මුද්‍රණය සඳහා

 
අලුත් ජීවිතයකට කාලය හරි

අලුත් ජීවිතයකට කාලය හරි

ජනප්‍රිය චිත්‍රපට නිළි පූජා උමාශංකර්

දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රමුඛ නිළියක් වූ පූජා උමාශංකර් ඉන්දීය චිත්‍රපට 50කට ආසන්න සංඛ්‍යාවකට රංගනයෙන් දායක ව ඇත. ඇය සිංහල සිනමාවට සම්බන්ධ වන්නේ චන්න පෙරේරාගේ “අංජලිකා” චිත්‍රපටයත් සමඟය. එහි සාර්ථකත්වයත් සමඟ ඇය ඉන් පසු ආසයි මං පියාඹන්න, යහළුවෝ හා සුවඳ දැනුනා ජීවිතේ යන චිත්‍රපටවලටද සම්බන්ධ විය. ඉන් පසු ඇය රංගනයෙන් ඉවත් වන බවට ප්‍රකාශ කර සිටියත් බොහෝ දෙනෙක් විමතියට පත් කරමින් මහාචාර්ය සුනිල් ආරියරත්නගේ “කුස පබා” චිත්‍රපටයට රංගනයෙන් සම්මාදන් වූවාය. මේ එම චිත්‍රපටය ගැන හා ඇගේ රංගන ජීවිතය ගැන ඇය හා කළ සංවාදයකි.

* ඔබ සිනමාවෙන් ඉවත්වෙන්න ගෙන තිබුණු තීරණය වෙනස් කළා ද?

මම සිනමාවෙන් ඉවත් වෙන්න ගත්ත තීරණයේ වෙනසක් නැහැ. මගේ අන්තිම චිත්‍රපටය ‘සුවඳ දැනුණා ජීවිතේ’ ඒක කරලා ඉවරයි. නමුත් මම ‘කුස පබා’ චිත්‍රපටයට සම්බන්ධ වුණේ ශ්‍රී ලාංකීය සිනමාවට ගරු කිරීමක් හැටියටයි.

මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න කියලා මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය සෝමරත්න දිසානායක, රේණුකා බාලසූරිය, උදයකාන්ත වර්ණසූරිය, ධම්මික සිරිවර්ධන, රවීන්ද්‍ර ගුරුගේ වගේ ලංකාවේ සිනමාවේ දැවැන්තයන් කිහිපදෙනෙක්ම ඉල්ලා සිටියා. ඔවුන්ගේ ඉල්ලීමට කන් නොදුන්නා නම් මම ගරු නොකරන්නේ ඔවුන්ට පමණක් නොවෙයි.

* ඔබ රංගනයෙන් දායක වන චිත්‍රපටවලට ඉන්දියාව වගේ ම ලංකාවෙත් හොඳ ප්‍රතිචාර තිබෙනවා, එවැනි අවස්ථාවක සිනමාවෙන් ඉවත්වීමට හේතුව කුමක් ද?

මම අවුරුදු අටක් සිනමාවෙ රැඳී සිටියා. දැන් මට අලුත් ජීවිතයක් පටන් ගන්න කාලය ඇවිල්ලා. නියමිත කාලයේ දී ඒ දේවල් කළ යුතුයි. උදෑසන ආහාරය දහවලේ දී ගැනීම තේරුමක් නැහැ. එහෙම කළොත් සියල්ලම අවුල් වේවි. ප්‍රීතිදායක අවසානයකට යන්න පුළුවන්වීම ගැන මම සතුටු වෙනවා. මේක දුර්ලභ අවස්ථාවක් ශ්‍රී ලංකාවෙත් ඉන්දියාවෙත් කවුරුත් දන්න කතාවක රඟපාන්න ලැබුණ එක මගේ පිනක්.

* ඔබට වඩාත් ප්‍රිය කරන රසිකයින් සිටින්නේ දෙරටින් කොයි රටේ ද?

එහෙම නැහැ. ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාරය තීරණය වන්නේ චරිතය අනුවයි. රංගන ශිල්පීන්සේ පෙනී සිටීමෙන් පමණක් ඔවුන් සෑහීමකට පත් වෙනව කියලා කියන්න බැහැ. හොඳ චරිතයක් සාර්ථකව කළොත් සාර්ථක ප්‍රතිචාරයක් ලැබෙයි. ඒ චරිතයම නරකට කළොත් මිනිස්සු අපිට හොඳට ප්‍රතිචාර දක්වන එකක් නැහැ. මේ චිත්‍රපටය ලබන අවුරුද්දේ මැද රටවල් දෙකේ ම පෙන්වාවි. ඔවුන් මගේ රඟපෑම ගැන කියන්නේ මොකක් ද කියලා එතකොට මට විවේකීව ගෙදර ඉඳන් දැකගන්න පුළුවන්.

* සිංහල චිත්‍රපට සඳහා ඔබගේ දායකත්වය ඉන්දීය රසිකයින් අගය කරන්නේ කොහොමද?

අවාසනාවට වගේ විශේෂ අවස්ථාවල දී හැරෙන්න මම රඟපාපු චිත්‍රපට ඉන්දියාවේ ප්‍රදර්ශනය කර නැහැ. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පිරීස්ගේ ‘යහළුවෝ’ චිත්‍රපටය ඉන්දියාවේ ප්‍රදර්ශනය කළ අවස්ථාවට මමත් සහභාගි වුණා. එයට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා.

ඊට අමතරව මා රඟපෑ සිංහල චිත්‍රපට වරින්වර බටහිර රටවල පෙන්වූවා. ඒ අවස්ථාවලට මම සහභාගි නොවුණත් ඒ රටවල රසිකයන් මගේ පැමිණීම අපේක්ෂා කරන බවට මට තොරතුරු ලැබුණා. ඒ ගැන මම සතුටුයි.

* දකුණු ඉන්දියාවේ සිනමාකරුවන් ලංකාවේ ජාතික ප්‍රශ්නයට විටින් විට රළු ප්‍රතිචාර දක්වනවා. ඔවුන්ගෙන් ඔබට සිංහල චිත්‍රපටවලට සම්බන්ධ වීම ගැන විරෝධයක් එල්ල වූවාද?

නැහැ මට එහෙම කිසිම බලපෑමක් ආවෙ නැහැ. අඩුම ගණනේ නිර්නාමික දුරකථන ඇමතුමක්වත් ආවේ නැහැ.

* ඔබගෙන් පසුව දකුණු ඉන්දීය ශිල්පීන් සිනමාවට සම්බන්ධවීමේ ප්‍රවණතාවයක් ඇතිව තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ සිනමාවට කොහොම බලපාවිද?

ඕනෑම රටක සිනමා කර්මාන්තය ගොඩනැගෙන්න නම් චිත්‍රපට තැනෙන්න ඕන. ඒ වගේ ම ප්‍රේක්ෂකයන් ඒවා වැලඳ ගන්න ඕන. විදේශ රටක ශිල්පීන් යොදා ගත් පමණින් චිත්‍රපට සාර්ථක වෙන්නේ නැහැ. හැම දෙයකම දෙපැත්තක් තිබෙනවා. ප්‍රේක්ෂකයන් චිත්‍රපටය පිළිගත්තොත් ආදායම් අතින් සාර්ථක වේවි. එවිට තව තවත් චිත්‍රපට නිර්මාණය වේවි.

* ඔබ සිනමාවට සම්බන්ධ වුණේ කොහොමද ? පවුලේ කවුරුන් හෝ සිනමාවට සම්බන්ධව සිටියාද ?

මම සිනමාවට සම්බන්ධ වුණේ අහඹු සිදුවීමක් නිසා. මම විද්‍යාලයේ අවසාන විභාගය (MBA) කරන කාලේ අධ්‍යාපන නිවාඩුවක් ආවා. මම ඒ අවස්ථාව ප්‍රයෝජනයට අරන් ඇඳුම් ගන්න ගියා. ඒ තැනදි දකුණු ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂක ජීවා මහතා මාව දැකලා ඔහුගේ අලුත් චිත්‍රපටයට ආරාධනා කළා.

මම ඉගෙන ගන්න තියෙනවයි කියලා බැහැයි කිව්වා. නමුත් ඔහු කිව්වා දින 15 යි රූගත කිරීම් තියෙන්නේ ඉගෙනීමට බාධාවක් නැහැ එන්න කියලා. ඔය විදිහටයි මම “උල්හම් කේතුගම්” චිත්‍රපටය සම්බන්ධ වුණේ. නොහිතපු විදිහට චිත්‍රපටය ජනප්‍රිය වුණා. ඒ නිසා දිගටම රඟපාන්න ආරාධනා ලැබුණා.

ලොකේ කොහේ මට රසිකයින් සිටියත් තාත්තා මම නිළියක් වුණ එක ගැන අසතුටෙන් හිටියේ. ඔහු මට නිතරම කිව්වෙ ඔයා ඉගෙන ගන්න කෙනෙක් ඒ පැත්තෙන් ඉදිරියට යන්න කියලයි.

* මෙම චිත්‍රපටයේ ඔබට රඟපෑමට ලැබී ඇත්තේ වෙනස්ම චරිතයක්. ඔබ එය වටහා ගත්තේ කොහොමද ?

මට ලොකු වුවමනාවක් තිබුණා ඓතිහාසික චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න. මට ඉන්දියාවේදී රඟපාන්න ලැබුණේ ගැමි චරිත හා නවීන තරුණියන්ගේ චරිත. ඒ වගේම ළමයින් සමඟ කරන චිත්‍රපටයකටත් සම්බන්ධ වෙන්න වුවමනාවක් තිබුණා. ඒ නිසා මම නිළියක් හැටියට බලාපොරොත්තු ගොඩක් ඉටු කර ගත්තේ සිංහල සිනමාවෙන්.

අනිත් අතට පොඩි කාලේදීම අම්මා අපිට මේ කතාව කියලා දීලා තිබුණා. ජාතක කතා අතර තිබුණ වෙනස්ම විදිහෙ කතාවක් නිසා මම ඒ කතාවට හුඟක් කැමතියි. මේ කතාව කියන කොට ඊට පෙර ඇය කියා දුන් ‘Beauty and the Beast’ සුරංගනා කතාව අතර සමාන කමක් දැනුණා. ඒ දෙකේම තියෙන්නේ අවලස්සන කුමාරයෙක් ගැනයි. නමුත් ඒ ලස්සන කුමාරි වෙන්න මට පුළුවන් කියලා මම කවදාවත් හිතුවෙ නැහැ.

* ලංකාවේ සිනමා කර්මාන්තය ගැන ඔබේ අදහස කුමක්ද ?

මම ලංකාවෙ කරපු හැම චිත්‍රපටයක් ගැනම සෑහීමකට පත් වෙනවා. ඒ ගත කරපු කාලය හරිම සුන්දරයි. හැම දෙනාම මට උදව් කළා. එහෙම නොකළ නම් මට වෙනත් බසකින් කරන චිත්‍රපටයක් සාර්ථකව කරන්න ලැබෙන්නේ නැහැ.

මේක මම අවස්ථාවක් කර ගන්නවා ලංකාවේ සිනමා කර්මාන්තයේ නියැලී සිටින ලොකු කුඩා සැමට ස්තූති කරන්න. ලංකාවේ මේ කර්මාන්තයේ නියැලිලා ඉන්න ශිල්පීන් හරියට පවුලක සාමාජිකයෝ වගේ. කලබලයක් නැහැ. ඒ නිසා ආතතියක් නැහැ. ඉන්දියාවෙ තත්ත්වය ඒ වගේ නෙවෙයි. දැන් මේ චිත්‍රපටයම බලන්න, එය නිෂ්පාදනය කරන්න කී දෙනෙක් උදව් කරනවාද. එය හොඳ දෙයක්.

ඒ වගේම ලංකාව සුන්දර රටක්. ඉන්දියාවේ මිථ්‍ය කතාව කියනවා කේරලය සුරලොවේ කොටසක් කියලා. මම නම් හිතන්නේ ඒක ගැලපෙන්නේ ලංකාවටයි. මේ රටේ සුන්දර ස්ථාන සොයන්න ඇවිදින්න වුවමනා නැහැ. අපේ රටේ සිනමාකරුවෙක්ට කිවුවා ඔබ ලංකාවේ ඕනෑම තැනක කැමරාව තියන්න. එතැන ඔබට සුන්දර දර්ශන හමුවේවි කියලා. ඔහු කිවුවා “පූජා ඔයා පිස්සුද” කියලා නමුත් ඔහු ලංකාවට ආවයින් පස්සේ මගේ කතාව පිළිගත්තා.

මම සිනමාවෙන් ඈත් වුණත් ලංකාව සමග තිබෙන සම්බන්ධය නවතින්නේ නැහැ. ඒ නිසා මම ලංකාවට Good bye කියන්න කැමති නැහැ.


 

රංගනයේ දෙවෙනි ගමනට ඇය සූදානම්...

- සමුද්‍රා හික්කඩුව ලියනගේ

ටෙලි නාට්‍යය නිළියක් වේදිකා නාට්‍යය ශිල්පිනියක් සහ මෝස්තර නිරූපිකාවක් ලෙස කලා ක්‍ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණි ඇය 1997 ශ්‍රී ලංකා රූ රැජින ලෙස කිරුළ පැළඳියාය. පසුව ලෝක රූ රැජින තරගයටද ඉදිරිපත් විය. අනතුරුව ඇය කලා ක්‍ෂේත්‍රයෙන් මදක් ඈත්ව සිටියාය. නැවත ඇය දිගු කලට පසු රංගනයෙන් ක්‍ෂේත්‍රයට එක්වීමට පෙරුම් පුරා සිටියි. ඇය නමින් සමුද්‍රා හික්කඩුව ලියනගේ නම් වෙයි.

* අපිට මතකයි ඔබ එදා ජයන්ත චන්ද්‍රසිරිගේ ‘මෝරා’ ටෙනිසන් කුරේගේ ‘කැප්ටන් කූල්’ පතිරාජ එල්. එස්. දයානන්දගේ ‘පිහාටු කඩා හැලේ’ ‘සාජන්ට් නල්ලතම්බි’ වැනි ජනප්‍රිය වේදිකා නාට්‍යය රැසකට රංගනයෙන් දායක වුණා. ඉන් ලද අත්දැකීම් කොයි වගේද ?

ඇත්තටම වේදිකාව මගේ රංගන ජීවිතයේ නිම් වළලු පුළුල් කළා. වේදිකාව කියන්නේ සජීවී මාධ්‍යයක්නේ. අපේ රඟපෑමට ඒ මොහොතේම ප්‍රේක්ෂකයා ප්‍රතිචාර දක්වනවා. ඒක අපිට ලොකු හයියක් වගේම වාසියක්. ඒ අවස්ථාව තුළ අපි විඳින සතුට කොයිතරම්ද කියල වචනයෙන් විස්තර කරන්න බෑ. පසුකාලීනව මගේ ටෙලිනාට්‍යය හා සිනමා රංගනයට අවතීර්ණ වීමේදී මෙම අත්දැකීම් විශාල පිටුවහලක් වුනා.

ජයන්ත චන්ද්‍රසිරිගේ මෝරා තුලින් මම වේදිකාවේ කොයි විදියට හැසිරිය යුතුද කියන මූලික කාරණා ඉගෙන ගත්තා. ඒ වගේම ප්‍රේම තටාකය, නිෂ්පාදක ගාමිණි සිල්වා මට මේ ක්‍ෂේත්‍රයේ ගුරුවරුන් වුනා. සාජන්ට් නල්ලතම්බි නාට්‍යයේ ජුලිගේ චරිතය තුළින් ලංකාවේ ප්‍රේක්ෂකයා මාව ආදරයෙන් වැළඳගත්තා. ඒක මට හුඟක් ප්‍රතිචාර ලැබුණු අවස්ථාවක්.

* මෙතරම් අත්දැකීම් ලබපු ඔබ ඇයි පසුගිය කාලය පුරා ක්‍ෂේත්‍රයෙන් ඉවත්ව සිටියේ.

මට නිලියක් හැටියට ගොඩ නැගෙනව වගේම කාන්තාවක් හැටියට යහපත් පවුල් ජීවිතයක් ගොඩනගා ගැනීම තවත් සිහිනයක් වුණා. මගේ විවාහයෙන් පසුව පවුල් ජීවිතය වෙනුවෙන් කැපවීමක් කරන්න ඕනනේ. ඒක මම ඉතාම කැමැත්තෙන් කරා. දැන් මට ප්‍රවීණා අංජලී නමින් අවුරුදු 8 ක දුවක් ඉන්නවා. ඇය ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබනවා. දැන් ඇයට ඇගේ කටයුතු හොඳින් කරගෙන යන්න පුළුවන් නිසා මට විවේකයක් තියෙනවා. ඒ නිසා මම නැවත සුපුරුදු රංගනයට අවතීර්ණ වුණා. මගේ දියණියත් මගේ රඟපෑමට හරි කැමතියි. ඇය මගේ එදා ටෙලි නාට්‍යය වීඩියෝ පටි මගින් නරඹනවා. ඒවා දැකලා එයාට හරි සතුටුයි. මගේ සැමියා ශ්‍රීනාත් ව්‍යාපාරිකයෙක් වුණාට හොඳ කලාකාමියෙක්. ඔහු මගේ කලා හැකියාවන් හොඳින් අවබෝධ කරගත් අයෙක්. තවමත් මගතොට ලැබෙන ප්‍රතිචාර දකින ඔහු නැවත මගේ රංගන දිවියේ දෙවෙනි ගමන අරඹන්න අනුබලය හා ශක්තිය ලබා දුන්නා.

දැන් මට දියණිය හා සැමියාගෙන් ලැබෙන සහාය සමඟ ක්‍ෂේත්‍රයේ දිගු ගමනක් යන්න ලොකු ශක්තියක් තියෙනවා. ඒ වගේම මගේ හැකියාවනුත් එළිදැක්විය හැකි ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කිරීමටත් ඔහු බලාපොරොත්තු වෙනවා.

* තිමති වීරරත්නගේ ‘රේල් පීලි’ පරාක්‍රම නිරිඇල්ලගේ ‘යශෝරාවය’ වසන්ත ඔබේසේකරගේ ‘තිමිර පව්ව‘ වැනි ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍යය හරහා ඔබ ලැබු අත්දැකීම් කොයි ආකාරද ?

ඇත්තටම කැමරාවක් ඉදිරිපිට කිසිදාක රංගනයක් නොකළ මට ‘රේල් පීලි’ ටෙලි නාට්‍යයේ ලැබුණු කුඩා චරිතය වුණත් තිමති වීරරත්න වැනි ප්‍රවීණයකුගේ ගුරුහරුකම යටතේ කරන්න ලැබීම තුළින් මට ලොකු ගමනක් එන්න පිටුවහලක් වුනා.

මුලින්ම රඟපෑම ගැන ලොකු ආශාවක් ඇති වුණේ ඉන් පසුවයි. ඒ වගේම වසන්ත ඔබේසේකරගේ ‘තිමිර පව්ව‘ මගේ රංගන ජීවිතයේ ලොකු කඩඉමක් වුනා. එතුමාගෙන් ලබා ගත්ත ඉගෙන ගන්න තියෙන දේ බොහෝමයි. ඔහු උපක්‍රමශීලීව මගේ රංගනයේ උපරිමය ලබා ගත්තා. ඒ ලද අත්දැකීම් පසුකාලීනව මගේ රංගනය සඳහා උදව් වුනා. චන්දරරත්න මාපිටිගමගේ ‘මුදවාපු කිරිල්ලී’ ටෙලි නාට්‍යයේ නිරෝෂාගේ චරිතය තවත් මට ප්‍රතිචාර ලබා දුන්න චරිතයක්. බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ සංසාර මන්දිරය රංගන ප්‍රේමරත්නගේ රුවට රුව චන්දරරත්න මාපිටිගමගේ කීටයා කළුදිය පොකුණ වැනි ටෙලි නාට්‍ය චරිත මාව ප්‍රේක්ෂකයන් අතරට ගෙන යන්න ඉවහල් වුනා.

* ඔබ සිනමාවටත් සම්බන්ධ වුණා. ඒ ගැන ටිකක් කතා කරමු.

දයානන්ද ජයවර්ධනගේ ‘පෙම් රජ දහන’ මගේ ප්‍රථම සිනමා රංගනය ඇතුළත් වුණා. ඉන් පසුව සුගත් සමරකෝන්ගේ ‘වියරු මිනිසා’ ගාමිණි ෆොන්සේකාගේ ‘අන්තිම රැය’ උදය කාන්ත වර්ණසූරියගේ ‘බහුභූතයෝ’ චිත්‍රපටයේ මෝහිනීගේ චරිතය තුළින් කුඩා ළමුන් අතර හුඟක් ජනප්‍රිය වුණා.

සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා වැනි ප්‍රවීනයකුගේ චිත්‍රපටයක ඔහු සමග කරන ලද කුඩා රංගනය මට ලොකු අත්දැකීමක් ඔහුගෙන් ලද ගුරු හරුකම් වචනයෙන් විස්තර කරන්න බෑ.

* ඔබ මෝස්තර නිරූපිකාවක් හැටියටත් එදා කටයුතු කළා. ඒ ගැනත් කතා කරමු.

රම්සි රහමන් සමග සන්සිල්ක් කොණ්ඩා මොස්තර නිරූපිකාවක් හැටියට රට පුරා සංදර්ශනවලට සහභාගි වුණා. ජැනට් බාලසුරිය සමග දේශීය වශයෙන් වගේම ජාත්‍යන්තර සංදර්ශන සඳහාත් සහභාගි වුණා. ගාමිණි පණ්ඩිතරත්න සමගත් මං වැඩ කළා. නයනා කරුණාරත්න මෙවැනි ප්‍රවීණයන් සමගයි මම එදා නිරූපණ ක්‍ෂේත්‍රය තුළ කටයුතු කළේ. ඒ අවස්ථා මම අදත් ඉතා ආදරයෙන් සිහිපත් කරනවා.

* ඔබ වෙළෙඳ දැන්වීම් සඳහාත් එදා පෙනී සිටියා.

මුලින්ම මම සම්බන්ධ වුණේ සන්සිල්ක් වෙළෙඳ දැන්වීමට. ඊට පසුව ඩී. බී. නිහාල්සිංහ මහතාගේ ආරාධනාවක් පරිදි එලිෆන්ට් හවුස් අයිස් ක්‍රීම් දැන්වීම කළා. සෙවන ලොතරැයිය ඊඩඥ ජ්ඪදචදජඥ එඩ්නා චොකලට් වැනි දැන්වීම් රාශියක පෙනී සිටියා.

* ඔබ සමාජ සේවිකාවක් හැටියටත් දැන් කටයුතු කරනවා නේද ?

ඔව් මම මොරටුව සිංහ කාන්තා සමාජයේ සාමාජිකාවක්. මේ තුළින් අපිට විශාල සමාජ මෙහෙවරක් කරන්න පුළුවන්කම ලැබුණා. ඊට අමතරව මගේ පෞද්ගලික වියදමින් අසරණ දරුවන් දෙදෙනෙකු සඳහා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සම්පූර්ණ වියදම් දරනවා. ඒ වගේම නුගාශ්‍රම පන්සලේ දායක සභාවේ ප්‍රධාන දායිකාවක් වශයෙන් කටයුතු කරන අතර ශ්‍රී සොරත දහම් පාසලේ ප්‍රධාන දායිකාවක් වශයෙන් කටයුතු කරනවා. මම බෞද්ධ කාන්තාවක් වුණත් ආගම් භේදයෙන් තොරව සමාජ සේවිකාවක් හැටියට මගේ වගකීම හා යුතුකම ඉටු කර තිබෙනවා. ඒ අනුව සොයිසාපුර ශාන්ත අන්තෝනි දෙව් මැදුරටත් මගේ දායකත්ව පිරිනමනවා. ඉන් මා ලබන තෘප්තිය වචනයෙන් කියා නිම කරන්න බැහැ.

* ඔබේ ඉදිරි කටයුතු ගැනත් කතා කරමු.

මම මෑතකදී රංගනයෙන් දායක වූ චන්දරරත්න මාපිටිගමගේ ‘සසල විලා’ ටෙලි නාට්‍යයේ මුදිතා නම් වූ චරිතය රඟපානවා. ඉදිරියට එරංග සේනාරත්නගේ ‘සිහින සිත්තරාවි’ ටෙලි වෘත්තාන්තයේ චරිතයකටත් ආරාධනා ලැබී තිබෙනවා. මගේ බලාපොරොත්තුව ලැබු අත්දැකීම් සමග හොඳ නිර්මාණ සඳහා මගේ රංගන හැකියාවෙන් ප්‍රයෝජන ගන්න. මේ සඳහා ඉදිරියේදී හොඳ අවස්ථාවක් ලැබේවි යැයි සිතනවා.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]