අපරාධ වාර්තාකරණය පරෙස්සමෙන්

අපරාධ වාර්තාකරණය පරෙස්සමෙන්

ප්‍රවෘත්ති කලාවේදී අපරාධ හා අධිකරණ කටයුතුවලට සුවිශේෂ ස්ථානයක් හිමිවේ. සමාජයේ බොහෝ දෙනෙකු අපරාධ හා නඩු හබවලට බඳුන් වීමට දැඩි අකමැත්තක් දැක් වූවත්, එවැනි ප්‍රවෘත්ති දැනගැනීමට කියවීමට මහත් රුචියක් දක්වති. මේ නිසාම අධිකරණ වාර්තා කිරීම්වලට සුවිශේෂී ස්ථානයක් ලැබේ. අපරාධ හා අධිකරණ කටයුතු වාර්තා කිරීම ඉතා සුපරික්ෂාකාරීව කළ යුතුය. එම නිසා එම කාර්ය පටිපාටියට අදාළ ආචාර ධර්ම ගැන මාධ්‍යවේදියාට දැනුමක් තිබිය යුතුය. මෙහිදී මාධ්‍යවේදියාට කටයුතු කිරීමට සිදුවන්නේ පොලිස් නිලධාරීන් - අධිකරණ නිලධාරීන් වැනි සුවිශේෂ පුද්ගල පිරිසක් සමඟය.

මේ නිසා මාධ්‍යවේදීන්ට මූලාශ්‍ර ලෙස ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීම වඩාත් ගුණාත්මක වාර්තාකරණයකට හේතුවේ. මාධ්‍යවේදියා නිහතමානී - අවංක කෙනෙකු විය යුතුය. එසේම එම කාර්යට ගැලපෙන විනයක්ද තිබිය යුතුය. එමෙන්ම කිසිදු පාර්ශවයකට අසාධාරණයක් - අයුක්තියක් සිදුනොවන සේ සාධාරණව හා විශ්වසනීයව වාර්තා කිරීමේ හැකියාවක් තිබිය යුතුය. මෙවැනි මාධ්‍යවේදියෙකුගෙන් සිදුවන ප්‍රමාද දෝෂයක් තවත් බරපතල අපරාධයක් හෝ දඬුවම් ලැබිය හැකි වරදක් හෝ වීමට පුළුවන. එසේ සිදුවන වැරැදි නිසා දඬුවම් ලැබූ මාධ්‍යවේදීහුද සිටිති.

අපරාධ ආශි‍්‍රතව කටයුතු කිරීමේදී පොලිසියත් සමඟ මිත්‍රශීලි ආකාරයෙන් කටයුතු කළ යුතුය. එසේම අපරාධ ආශි‍්‍රතව පොලිස් නිලධාරීන් භාවිතා කරන භාෂාව හා විශේෂ වචන පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම වඩාත් සුදුසුය. එසේම අධිකරණයේදී භාවිතා වන වචන පිළිබඳ ද මාධ්‍යවේදීන් වඩාත් සැලකිළිමත් විය යුතුය. අපරාධයක් වාර්තා කරන විට එම සිද්ධියේ නිවැරැදිතාව නම් ගම්වල නිවැරැදිතාව පිළිබඳ මාධ්‍යවේදියා විමසිලිමත් විය යුතුය. එසේම අපරාධයට අදාළ පුද්ගලයන්ගේ ජාතිය හෝ වර්ගය ගැන සඳහන් කිරීම නිසා සුළු ජාතීන්ට අසාධාරණයක් සිදුවීමට පුළුවන. නමුත් විශාල අපරාධයක් වාර්තා කරන විට මිනීමරුවන් - අපරාධකරුවන් හඳුනා ගැනීම සඳහා වාර්තා කළ යුතුම නම්, සද්භාවයෙන් වාර්තා කිරීම වරදක් නොවේ.

අපරාධය පිළිබඳ සියලුම විස්තර වාර්තා නොකළ යුතුය. විශේෂයෙන් සොරකමක් පිළිබඳ භාවිතා කළ නවීන තාක්ෂණ ක්‍රම, සොරකම් කළ ආකාරය සඳහන් කිරීම නිසා එවැනි උපක්‍රම වෙනත් පුද්ගලයන්ද ආදර්ශයට ගත හැකිය. එබැවින් සමාජ යහපත ගැන වඩාත් විමසිලිමත් විය යුතුය. මාධ්‍යවේදියා සමාජමය වගකීම ගැන සමබරතාවයෙන් කටයුතු කළ යුතුය. එය මාධ්‍යවේදියෙකුගේ වගකීමක් මෙන්ම යුතුකමක්ද වේ. එසේම අපරාධ හෝ අධිකරණමය හෝ පරීක්ෂණ කටයුතුවලට බාධාවන අයුරින් පුවත් වාර්තා කිරීමද, පරීක්ෂණ තොරතුරු වාර්තා කිරීමද නොකළ යුතුය. එසේ කිරීමෙන් අදාළ පරීක්ෂණ කටයුතුවලට අගතියක් සිදුවීමට පුළුවන. මේ පිළිබඳ මාධ්‍යවේදියාගේ දැඩි අවධානය යොමුවිය යුතුය.

එමෙන්ම අපරාධකරුවන් වීරයන් බවට හුවා දැක්වෙන අයුරින් ප්‍රවෘත්ති වාර්තා කිරීම නොකළ යුතුය. එසේ කිරීමෙන් පුවත්පතේ කීර්තියට හානිදායක වීමට පුළුවන. පුවතක කුතුහලය හා ජනහදවතට සමීපතාවය අඩංගු විය යුතු අතර එහි සමබරතාවද සුරැකිය යුතුය. සමහර අවස්ථාවලදී ඇතැම් පුවත් පල නොකරන මෙන් පොලිසිය හෝ බලධාරීන් ඉල්ලීමට පුළුවන. එසේම ඇතැම් පුද්ගලයන්ගේ, විශේෂයෙන්ම පැමිණිළි පාර්ශවයේ පුද්ගලයන්ගේ නම්-ගම් සඳහන් නොකරන ලෙස ඉල්ලීමට පුළුවන. බාලඅපරාධයකට හසු වූ ළමයෙකු පිළිබඳ මවුපියන්ගෙන් එවැනි ඉල්ලිමක් ලැබෙන්නට ඉඩ තිබේ. එවැනි අවස්ථාවලදී මාධ්‍යවේදියා වඩාත් සැලකිලිමත් විය යුතුය. මෙහිදී අදාළ පුද්ගලයනගේ පුද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්ෂා කළ යුතු අවස්ථාවලදී එසේ ආරක්ෂා කිරීම මාධ්‍යවේදියාගේ වගකීමකි. එසේම මාධ්‍ය ආචාර ධර්ම සුරැකීමකි.

එසේම යම් කෙනෙකු වැරදි කරුවෙකු ලෙස අධිකරණය තීරණය කරන තෙක්ම ඔහු නිර්දෝෂි අයෙකු බව පිළිගැනේ. අපරාධයක් පිළිබඳ යම් කිසිවකු අත්අඩංගුවට ගත්තත් ඔහු වැරැදි කරුවකු වන්නේ නැත. ඔහු සැකකරුවෙකු පමණි. එබැවින් මේ ගැන වාර්තා ලියන විට මාධ්‍යවේදියා ප්‍රවේශම් විය යුතුය. “ මිනීමැරුමක් සම්බන්ධව අසවලා අත්අඩංගුවට ගෙන ඇත.” යනුවෙන් ලිවීම වැරැදිය. මිනිමැරුම හා සම්බන්ධ චෝදනා මත යනුවෙන් සඳහන් විය යුතුය. එසේම ඔහු අධිකරණ ක්‍රියාදාමයෙන් වැරැදිකරු වන තුරුම, ඔහුව වැරැදිකරුවෙකු ලෙස හැඳීන්වීම සුදුසු නොවේ.  එමෙන්ම පොලිසිය වෙතට ගෙන එන සියල්ලන්ම සැකකරුවෝ නොවෙති. සාක්ෂිකාරයෝද පොලිසියට ගෙනෙති. එම නිසා පොලිසියට ගෙනෙන හැම අයෙකුම සැකකරුවන් ලෙස හැඳින්වීමට ඉදිරිපත් නොවිය යුතුය.

එසේම ඉදිරිපත් කරන තොරතුරුවල සත්‍යතාව ගවේශනය කළ යුතුය. එමෙන්ම නඩුවක් හෝ අපරාධයක් සම්බන්ධව අලුත්ම තොරතුරු වාර්තා කළ යුතුය. මාධ්‍යවේදියෙකු ලෙස ඔබ කරන්නේ යම් කිසි ප්‍රවෘත්තියක් හෝ තොරතුරක් සැබෑ ලෙස වාර්තා කිරීම පමණි. එසේ නොමැතිව අදාළ සිදුවීම ආශි‍්‍රතව මත ප්‍රකාශයක් පක්ෂග්‍රාහී වාර්තාකරණයක හෝ යෙදීම මාධ්‍ය ආචාර ධර්මවලට පටහැනිය.  එමෙන්ම අදාළ අධිකරණමය කටයුතුවලට බාධා වන පරිදි වාර්තාකරණයේ යෙදීම ද වැරැදි සහගත බව වටහාගත යුතුය. එය අධිකරණයට අපහාස කිරීමක් ද වන බව මාධ්‍යවේදීන් අවධාරණයෙන් සැලකිය යුතුය. එසේම ඔබ වාර්තා කරන පුවත සත්‍ය, නිවැරැදි විය යුතුවාසේම හැම පාර්ශවයක්ම ආවරණය වන පරිදි සමබර විය යුතුය. අධිකරණ වාර්තාකරණයේ දී මාධ්‍යවේදියා අතින් සිදුවන සුළු අතපසුවීමක් පවා බරපතල වැරැද්දක් බවට පත්විය හැකි බව සටහන් කළ යුතුය.

මේ අනුව බලන විට අධිකරණමය වාර්තා කිරීම් මාධ්‍යකරණයේ දී සුවිශේෂි අංගයකි. එම නිසා මාධ්‍යවේදීන් වඩාත් ප්‍රවේශමෙන් හා අවබෝධයෙන් යුතුව අධිකරණ වාර්තා කිරීම් කළ යුතුය.  එසේ නොවන විට මාධ්‍යවේදියා අධිකරණයේ දෝෂ දර්ශනයට මෙන්ම අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට දඬුවම් විඳීමට ද සිදුවේ. එසේම මෙවැනි අධිකරණ තීන්දු පිළිබඳ ඊට අගතියක් නොවන ආකාරයට ගවේශනාත්මක පුවත්පත් කලාව හරහා රසවත් හා ආදර්ශමත් විශේෂාංග ලිපි රචනා කිරීම කළ හැකිය.  බොහෝ විට මෙවැනි ලිපි හරහා සමාජය යහමගට යොමු කිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ හැකිය.

නමුත් අපගේ මාධ්‍යවේදීන් බොහෝ දෙනෙකු අපරාධ සම්බන්ධ ප්‍රවෘත්ති වාර්තාකරණයේ යෙදුනද, එහි අවසන් තීන්දු වාර්තා කළද, ඒ ආශි‍්‍රත පසු විපරම් කරමින් ගවේශනාත්මක ලිපි රචනයේ නොයෙදේ. මෙය අපේ මාධ්‍ය සමාජය තුළ පවතින සුවිශාල අඩුපාඩුවකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා