සහන් සුවය දෙන පින්බිම අලවතුගොඩ ශ්‍රී සුමන සමන් දේවාලය

සහන් සුවය දෙන පින්බිම අලවතුගොඩ ශ්‍රී සුමන සමන් දේවාලය

වළගම්බා රජ දවස රෝපණය කළ බෝධිය

හනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ පිහිටි ඓතිහාසික සමන් දේවාලය දිවයිනේ පිහිටා ඇති දේවාලවලින් තුන්වන දේවාලයයි. වළගම්බා රජතුමා විසින් ගොඩනැඟූ මෙම සමන් දේවාලය ගාම්භීර ඉතිහාසයකට උරුමය කියයි. රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ නිබඳ සැලකිල්ලට ලක් වූ මෙම පින්බිම එකල ඉතාමත් දියුණු තත්ත්වයකින් තිබූ බවට සාධක එමටයි. පසු කාලවලදී සිදු වූ විදේශ ආක්‍රමණවලින් ද මිදී මහමෙරක් සේ විරාජමාන වන පූජනීය පින් බිමකි, අලවතුගොඩ ශ්‍රී සුමන සමන් දේවාලය.

කිසිදා දිය නොසිඳෙන කුඩා දිය පොකුණකින් ද වටිනා සල් - සපු - නා ආදී විසිතුරු තුරුලතාවන්ගේ සෙවණ ලද මෙම පින්බිමේ ගල්තලාවේ පසෙක තිබූ වටිනා සෙල්ලිපියක් ගල්තලාවේ ස්වභාවික වැඩීමත් සමඟ වැසී ඇත. අතීත ශ්‍රී විභූතිය කියාපාන වටිනා සෙල්ලිපි - කැටයම් ආදියෙන් සැදුම්ලත් මේ පින්බිම ප්‍රදේශවාසීන් කිසිදු ජාති භේදයකින් තොරව ජීවිත පරිත්‍යාගයකින් රැකගෙන එන ස්ථානයකි. අතීතයේ සිදු වූ පෘතුගීසි ආක්‍රමණයේදී එක් අවස්ථාවකදී ප්‍රදේශවාසීන් විසින් මෙම දේවාලය ඉලුක් සහ පිදුරු වැනි කොළ අතුවලින් වසා ආරක්‍ෂා කර ගෙන ඇත.

වැඩ නිමවෙමින් පවතින චෛත්‍යය

කෙසේ නමුත් පසුව පෘතුගීසීන් විසින් මේ දේවාලය විනාශ කළත් 1814 දී යළි පිළිසකර කරන ලදී.  පසුව ලංකාවේ පාලනයට පත් වූ ඉංගී‍්‍රසීන් විසින් මෙහි වටිනාකම වටහාගෙන නියමාකාරයෙන් මෙහි පුද පූජා තේවා පවත්වා ඇත. සුමන සමන් දෙවියන් වෙනුවෙන් ඉදි වූ මෙම දේවාලය නොකඩවා ප්‍රදේශවාසීන්ගේ පුද පූජාවන්ට ලක්වෙමින් තිබියදී අතීතයේ එක් කාලයක මාවතුපොල පිනිඅඹේ දේවාලයේ තිබූ බණ්ඩාර නම් දෙවියන්ගේ දේව ආභරණ, පෙරහරකින් දේවාලයට වඩමවා පසුදා ආපසු මාවතුපොලට වැඩමවීමට උත්සවයක් වශයෙන් පවත්වා ඇත.

පෙරහර පැවැත්වීමේදී සමන් දෙවියන්ගේ ආභරණ ඇතෙක් පිට වඩමවා ගෙන යයි. බණ්ඩාර දෙවියන්ගේ ආභරණ ඇතින්නක් පිට වැඩම විය යුතුය. එයත් රසවත් අතීත කතාවකින් රසවත් වී ඇත. වසරක් පාසා නොකඩවා පැවැත්වෙන අලවතුගොඩ සමන් දේවාලයේ පෙරහර මංගල්‍ය සඳහා කප් සිටුවීම සිදු කරන්නේ මහනුවර දළදා මාලිගාවේ සතර මහා දේවාලවල කප් සිටුවන දිනයේදීම ය. මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමා වී දින 15 කට පසුව පිටිසර දේවාල පෙරහර ආරම්භයත් සමඟ දේවාලයේ පෙරහර මංගල්‍යය ආරම්භ කෙරේ. 

අගෝස්තු 28 දින සිට කපවට පෙරහර කෙම්මුර දින යාතිකාවන් ද සමඟ දින 5 ක් ද, සැප්තැම්බර් 2 දා සිට කුඹල් පෙරහර සියලු තේවාවන් පිළිවෙත් සහිතව දින 5 ක් ද, සැප්තැම්බර් 7 වෙනිදා සිට රන්දෝලි පෙරහර මුරුතැන් පූජා සහ යාතිකා සමඟ දින 5 ක් ද, පවත්වා සැප්තැම්බර් 12 වෙනිදා දවල් බලකඩුවට ගොස් දිය කැපීමෙන් පසුව නැවත සවස දේවාලයට ගෙවදීමෙන් පෙරහර මංගල්‍යය නිමාවට පත් වේ.  බස්නායක නිලමේතුමාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ දේවාලයේ තේවාවන් මෙන් ම පෙරහරේ කටයුතු ද ඉතාමත් දැඩි නීති මාලාවකට හා සිරිත් විරිත් රාශියකට යටත්ව සිදු වේ. මෙම දේවාලයේ තේවා කරන පිරිස පරම්පරාවෙන්ම තේවාව කිරීම සඳහා බැඳී ඇති පිරිසකි.

ඉපැරණි ශ්‍රී සුමන සමන් දේවාලය

රජතුමාට සැලකූ ආකාරයටත් වඩා හොඳින් දෙවියන්ට සැලකිය යුතුය.  ඒ සඳහා බස්නායක නිලමේතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන විදානේ – ප්‍රධාන කපු - මුරුතන් රාජකාරි – කදමුර - හේවිසි - පිරිසිදු කිරීම – වියන් බැඳීම – පාවඩ එලීම – මුර ආයුධ සැපයීම - හේනයලාගේ කටයුතු ආදී වශයෙන් ප්‍රධාන රාජකාරි 30 ක් පමණ වාර්ෂික මාරුවීම් ක්‍රමයට පත්කර ඇති අතර ඒ අයට ගොඩ මඩ ඉඩම් පවරා ඇත. බස්නායක නිලමේතුමා පත්කිරීමේ ක්‍රමය අතීතයේ 1815 සිට 1947 දක්වා ජීවිතාන්තය දක්වා ද, 1947 සිට 1981 දක්වා වසර 10 කට ද, 1981 සිට වසර 5 කට ද, නියම කර පත් කරනු ලබයි. වර්තමාන බස්නායක නිලමේතුමා වන්නේ ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතාය.

එතුමාගේ දැඩි කැපවීම සහ අධීක්‍ෂණය මත මේ වසරේ ද පෙරහර මංගල්‍යය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.දැනට මෙම පින්බිමේ වැඩ නිමවෙමින් පවතින චෛත්‍යරාජයා දානපති සුසිල් බිල්ඩර්ස් අධිපති සුසිල් රංජිත් රාජපක්‍ෂ මැතිතුමාගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකරනු ලබයි. ප්‍රදේශයේ හින්දු බැතිමතුන්ගේ ද පුද පූජා ලබන අලවතුගොඩ ශ්‍රී සුමන සමන් දේවාලයේ විදුලි නඩත්තුව මෙන් ම මාසික විදුලි බිල්පත ද මේ ප්‍රදේශයේ ව්‍යාපාරික මුත්තයියා පිල්ලේ මහතාගේ පුද්ගලික වියදමින් සිදු කරයි. ආගමික බැඳීම් ශක්තිමත් කරන තෝතැන්නක් බඳු මේ දේවාලය එවැනි තවත් බැතිමතුන්ගේ අනුග්‍රහය නිසාම අදටත් මේ තත්ත්වයෙන්වත් රැක ගැනීමට හැකිව තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා