නවක සිසුන්ට වද දෙන ජ්‍යෙෂ්ඨයන් එළියට දානවා

නවක සිසුන්ට වද දෙන ජ්‍යෙෂ්ඨයන් එළියට දානවා

ඇමැති එස්. බී. තදින් සිටී

නවක සරසවි සිසුන්ට නවකවදය ලබා දෙන සිසුන් හා ශිෂ්‍ය කණ්ඩායම් පිළිබඳව තොරතුරු ලබා ගන්නැයි උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ට උපදෙස් දී ඇත.එම සිසුන් පිළිබඳව පරීක්ෂණ පවත්වා වැරදිකරුවන් වන සිසුන් විශ්වවිද්‍යාලයෙන් එළියට දමන ලෙසද ඇමැතිවරයා ද උපදෙස් දී තිබේ. නවක සිසුන්ට ශාරීරික හා මානසික හිරිහැර කරන සිසුන්ට උපරිම දඬුවම් ලබා දිය යුතු බවත් උසස් අධ්‍යාපන ඇමැතිවරයා පවසයි.

සිසුන් සරසවිවලට පැමිණෙන්නේ උසස් අධ්‍යාපනය ලැබීමට මිස ශිෂ්‍ය කණ්ඩායම් වල හෝ වෙනත් සංවිධානවල අවශ්‍යතා අනුව කටයුතු කිරීමට නොවන බව පවසන දිසානායක මහතා ගෝත්‍රික සිරිතක් ලෙස ක්‍රියාත්මක කරන නවකවදය සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියෙන්ම අතුගා දැමීමට පියවර ගන්නා බවත් කියයි. මේ අතර රුහුණු රජරට හා පේරාදෙණිය ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයකම නවක සිසුන්ට ඉතා බිහිසුණු අන්දමින් ශාරීරික හා මානසික හිරිහැර සිදු කරන බව ශ්‍රී ලංකා නිදහස් ශිෂ්‍ය සංවිධානය පවසයි.

නවක සිසුන්ට මානසික හා ශාරීරික හිරිහැර සිදු කරන ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය කණ්ඩායම් පාලනය කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හෝ අදාළ විශ්වවිද්‍යාල බලධාරීන් හෝ වහා මැදිහත් විය යුතු යැයි ද එම ශිෂ්‍ය සංවිධානය පෙන්වා දෙයි. රුහුණු විශ්වවිද්‍යාලයේ ආපන ශාලාවට නවක සිසුන් කැඳවා ඔවුන්ට දරුණු අන්දමින් නවකවදය ලබා දෙන බවත් කළමනාකකරන හා වෛද්‍ය පීඨ මෙයට සම්බන්ධ බවත් ශ්‍රී ලංකා නිදහස් ශිෂ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ගිහාන් බණ්ඩාර දිසානායක මහතා කීවේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවක වදය ලබා දෙන්නේ නවක අනුරූපිතාව නමින් වැඩසටහනක් පවත්වමින් බවටද හෙතෙම පෙන්වා දෙයි.

රජරට විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර වල පවානවකවදය ලබා දෙන බවට තොරතුරු තිබෙන බවත් ඊයේ (04) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසීය. නවකවදය ලබා දෙමින් නවක සිසුන්ට විවිධ අඩන්තේට්ටම් සිදු කරන සිසුන්ට හෝ ශිෂ්‍ය කණ්ඩායම් වලට එරෙහිව උපරිම දඬුවම් ලබා දිය යුතු බැවින් වගකිවයුත්තන් මැදිහත්ව ඔවුන්ට එරෙහිව පියවර ගත යුතු යැයිද ;හතෙම අවධාරණය කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා