|
||
ගෙවල් බින්ද හොරා ඇල්ලූ හැටි අපූරුයි* බල්ලා විත්තිකරුගේ නිවෙසට ගියා - පොලිසිය * රාලහාමි පෙරළාගෙන ඌ ආවේ ගෙදර බල්ලා එක්ක පොරකන්න - විත්තිකරු
හොරණ උසාවියේ තෝල්කමුදලි ඊළඟ නඩුවේ පැමිණිලිකරුගේ සහ විත්තිකරුගේ නම් හඬනඟා කියවීය. සෝමදාස පැමිණිලිකරු වූ අතර අසල්වැසියා වූ විජේපාල විත්තිකරු විය. පොලිස් නිලධාරියකු ද පැමිණිල්ලට සහාය වීමට පසෙකින් සිටියි. විනිසුරුතුමා - මොකක්ද මේ නඩුව? පොලිසිය - ගෙවල් බිඳුමක් ස්වාමීනි, මේ විත්ති කූඩුවේ සිටින තැනැත්තා පැමිණිලිකරුගේ ගේ බිඳලා දේපොල සොරාගෙන. විනිසුරුතුමා - තමා මේ ගේ බිඳීම පිළිබඳව වැරැදිකරු ද, නිවැරැදිකරු ද? විජේපාලගේ නීතිඥ මහතා - අපි ඒ ගේ බින්දෙ නැහැ ස්වාමීනි, අපි නිවැරැදියි. විනිසුරුතුමා පොලිස් නිලධාරියා අමතා, මේ සම්බන්ධව සාක්ෂි තිබෙනවාද? පොලිසිය - ඔව් ස්වාමීනි, අපේ බල්ලා ඔහුගේ නිවෙසට ගියා. විත්තිකරු - අනේ හාමුදුරුවනේ, ඒ සිද්ධිය සිදුවුණු හැටි ඇත්තම කියන්නම්. අපේ ගේ මේ පැමිණිලිකරුගේ නිවෙසට අල්ලපු නිවෙසයි. එදා පොලිසියෙන් බල්ලා අරගෙන එන විට අපේ බල්ලා බුරාගෙන පැන්නා. මම අපේ බල්ලා අල්ලාගෙන ගෙට අරගෙන ගියා. ඒත් ස්වාමීනි, ඌ අපේ ජනේලයකින් ඔළුව එළියට දමාගෙන පොලිස් බල්ලාට බිරුවා. එය දැකපු පොලිස් බල්ලා රාළහාමිවත් පෙරළාගෙන අපේ බල්ලා සිටින දිහාවට දුවගෙන ආවා. ඌ ආවේ හොරු අල්ලන්න නෙමෙයි, බල්ලත් එක්ක පොරකන්නයි. රාළහාමි පෙරලුණු නිසා කේන්තියට මාව අල්ලගෙන ආවා. උසාවියේ සිටි සියලු දෙනාටම මෙන්ම විනිසුරුතුමාට ද සිනහ මතුවිය. ඔහුගේ ප්‍රකාශය පිළිබඳව දීර්ඝව විමසා බලා ඔහු පැවසු දේ සත්‍ය බව වැටහීමෙන් පොලිසියට තදින් අවවාද කර විත්තිකරු නිදහස් කෙරිණි. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |