|
||
වැලිමැස්සාගෙන් බෝවන ලීෂ්මනයිසිස් පළාත් රැසක පැතිරේ
වැලි මැස්සාගෙන් බෝ වී දරුණු ලප කැලැල් බවට පත්වන ලීෂ්මනයිසිස් නැමති භයානක චර්ම රෝගය උතුරුමැද, උතුර, නැගෙනහිර, වයඹ හා දකුණු පළාත්වල සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. මුහුණ, අත් පා හා ඇඳුමින් නිරාවරණය වූ ශරීර අංගවල කුඩා ගැටිති වශයෙන් ආරම්භ වී රත්පැහැ කුහර ලෙස පැසවමින් පැතිරී යන තුවාල විශේෂයක් ලෙස මෙම රෝගය හඳුනාගත හැකිය. එය බෝවන වාහකයා වන්නේ වැලිමැස්සා නැමති මදුරුවෙකු වැනි කුඩා කෘමියෙකි. කල් යත්ම ශරීරගත වන පරපෝෂිතයා සම තුළ ආසාදන ඇතිකර ශරීර අභ්‍යන්තරයේ අක්මාව වැනි අවයව තුළද ආසාදන ඇති කරවන බව වෛද්‍යවරු කියති. මේ වනවිට අනුරාධපුර හා පොළොන්නරු දිස්ත්‍රික්ක දෙකෙහි ලීෂ්මනයිසිස් රෝගීන් 1170 කට අධික පිරිසක් හඳුනාගෙන තිබේ. මේ සඳහා රජයේ මහරෝහල් වල චර්ම රෝග සායන වලින් ප්‍රතිකාර කරනු ලබන අතර මිල අධික හා දැඩි පරිශ්‍රමයක් දැරිය යුතු ප්‍රතිකාර විධික්‍රමයක් ඊට අදාලව සිදු කෙරේ. ලිෂ්මනයිසිස් රෝගය බෝවීම වැළැක්වීම හා ප්‍රතිකාර කිරීම් පිළිබඳ විශේෂ විද්වත් වැඩමුළුවක් ඊයේ (26) අනුරාධපුර හෙරිටේජ් හෝටලයේ දී සංවිධානය කර තිබිණ. උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වසංගත රෝග විද්‍යා අංශය මගින් සංවිධානය කළ එම වැඩමුළුවට ක්‍ෂේත්‍රයේ ප්‍රවීණ විද්වතුන් හා වසංගත රෝග විශේෂඥයින් එක් වූ අතර උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍ය පේෂල ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි. උතුරු මැද පළාතේ ක්‍රියාත්මක ග්‍රාමීය සුව සහන කමිටු හරහා ජනතාව දැනුවත් කර නිවාරණ කටයුතු ආරම්භ කර විද්වතුන් මගින් ඉදිරි පර්යේෂණ කටයුතු ආරම්භ කරන ලෙසද ඇමතිවරයා එහි දී නිලධාරීන්ට දැනුම් දුන්නේ ය. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |