මුද්‍රණය සඳහා

 
“දේශපාලනයෙන් මිනිස්සු මිසක් මුදල් හම්බ කළේ නැහැ”

“දේශපාලනයෙන් මිනිස්සු මිසක් මුදල් හම්බ කළේ නැහැ”

ප්‍රවීණ නිවේදක හා රංගන ශිල්පී තිලක් කුමාර රත්නායක

සංදර්ශන වේදිකාවේ වඩාත් ම කාර්ය බහුල නිවේදකයා ඔහු ය. ඔහුගේ රංගන පරාසය මේ වන විට වේදිකාව, ටෙලි නාට්‍යය, ඉක්මවා සිනමාව දක්වා විහිද ඇත. තිලක් කුමාර රත්නායක ශ්‍රී ලාංකික රූපවාහිනි ක්ෂේත්‍රයට අපූර්වත්වයන් රැසක් එක්කළ ‘කෝපි කඩේ’ ටෙලි නාට්‍යයට පුරා වසර 26ක් අඛණ්ඩව පිටපත් රචකයෙක් ලෙස හා රංගන ශිල්පියෙක් ලෙස සම්මාදන්වූ වෙකි. ඔහු රංගනයෙන් දායක වූ ශාන්ත සොයිසාගේ ‘අමා’ ටෙලි නාට්‍යය මේ දිනවල රාත්‍රී 7. 30 ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වේ. මේ ඒ ගැන හා කලාකරුවාගේ කාර්යභාරය ගැන කළ සංවාදයකි.

* මෙගා හා එවැනි අනෙකුත් දීර්ඝ කලා නිර්මාණයන්ට ආරම්භයේ දායක වූ පිරිස වෙනුවට වෙනත් ශිල්පීන් ආදේශක වශයෙන් යොදා ගැනෙන අවස්ථා බහුලව දකින්න ලැබෙනවා. දීර්ඝ කලා නිර්මාණයන්ට සම්බන්ධ වූ ශිල්පියෙක් හැටියට ඔබ මේ ගැටලුව වටහා ගත්තේ කොහොමද?

මම මේ ප්‍රශ්නය තේරුම් ගන්නේ කාල කළමනාකරණය පිළිබඳ ගැටලුවක් හැටියටයි. එහි වරද එක එල්ලේ ම ශිල්පීන්ට හෝ නිර්මාණකරුවන්ට පටවන්න බැහැ. කලාකරුවන් ට හා නිෂ්පාදන කණ්ඩායම් වලට නිවැරදිව කාලය කළමනාකරණය කරගන්න පුළුවන් නම් මේ විදිහෙ ගැටලු ඇතිවෙන්නේ නැහැ. ඒවගේ ගැටලු නිර්මාණය ඇතුළේ අවසන් වෙන්නේ චරිතය හදිසියේ රට හැරයාමෙන් හෝ මිය යාමෙන්. නමුත් මට ‘කෝපි කඩේ’ නාට්‍යයේ වසර 26ක් විවිධ පාලකයන් යටතේ ශිල්පියෙක් හැටියට සම්බන්ධ වෙන්න පුළුවන් වුණේ කාලය වුවමනා හැටියට පාලනය කරගන්න පුළුවන් වූ නිසයි. මැතිවරණ අපේක්ෂකයෙක් නිසා මේ දිනවල මම ඉතාම අවිවේකයි. නමුත් එහෙම කියලා දර්ශන තලයට ප්‍රමාදවෙලා යන්නේ නැහැ. ඒවගේම මම රඟ පෑ “විජය කූවේණි” චිත්‍රපටයේ දෙබස් කැවීම්වලටත් සහභාගී වෙනවා. ඒ අතර වේදිකා නාට්‍යය දර්ශනවලටත් සහභාගී වෙනවා. මේ සියල්ල ම කරන අතර රැකියාවේ කටයුතුත් සමබරව කරගෙන යනවා.

* ඔබ මේ සඳහා කාලය සොයා ගන්නේ කොහොමද?

මෙතැන තිබෙන්නේ කාලය ගැන ප්‍රශ්නයක් නෙවෙයි. අපෙන් සිදුවන අතපසුවීම් වලට අපි දොස් කියන්නේ කාලයටයි. කිසියම් දෙයක් අපිට වැදගත් නම් කොහොමහරි කාලය හොයාගන්නවනේ. මගේ වගේම අනෙක් කෙනාගේ කාලයටත් වටිනාකමක් දෙනව නම් කොයිතරම් කාර්ය බහුල වුවත් වැඩ කරන එක අමාරු නැහැ.

* දේශපාලනය ගැන අදහස් දක්වන සමහරු එය අතීතයේ පැවති තත්ත්වයෙන් වෙනස්ව ධනෝපායන මාර්ගයක් බවට පත්ව ඇතැයි පවසනවා. ඔබ දේශපාලනයේ යෙදෙන්නේ කුමක් සඳහා ද?

දේශපාලනයේ සිටින සමහර පිරිස් කරන කටයුතු නිසා එවැනි මතයක් ඇතිවෙලා තිබෙනවා. මම දේශපාලනය නිසා මිනිස්සු හම්බ කළා. නමුත් මුදල් හම්බ කළේ නැහැ. සමහරු කියනවා නාගරික මන්ත්‍රීවරුන්ට, නගරාධිපතිවරුන්ට ලැබෙන වේතනය මදි. ඒ නිසයි ඔවුන් අතින් වැරදි සිදුවන්නේ කියලා. මම හිතන්නේ මේ හැම එකක් ම ගරු තනතුරු. මම අරක්කු දීලවත් බත් පැකට් දීලවත් ඡන්දේ ඉල්ලන්නේ නැහැ. එසේ කිරීම මම නාට්‍යවලින් කතා කළ පරමාදර්ශී දේශපාලනයට එකඟ නැහැ.

* දේශපාලන පණිවුඩය ගෙන යාමට ඔබ වෙනස් ක්‍රම භාවිතා කරන්නේ ඇයි?

අපි කාටත් දේශපාලනය කරන්න වෙන්නේ එකම භූමියක තමයි. නමුත් ඒ කියලා පවතින ක්‍රමයට අනුගත වෙන්න කැමැති නැහැ. මගේ ඡන්ද ව්‍යාපාරයට කලාකරුවන් රැසක් ඔවුන්ට හැකි පරිදි උදව් වෙනවා. පෝස්ටර් ගහලා කටවුට් ගහලා මම කවුද කියලා කියන්න වුවමනා නැහැ. කොලොන්නාව සංවර්ධනය කරන්න රජය දරන උත්සාහය ගැන ජනතාව දන්නවා. ගෙන් ගෙට යාම තමයි මගේ ක්‍රමවේදය.

* ඔබ කලක් එ. ජා.ප.යේ ප්‍රබල ක්‍රියාකාරීකයෙක්. ඒ මුල් උරුමය අතහැරලා රජයට එක්වුණේ ඇයි?

බොහෝ දෙනෙක් නොදන්නව වුණාට පියා ඇතුළු මගේ ඥාතීන් බොහෝ දෙනෙක් ප්‍රබල ශ්‍රී. ල. නි. ප. අපේක්ෂකයින්. 77 මැතිවරණයේ දී එ. ජා.පය බලයට ඇවිල්ලා කොළොන්නාවෙ මුලින්ම කුඩු කලේ අපේ ගෙදර. එහෙම තියෙද්දිත් මම එ.ජා.ප.යට උදව් කළා. නමුත් ඔවුන්ගෙන් අප බලාපොරොත්තු වූ සේවය රටට ඉටු වුණේ නැහැ. මිලින්ද මොරගොඩ මහතා ඇතුළු එ.ජා.පයේ ප්‍රබලයන් 17 දෙනෙක් රජයට උදව් කළ අවස්ථාවේ අපත් රජයේ සහයට ඉදිරිපත් වුණා. අපිට තිබුණ ලොකුම ප්‍රශ්නය වුණ ත්‍රස්තවාදය අවසන් කිරීමට හැකිවීමෙන් එදා අපි ගත්ත උත්සාහය හරියි කියලා තහවුරු වෙලා තිබෙනවා.

* කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා කොලොන්නාව නියෝජනය කරන ඔබ ද ඇතුළු රජය නියෝජනය කරන බොහෝ නගරාධිපති අපේක්ෂකයන් හිටපු එ. ජා. ප. පාලකයින්. සමහරු මෙය දකින්නේ ආණ්ඩුවේ බංකොළොත් බවක් ලෙසයි.

අද අපිට එක රටක්, එක නායකයෙක් හා එක පක්ෂයක් ලෙස ඉදිරියට යන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතාම සුහදශීලි නායකයෙක්. ඔහු ජනතාවට සළකන්නේ පාක්ෂික පදනමින් නෙවෙයි. ඒ නිසා අපි පක්ෂ භේදයකින් තොරව එතුමා යන ගමනට උදව් කළ යුතු යි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]