හිතුවෙ නෑ මම ..... ඔහොම වෙයි කියා

හිතුවෙ නෑ මම ..... ඔහොම වෙයි කියා

ලයනල් සරත් මියගොස් වසර 2 යි

යනල් සරත් මිය ගොස් ඊයේට (16) අවුරුදු දෙකකි. ඔහු ගුරුවරයෙකි. විදුහල්පතිවරයෙකි. සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකි. ග්‍රන්ථ කර්තෘවරයෙකි. ලයනල් සරත් ලියූ ප්‍රථම පොත ‘හිතුවෙ නෑ මම.... ඔහොම වෙයි කියා’ යන්නයි. ඒ 1969 ඔක්තෝබර් මාසයේදීය. එම පොතේ ප්‍රථම මුද්‍රණයේ ලයනල් සරත් ‘වචනයක්’ යන ශීර්ෂය යටතේ මෙසේ ලියා ඇත. ‘මෙම පොත පල කිරීමට බාරගත් ඇස්. ගොඩගේ මහතාටත් ඒ ගැන උනන්දුවෙන් ක්‍රියා කළ වීරකැටියේ මහින්ද රාජපක්ෂ මහතාටත් පිටකවරය සකස් කර දුන් දයා රණවීර මහතාටත් මගේ ස්තුතිය හිමි වේ. ලයනල් සරත්ගේ ඒ මුල් පොත අච්චු ගසා ඇත්තේ එස්. ගොඩගේ මහතාය.

පොත අච්චු ගසා දෙන ලෙස ඉල්ලා සිටියේ ඒ කාලයේ විදෝද්‍ය පුස්තකාලයේ සේවය කළ මහින්ද රාජපක්ෂ මහතාය. ගොඩගේ මහතාගේ ප්‍රථම ප්‍රකාශනය ද එයයි. වසර තිස් හතරකට පසු ලයනල් සරත්ගේ එම පොත යළි මුද්‍රණය කළේය. ඒ පොතට සුබ පැතුම් පණිවුඩයක් ලියා එම පොතේම පළ වුයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේය. පොත් රාශියක් ලියූ ලයනල් සරත් සිය අවසාන කෘතිය වන ‘නිදහස් ලංකාවේ මූලධර්ම’ ලීවේය. එම පොත 2009 පෙබරවාරි 4 වෙනිදා පිළිගැන්වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටය. ලයනල් සරත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සමඟ දේශපාලනය කළේය. ඇත්ත පත්‍රයේද වැඩ කළේය. 1965 බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අධ්‍යාපන ඇමැති අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතා එවකට සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂව සිටි ලයනල් සරත් රැකියාවෙන් දොට්ට දැම්මේය.

ඔහු ‘බජරි හටන’ නමින් පුංචි පත්තරයක් පටන් ගත්තේය. එය ඉතාම ජනප්‍රිය විය. උපහාසයෙන් පිරුණ බජරි හටනින් ඊරියගොල්ලටද පහර ගැසීය. 1970 සමගි පෙරමුණ බලයට පත් විය. ලයනල් සරත් යළි අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩ භාර ගත්තේය. ඔහුගේ කර්තෘත්වයෙන් පිට වූ අවසාන ‘බජරි හටනේ‘ ඔහු මෙසේ ලීවේය. ‘දැන් මට රැකියාව ලැබී තිබේ. ඊරියගොල්ල මහතා පරාජය වී තිබේ. දැන් මට රැකියාව තිබේ. රැකියාව නැත්තේ ඊරියගොල්ල මහතාටය. ඒ නිසා ‘බජරි හටන’ පත්‍රයේ කර්තෘ පදවිය භාර ගන්නට මම ආරාධනා කරමි’ ලයනල් සරත් වැනි අයට හැමදාමත් ජීවත් වන්නට නොහැකිය. එහෙත් ජීවත්ව සිටි කාලයේ දේශපාලනයට ග්‍රන්ථකරණයට මාධ්‍ය ක්‍ෂේත්‍රයට කළ සේවය අපරිමිතය. ලයනල් සරත් වැනි අයගේ බස හැසිරවීම අද මාධ්‍ය ක්‍ෂ්ත්‍රයේ අයට අභියෝගයකි. අඩුම තරමින් ලයනල් සරත් ලියූ ග්‍රන්ථ ටිකවත් කියවන්නේනම් ඔය අද සිටින මාධ්‍යවේදීන්ට ලොකු පිටිවහලක් වනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා