ව්‍යාපාරිකයන් ඇත්තටම තරහද?

ව්‍යාපාරිකයන් ඇත්තටම තරහද?

පාඩු ලබන පෞද්ගලික ව්‍යාපාර රජයට පවරාගෙන ඒවා දියුණු කිරීමට අවශ්‍ය පියවර ගත යුතු යැයි ආණ්ඩුව තීරණය කර තිබේ. ඒ සඳහා පනතක් ගෙන ඒමට ද ආණ්ඩු පක්ෂය පියවර ගෙන තිබේ. එහි ඇති වරද කුමක්ද? ආයතනයක් පාඩු ලබන්නේ නම්; එය ඉදිරියට ගෙන යා නො හැකි ය. එම ක්‍රියාදාමයෙන් වඩාත් අපහසුවට පත්වන්නේ සේවක මණ්ඩලය යි. වැඩකරන ජනතාව බේරාගැනීමේ වුවමනාවක් ආණ්ඩුවට තිබේ. එය යුක්තිසහගත ය. මේ පනතට විරුද්ධ හඬවල් කිහිපයක් ද ඇත. එක හඬක් නැඟෙන්නේ විරුද්ධ පක්ෂය ඔස්සේ ය. තව හඬක් නැඟෙන්නේ ව්‍යාපාරිකයන්ගේ සංගම් ඔස්සේ ය. වාණිජ මණ්ඩලය ද මීට විරුද්ධ බව දැනගන්නට ලැබේ. හුඟ දෙනකුට මේ පනත හා පනතේ ඇති සාධනීය ලක්ෂණ අවබෝධ වී නැති බව පෙනේ.

තවත් අය ආණ්ඩුවට එරෙහි වන පොදු ලක්ෂණය අනුව එසේ කටයුතු කරන බව ද පෙනෙන්නට තිබේ. විපක්ෂය නැතහොත් එක්සත් ජාතික පක්ෂය මීට විරුද්ධ වන්නේ මන් ද? 1977 දී බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රාජ්‍ය ආයතන පිරිහෙන්නට ඉඩහැර පෞද්ගලික අංශය නඟාසිටුවන්නට කටයුතු කළේ ය. ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව විවෘත ආර්ථික සම්ප්‍රදාය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින් රාජ්‍යයට අයත් මණ්ඩල, සංස්ථා, අධිකාරී වසාදැමීමට කටයුතු කළේ ය. එම ආයතනවල දූෂණ, වංචා, අක්‍රමිකතා ඉහළ ගියේ ය. පක්ෂයට හිතවත් චණ්ඩි හා ජාවාරම්කාරයෝ එම ආයතනවල ප්‍රධාන තනතුරු සඳහා පත් කැරිණි. එම ආයතන කඩාවැටී පෞද්ගලික ව්‍යාපාර දියුණු විය. පෞද්ගලික ව්‍යාපාර දියුණුවීමේ වරදක් නැත. එහෙත් එම ව්‍යාපාර සේවකයනට සලකන හා මහජනතාවට සාධාරණ සේවාවක් ලබාදෙන ආයතන බවට පත්විය යුතුය. එම ආයතන රජයේ ව්‍යාපාර පටිපාටිය උල්ලංඝනය නොකළ යුතුය.

අවසන් ලෙස ව්‍යාපාරයක් රටක සංවර්ධන ක්‍රියාවලියට සාධාරණ ලෙස සහභාගිත්වය දැක්විය යුතුය. 77 ක්‍රමය යටතේ මේ කිසිවක් සිදුවූයේ නැත. සිදුවූ එක ම ක්‍රියාවලිය නම්; රාජ්‍යායතන නැතහොත් සංස්ථා හා මණ්ඩල එකිනෙක වසා දැමීමට පියවර ගැනීම ය. එය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවල පොදු සිරිතක් බවට පත්ව තිබිණි. එහි ප්‍රතිඵලය වූයේ දේශීය ව්‍යාපාර පිළිබඳ නරක ආදර්ශයක් හා රාජ්‍ය ආයතන පිළිබඳ කඩාවැටීමක් සිදුවීම ය. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති හා ව්‍යවහාරික භාවිතයනට අනුව මේ පනතට විරුද්ධ විය හැකි ද? එබඳු සදාචාරාත්මක අයිතියක් ඔවුනට තිබේ ද? එවැන්නක් ඇතැ’යි කෙනකුට තර්ක කළ හැකි ය. ඒ පෞද්ගලික අංශයට එජාපය වැඩි නැඹුරුවක් දැක් වූ නිසා ය. එක්සත් ජාතික පක්ෂය පෞද්ගලික අංශය වර්ධනය කිරීමට උත්සාහ කළේ තම හිතවතුන් කිහිප දෙනකුට සහයෝගය දැක්වීමේ ප්‍රතිපත්තියට අනුව ය. එම හිතවත්හු පක්ෂයේ වර්ධනයට මුදලින් උපකාර කළ අය වෙති.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය යටතේ සිදු වී ඇත්තේ එක්තරා ජාවාරමෙකි. ඒ ජාවාරම අනුමත කළ හැක්කේ රට ගැන හැඟීමක් නැති අයට පමණි. ලෝකයේ ව්‍යාපාර ගෙන යන විධිමත් ක්‍රමයක් තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදය පවා අනුගමනය කරන්නේ එම විධිමත් ක්‍රමයයි. වර්ල් ස්ට්‍රීට් සිදුවීම් ඊට අදාළ වේ. අමෙරිකන් ආණ්ඩුව ව්‍යාපාර සම්බන්ධයෙන් ගනු ලබන තීන්දුවලට වර්ල් ස්ට්‍රීට් මතිමතාන්තර හා අදහස් කෙළින්ම සැලකිල්ලට ගනු ලැබේ. එහි අදහස වන්නේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික සංගම්වලට කන්දිය යුතු බව නො වේ. අමෙරිකාවේ ව්‍යාපාර සමිති හා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සමිති අතර බරපතළ වෙනසක් පවතී. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික පැළැන්තිය අමෙරිකාවේ ව්‍යාපාරික පැළැන්තිය තරම් දියුණු නැත. එම දියුණුවට තව වසර ගණනාවක් ගෙවී ගිය ද ශ්‍රී ලංකාව වෙත කාන්දු වන්නේ නැත. ධනේශ්වරයේ ඉහළම ලක්ෂණ සංකේතවත් කරනුයේ ව්‍යාපාරික පැළැන්තිය වෙතින් ය.

එහෙත් ඔවුනට වැරදෙන තැන් අනන්තවත් තිබේ. ව්‍යාපාරිකයා ශ්‍රමය මුළුමනින් ම සූරාකන යක්ෂයකු බවට පත්විය යුතු නැත. ඔහු හෝ ඇය හෝ සේවක මණ්ඩලවලට සාධාරණය ඉටු කරන රටට යුක්තිසහගත පුද්ගලයකු බවට පත්විය යුතු ය.  ආදායම් ලබාදීමට හා රටේ සංවර්ධනයට දායකත්වය දැක්වීමට ව්‍යාපාරික ප්‍රජාව සූදානම් විය යුතු ය. ස්ථාවර හා කල්පවතින ව්‍යාපාර බිහිවන්නේ ඒ ක්‍රමය තුළ ය. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවට අවශ්‍ය වන්නේ කල්පවතින හා ස්ථාවර ව්‍යාපාර පවත්වාගෙන යෑමට ය. එය ව්‍යාපාරිකයාට මෙන් ම මහජනතාවට ද සේවයක් කරන ආයතන බවට පත්විය යුතු ය. පාඩු ලබන ආයතන සේවකයනට සාධාරණය ඉටුකරන්නේ නැත. රටේ සංවර්ධනයට දායකත්වයක් දක්වන්නේ ද නැත. එ බඳු ආයතන වසා දැමීම ද කළ නො හැකි ය. කළ යුත්තේ එ බඳු ආයතනවල වංචා - දූෂණ – අක්‍රමිකතා පිටු දැක විධිමත් කළමනාකරණයක් ඇති කිරීම ය. පාඩු ලබන පෞද්ගලික ආයතන රජයට පවරා ගැනීමෙන් එම සද්කාර්යය කළ හැකි ය. ආණ්ඩුව ගෙන එන පනත ඉහත කාරණා අනුව අතිශයින් ම සාධාරණ ය. ඊට එරෙහිවීමේ අයිතියක් විපක්ෂයට හෝ ව්‍යාපාරික සමිතිවලට හෝ නැත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා