ඉස්ලාමීය ඉගැන්වීම් තුළින් මිනිසුන් අතර එකමුතුකම සැමවිටම අවධාරණය කරනවා

ඉස්ලාමීය ඉගැන්වීම් තුළින් මිනිසුන් අතර එකමුතුකම සැමවිටම අවධාරණය කරනවා

ජනපති හජ් පණිවිඩය

යහපත් ආචාර ධර්ම පුරුදු පුහුණු කොට පිළිපැදීමෙන් මිනිසුන් අතර එකමුතුකම හා මිත්‍රත්වය ගොඩනැගීමේ ආගමික වැදගත්කම ඉස්ලාම් ආගමේ ඉගැන්වීම් තුළින් අවධාරණය කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (6) යෙදෙන හජ් උත්සවය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී. එම පණිවිඩයේ මෙසේද සඳහන් වේ.

ශුද්ධ වූ මැකා නගරය වෙත හජ් වන්දනා ගමන් යාම තුළින් තම ආධ්‍යාත්මික ජීවිත පෝෂණය කර ගැනීමත් අල්ලා දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලබාගැනීමත් ඔප්පු කිරීම සඳහා ලොව පුරා දශ ලක්ෂ සංඛ්‍යාත මුස්ලිම් වන්දනාකරුවෝ මෙම උත්සවය සමරති. තම තමන්ගේ ආධ්‍යාත්මික ගුණවගාව වැඩි දියුණු කර ගැනීමත් මිනිස් වර්ගයාගේ සුබසිද්ධිය උදාකර දීමට ඉවහල් වන මේ චරියාධර්ම, වත්පිළිවෙත් අනුගමනය කිරීමටත් හජ් වන්දනා ගමන් කාලය තුළදී මුස්ලිම්වරු සෑම උත්සාහයක්ම දරති.

ඉස්ලාම් ආගමේ උගන්වන එකමුතුකම පිළිබඳ, සම්ප්‍රදායන් අනුගමනය කරමින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව මෙරට සාමාජීය, සංස්කෘතික හා ආර්ථික අභිවෘද්ධිය අරභයා ඉමහත් දායකත්වයක් ලබාදී ඇත. එක්සත් ශ්‍රී ලංකාවක් සඳහා වූ ඇප කැපවීම ප්‍රදර්ශනය කරමින් මුස්ලිම් ජනතාව ශත වර්ෂයක කාලයක් තුළ සමඟියෙන් හා සමාදානයෙන් ජීවත් වී ඇත.

මුළුමහත් රට පුරාම තම ආගමික විශ්වාසයන් අනුව වැඳුම් පිදුම් කිරීමට හා ආගම ධර්මය අනුව අදාළ චාරිත්‍ර විධි අනුගමනය කිරීමට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට දැන් නිදහස ලැබී තිබේ. ත්‍රස්තවාදයෙන් පීඩා විඳි අන්ධකාර යුගය දැන් නිමාවට පත්ව ඇත. සෑම ප්‍රජාවකගේම කැප කිරීම් තුළින් දිනාගත් නිදහස ප්‍රයෝජනයට ගෙන ඊදුල් අද්හා උත්සවය සාර්ථකව පැවැත්වීමට අවකාශ සැලසෙනු ඇත. මේ අතිශයින් වැදගත් උත්සවය ප්‍රීතියෙන් සමාදානයෙන් හා සැනසිල්ලෙන් යුතුව සැමරීමට ශ්‍රී ලංකාවාසී මුස්ලිම් ප්‍රජාවේ සෑම සාමාජිකයකුටම අවස්ථාව උදාවේවායි මාගේ උණුසුම් සුබපැතුම් පිරිනමමි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා