවාදය යනු ත්‍රස්තවාදයම බවයි. ඊට වෙනත් අර්ථකථන නැති බව ඔහු සාධක සහිතව පෙන්වා දුන්නේය.

එල්. ටී. ටී. ඊ. යේ ම්ලේච්ඡත්වය පිළිබඳ ලෝකයට කියාපෑමේ දී තමා ගේ ජීවිතයට ඇති අනතුර දැක ඔහු මඳකුදු නොපැකිළිණ. යුරෝපා සංගමයත් ඇතුළුව රටවල් ගණනාවක එල්. ටී. ටී. ඊ. ය තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කෙරුණේ කදිර්ගාමර් අමාත්‍යවරයා ගේ අප්‍රමාණ ධෛර්යය හේතුවෙනි.

බෙදුම්වාදී වුවමනාවන් ඉටු කර දීම උදෙසා බෙදුම්වාදීන් හා ඊට කත් ඇදි දෙස් - විදෙස් බලවේග විසින් වියන ලද ව්‍යාජ සාම දැලෙහි කදිර්ගාමර් අමාත්‍යවරයා කිසි විටෙක පැටළුණේ නැත. තිරසාර සාමය උදාකර ගැනීම පිළිබඳ යථාර්ථවාදී දැක්මක් ඔහුට තිබිණි. මේ නිසා ම පහසුකම් සපයන්නා ගේ භූමිකාවට මුවා වී “සාම ක්‍රියාදාමය” යනුවෙන් හඳුන්වා ගත් ක්‍රියාවලියට රිංඟා ගත් නෝර්වේ හැසිරීම ඔහු ගේ බරපතළ විවේචනයට ලක් විය.

ත්‍රස්තවාදයට එරෙහි වීම නිසා ත්‍රස්තවාදය විසින් බිලිගත් මේ විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයා එදා දැරූ ස්ථාවරය ඔහු ගේ අභාවයෙන් සය වසරකට පසු තම රට තුළ ම බෝම්බ පිපිරෙන විටවත් නෝර්වේ බලධාරීන්ට අවබෝධ වේදැයි අපි නොදනිමු.

ලෝක ත්‍රස්තවාදය පරාජය කිරීම පිළිබඳ අරගලයේ දී ඔහු දැක් වූ දායකත්වය, ඔහු පෙන් වූ රණකාමීත්වය ත්‍රස්තවාදය සැබෑ ලෙස පිටු දකින ලෝක ජාතීන් විසින් සදා සමරනු ඇත. ඝාතනය වීමට මාසයකට පමණ පෙර ඔහු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අවසන් පනත ද ත්‍රස්තවාදයට එරෙහිව ම විය. එය ත්‍රස්තවාදී ක්‍රියා සඳහා මූල්‍යාධාර එකතු කිරීම වැළැක්වීමේ පනතයි. මේ පනත ගෙන ආ අවස්ථාවේ දී එදා එල්. ටී. ටී. ඊ. යේ දේශපාලන හඬ ලෙස පෙනී සිටි දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු කදිර්ගාමර් අමාත්‍යවරයාට එල්ල කළේ ද්‍රෝහී චෝදනාවයි. එය එල්. ටී. ටී. ඊ. යේ චෝදනාවට මිස අනෙකක් නොවේ. එල්. ටී. ටී. ඊ. යට ද්‍රෝහියකු වූ, වාර්ගිකත්වයේ පටු සීමාවක් ඉක්මවා ගිය මේ විරල මිනිසා කිසි විටෙකත් මවුබිමට ද්‍රෝහියකු වූයේ නැත. වාර්ගිකත්වයේ සීමා පමණක් නොව පටු ආගම්වාදී සීමාවන් ද ඔහු ඉක්මවීය. වෙසක් පොහෝ දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත්වූයේ උපතින් බොදුණුවකු නොවූ මේ ශ්‍රේෂ්ඨ මිනිසා එක්සත් ජාතීන් ගේ සංවිධානයට ඉදිරිපත් කළ යෝජනාවක් හේතුවෙනි.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් හා ලංකා විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් උසස් අධ්‍යාපනය සම්පූර්ණ කළ ලක්‍ෂ්මන් කදිර්ගාමර් මහතා බුද්ධිමය දේපළ නීතිය පිළිබඳ පුළුල් දැනුමක් තිබූ බුද්ධිමතෙකි. රාජ්‍ය තාන්ත්‍රික කටයුතු - ජාත්‍යන්තර සම්බන්ධතා වැනි ක්ෂේත්‍රයන්හි ද ඔහු ප්‍රවීණයකු විය. එමෙන් ම, ඔහු දක්‍ෂ ක්‍රීඩකයකු ලෙස ද ප්‍රකට ය. ඝාතනය වීමට මාස කිහිපයකට පෙර සිය කීර්තිමත් ආදි සිසුවාට සහ හිටපු සභාපතිවරයාට ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමය උපහාර දැක්වූයේ ඔහු ගේ අලේඛ්‍ය ඡායාරූපයක් එහි නිරාවරණය කරමිනි. පසුකාලීනව ඔක්ස්ෆර්ඩ් සංගමය ක්‍රියාකරමින් ඇති ආකාරය දකින විට අපට ඔහු වැනි විශිෂ්ටයන් නැති අඩුව හොඳින් ම දැනේ.

හිටපු විදේශ අමාත්‍ය ලක්‍ෂ්මන් කදිර්ගාමර් මහතා ගේ සය වැනි ගුණානුස්මරණය සිදුකෙරෙන විට ඔහු ඝාතනය කළ එල්. ටී. ටී. ඊ. යේ ම්ලේච්ඡත්වය ද මේ රටින් අතුගා දමා අවසන් ය.

ඔහුට උපහාර දක්වන අපි, යළි කිසි දිනෙක ත්‍රස්තවාදයට හිස එසවීමට ඉඩ නොදෙන බවට අධිෂ්ඨානශීලීව ප්‍රතිඥා දිය යුතු වෙමු. රටින් පිටත සිට හෝ බෙදුම්වාදී වුමනාවන් ඉටුකර ගැනීමට වෙර දරන එල්. ටී. ටී. ඊ. අවතාරවලට කිසිදු ඉඩක් නොතබන බවට සපථ කළ යුතු වෙමු. ඒ සමඟ ම, බෙදුම්වාදී ත්‍රස්තවාදයට සැම විට එරෙහි වෙමින් ගෞරවාන්විත සාමයක් ප්‍රාර්ථනා කළ ඒ විශිෂ්ට මිනිසාට කරන උත්තම උපහාරය ලෙස සිංහල - දෙමළ - මුස්ලිම් ආදී සියලු ජනයා ගේ අභිමානය රැකෙන සමාජ හා දේශපාලන ක්‍රමයක් නිර්මාණය කර ගැනීමට ද, සැබෑ ආර්ථික නිදහස දිනාගැනීමට ද, පවත්නා ස්ථාවරත්වය රැකගැනීමට ද කැපවිය යුතු ය.

කදිර්ගාමර් ඝාතනය එල්. ටී. ටී. ඊ. ක්‍රියාවක් බව එදා අගමැති ලෙස රජය වෙනුවෙන් පළමුව කීවේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා බව ද අප සිහි කළ යුතු ය. ලක්‍ෂ්මන් කදිර්ගාමර් ඇතුළු මවුබිමේ ඒකීය භාවය වෙනුවෙන් දිවි දුන් සියලු විරුවන් ගේ රුධිරයෙන් තෙත් වූ, ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගත් මේ උතුම් පොළවේ දෙපයින් සිට ගනිමින් ඒ සියලු ජීවිත පූජාවන් මෙනෙහි කොට අගෝස්තු 12 වැනිදා සිහිකෙරෙන මේ විශිෂ්ට මිනිසාට අපි හිස නමා ආචාර කරමු.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]