මුද්‍රණය සඳහා

 
බේක් හවුස් පාමුළ වික්ටර් හාරා

බේක් හවුස් පාමුළ වික්ටර් හාරා

ඔහු සිනාසෙයි. එහි ළෙංගතුකම් උතුරා පිටාර ගලයි. දළඳා වීදියෙහි ගමන් කරන්නන්ට මේ සිනාවෙන් අංශු මාත්‍රයක් හෝ දෙන්නට හේ පසුබට වන්නේ නැත.

ඔහු මටද ළෙංගතු සිනාවෙන් අංශුවක් දෙයි. මම ද සිනාසුනෙමි. සුදු පැහැ දිගු රැවුල් කෙඳි අතර තාමත් සිනහව රැඳී ඇත. මම මේ අපූරු මිනිසා ඉදිරිපිට නතර වුණෙමි. විසල් මාරගස පාමුළ වූ බේක් හවුස් සමීපයෙහි සිටින මේ සුදු රැවුල්කාරයා නුවරුන්ට අමුත්තකු නොවේ.

‘මට ඔබ ගැන දැන ගන්න කැමතියි’

‘මොනවද?’

‘හැමදෙයක් ම.’

සුදු රැවුල් කෙඳී අස්සෙන් නැවතත් ළෙංගතු සිනහව මතු ව එයි. හේ දිගු කතාවකට මුල පුරන්නාක් වැන්න.

“මම බේවිස් මනතුංග. ඉගෙන ගත්තේ, මහනුවර කිංස්වුඩ් විද්‍යාලයෙන්. එහි ඉගෙනුම ලබමින් සිටි අවදියේදිමයි ගායනයට යොමු වුණේ. විද්‍යාලයේ බටහිර ගායක කණ්ඩායම් සාමාජිකයකු විදිහට මට අවස්ථාව ලැබුණා ගායනය වඩා නිවැරැදිව ප්‍රගුණ කරන්න.

වයස අවුරුදු 08 ක කොලු ගැටයෙක්ව සිටි මම සුප්‍රකට එම්.ජී.පී. කලායතනයේ දී එස්රාජ් වාදනය උගත්තා. ඒ සංගීතඥ සිරිල් පෙරේරා යටතේ.

විශේෂයෙන්ම ගිටාර් වාදනය ගැන මගේ අවධානය යොමු වුණේ පාසල් සමයෙන් පසුවයි. 1971 - 1976 කාල වකවානුවේදී මම වැඩිපුර මේ සඳහා උනන්දු වුණා. මා වඩාත් ආශා කළේ හවායන් ගිටාරය වාදනය කරන්නටයි. සංගීතඥ බ්‍රික්ෂස් සමරසිංහ යටතේ මා මගේ වාදන හැකියාව ප්‍රගුණ කළා.”

ඔහු තම අතීතය පිළිබඳ පාපොච්චාරණය කරයි. මම සිහිනයක් දකින්නෙමි. හවායන් ගිටාරය එල්ලාගත් ගැටවරයකු නුවරුන් ගැවසීගත් ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ අතරින් රිංගා යයි. ඒ බේවිස් මනතුංග වග කවුරුන් හෝ එදා දැන සිටියේ නැත.

කුඩා මාර කොළ ගිළිහී වැටෙයි. හරියට හිම පියළි පරිදිය. ඒවා දළඳා මාවතේ වැතිරෙයි. තැන තැන ඉහිරුණු ඒ හිත නැවතත් ඩේවිස් මනතුංග නම් අපූරු මිනිසාගේ ළෙංගතු සිනාව ලඟ නතර වේ.

ආනන්ද පෙරේරා හා අශෝක පෙරේරා ආරම්භ කළ ‘සුපර් ජේම්ස්’ සංගීත කණ්ඩායමට මාත් එකතු වෙලා හිටියා. මෙය ආරම්භ කළේ 1970 වසරේදියි. අවුරුදු දෙකකට පස්සේ මා එයින් ඉවත් වුණා.”

1970 දසකයේ චිලී රටෙහි ජනතා නැගිටීම් පසුපස සිටි චරිතයක් වූයේ වික්ටර් හාරායි. ඔහු එක්තරා ආකාරයකින් අපට පරමාදර්ශී චරිතයක්. සාමය, මානව හිතවාදය, යුක්තිය හා සාධාරණත්වය අරභයා ඔහු ගැයූ ගී නොතකා හරින්නට කිසි ලෙසකින් වත් බෑ.

‘වික්ටර් හාරා’ සංගීත කණ්ඩායමේ අරමුණ වූයේත් එයයි. එක් අතකින් එය වික්ටර් හාරා ට කළ ගෞරවයක්. අනෙක් අතට සාමය, මානව දයාව වැනි අරමුණු වෙනුවෙන් පෙනී සිටීමක්. මේ සංගීත කණ්ඩායම නිර්මාණය කරන්නට පුරෝගාමි වූ අය අතර මාත් හිටියා.

1982 වසරේදී මා එයින් ඉවත් වුණා.

නුවරුන් වෙනුවෙන් ඔහුගේ සුදු රැවුල් කෙඳි අතරින් ළෙංගතු සිනා මෝදුවේ. ඇතැමෙක් නතරව මේ අපූරු මිනිසාට කතා කරති. අතැමෙක් දෑත් අල්ලා සිඹ යති. ඒ තම ආදරණීය බව ඔහුට දැන්වීමටයි.

“1992 වසරේ මම ‘දෝංකාරය’ නමින් ගී ප්‍රසංගයක් කළා. එය සාමය, මානව දයාව, යුක්තිය හා සාධාරණත්වය පිළිබඳ මගේ දැක්ම , ආකල්ප - වැටහීම් නිරූපිත හොඳම අවස්ථාවක්. ‘දෝංකාරය’ මේ දක්වාම වාර කිහිපයක් සංවිධානය කෙරුණා. මා ලද රසික ප්‍රතිචාර ඉහළයි.

ඒක පුද්ගල ගී ප්‍රසංග ආකෘතියෙන් පරිබාහිරවද ගී ගායනයේ නිරත වෙනවා. උචිත වේදිකාව මා කෙසේවත් මඟ හැර යන්නේ නෑ. මට වැදගත් වන්නේ පිළිවෙත් පමණයි.”

චිලියෙහි වික්ටර් හාරා නම් මානව හිතවාදී ගායන ශිල්පියා ගේ ඡායා මාත්‍රයක් සිහියට නගා ගන්නට මම උත්සාහ කරමි. ඔහු ගේ රුව බොඳව ගනියි. බේවිස් මනතුංග ගේ ළෙංගතු සිනාව සපිරි මුව මඩල මා ඉදිරියෙහි මැවේ.

විසල් මාර්ගය පාමුළ බේක් හවුසිය සමීපයෙහි නිතොර රැඳෙන මේ අපූරු මිනිසා නුවරුන්ට අමුත්තකු නොවූවද ඔහුගේ ජීවිතයට එබී ඔහු ගැන කියවා ඇත්තේ කීයෙන් කී දෙනා දැයි මට හැඟේ.

විසල් මාර තුරු සෙවණැල්ලේ හිඳිනා මේ බේවිස් මනතුංග නම් මිනිසා පිළිබඳව මම කියවමින් සිටින්නෙමි. එහෙත් ඒ ඉතා සුළු වශයෙනි. ඒ සුළු කතා බහේදීත් මට හැඟුණේ එකම එක දෙයකි.

ඒ ඔහු සුන්දර මිනිසකු බවය. මතක තියා ගන්න, මේ මිනිසා ඔබගෙන් යමක් ඉල්ලා සිටින අසරණයකු නොවේ.

ඉතා සුන්දර මිනිසෙකි.

“මා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක්. 1979 වසරේදී මා ලංකා කොමියුනිස්ට් තරුණ සම්මේලනය හරහා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වෙන්නේ. එහි සාමාජිකත්වය මට හිමි වන්නේ 1983 වසරේදියි. මේ මුළු කාලය පුරාවටම මා මගේ අරමුණුත් සමඟ පක්ෂය තුළ සක්‍රීයව රැඳී සිටිනවා.”

මාර පත් හිම පියළි සේ ගිළිහෙමින් තිබේ. මා දැන් මේ සුන්දර මිනිසාට සමුදිය යුතුව ඇත. ඔහුගේ අත් දෝත උණුසුම්ය. මම බේවිස් මනතුංගයන්ට දීර්ඝායුෂ පතා ආපිට හැරුණෙමි.

දළදා වීදියෙහි මද දුරක් ඇවිදගෙනවිත් බේක් හවුසිය දෙස බැලුවෙමි. බේවිස් මනතුංග නම් සුන්දර මිනිසා සුපුරුදු තම ළෙංගතු සිනාව නුවරුන්ට බෙදමින් සිටියි. විසල් මාර තුරෙන් ගිළිහී ගත් පත් ඔහුට ආශිර්වාද කරන්නාක් මෙන් ඔහු වෙතට ගිළිහී වැටෙයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]